master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

රිමාන්ඩ් කර සිටින නාගරික මන්ත්‍රී නිවෙසින් තවත් දරුවකු සොයා ගනී


2018-06-08 07:38:22 -  681 යි

මව සමඟ දරුවන් දෙදෙනකු පැහැර ගැනීමක් හා එයින් දැරියක විකිණීමේ චෝදනා සම්බන්ධයෙන් සැකපිට තලවකැලේ-ලිඳුල නගරාධිපතිවරයා සමඟ අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නාගරික මන්ත්‍රි ඉෂාර මංචනායකගේ නිවෙසේ තවත් පිරිමි දරුවකු රඳවාගෙන සිටින බවට ලද රහස් ඇමැතුමක් ඔස්සේ ක්‍රියාත්මක වූ

නුවරඑළිය පොලිසිය එම නිවෙසේ සිටි 11 හැවිරිදි පිරිමි දරුවකු සොයා ගෙන ඇත. එම දරුවා මේ වන විට තලවාකැලේ ආශ්‍රිත පාසලක 3 වැනි වසරේ ඉගෙනුම ලබන බවත් ඔහු මෙම නිවෙසේ දරුකමට හදාවඩා ගනිමින් පාසල් යැවීම සිදු කරන්නේත් මෙම මන්ත්‍රිවරයාගේ නිවෙසේ අය බවද මෙහිදී අනාවරණය වී තිබේ.

මෙම දරුවාගේ මව කථන ආබාධිත තත්ත්වයෙන් පෙළුණ බවත් ඇය මෙයට වසර අටකට පමණ පෙර මෙම කුඩා දරුවා සමඟ තලවාකැලේ නගරයේ සිඟමන් යදිමින් යාචක ජීවිතයක් ගෙවමින් ජීවත් වූ දෙදෙනෙක් බවද හෙළිව තිබේ. ඒ අතර 2010 ජූලි මාසයේ 23දා තම පියා වෙනුවෙන් මන්ත්‍රිවරයාගේ නිවෙසේ දානමය කටයුත්තක් සිදුව ඇත. එහිදී මෙම යාචක මවද කුඩා දරුවා වඩාගෙන ආහාර ඉල්ලා පැමිණ තිබේ.

එයින් පසු එම දෙදෙනා සෑම දිනම පාහේ මෙම නිවසෙට ආහාර සොයාගෙන ඒමට පුරුදුව ඇත. එසේ දහවල් කෑම කෑමෙන් පසු යළිත් දෙදෙනා තලවාකැලේ නගරයේ කඩපිළක වැටී නිදා ගැනීම සිදුකර තිබේ. මෙයින් දරුවා ගැන දුකට පත් නාගරික මන්ත්‍රිවරයා එම මවගේ කැමැත්ත මත එවකට තුන්වැනි වියේ පමණ පසුවූ දරුවා දරුකමට හදාවඩා ගැනීමට භාරගෙන තිබේ. ඉන්පසු ඔවුන් එම මවද සිඟමනේ නොයවා මන්ත්‍රිවරයාගේ කොළඹ ප්‍රදේශයේ සිටින සෙහොයුරියකගේ නිවෙසට අත් උදව්වට යවා තිබේ. කතා කිරීමට නොහැකි මව සමඟ සිටීම නිසා මෙම දරුවාද එම අවධියේ ගොළු තත්ත්වයකින් මෙන් පසුවුවද මෙම නිවෙසේ රැඳී සිටිමින් නිවැසියන්ගේ කතා බස් හමුවේ ක්‍රමයෙන් කතා කරන්නට පටන්ගෙන ඇති බවද පැවැසේ. ඉන්පසු දරුවා පාසල් වයසට පත්වෙත්ම ඔහු පාසල් යැවීමට ගැටලුව බවට පත්ව ඇත්තේ උප්පැන්නයක් නැති වීමයි. එහෙත් උප්පැන්නයක් ලබා ගැනීමට මන්ත්‍රිවරයා මහන්සි වීමෙන් පසු නිසි වයසේදී පාසලට භාරදී සියලු පහසුකම් සපයමින් අධ්‍යාපනය ලබා දෙමින් සිටි බවද අනාවරණය වී තිබේ. අවශ්‍ය පරීක්ෂණ කටයුතු සිදුකිරීම සඳහා දරුවා නුවරඑළිය පොලිසිය වෙත ඊයේ (6දා) රැගෙන විත් තිබෙන අතර ඔහුගේ කථනාබාධිත මවද පොලිසියට කැඳවා තිබේ. නුවරඑළිය පොලිස් අධිකාරි අයි.බී.ටී. සුගතපාල මහතාගේ උපදෙස් මත නුවරඑළිය පොලිස් මූලස්ථානාධිපති චන්දන බස්නායක මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com