master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මනාලයා එනවිට මනාලිය පෙම්වතා සමඟ යතුරුපැදියෙන් පලාගිහින්


2018-06-07 08:33:11 -  564 යි

බළන්ගොඩ - පියසේන එන්. හේවගේ

බළන්ගොඩ නගරයේ කිලෝමීටර් හයක් පමණ දුරින් පිහිටි ප්‍රදේශයක ප්‍රධාන පාරක් ඔස්සේ යතුරුපැදියක පිටුපස නංවාගත් මනාලියක් සමඟ තරුණයකු ඉතා වේගයෙන් ගමන් කරනු මඟ දෙපස සිටි පිරිසක් දැක්කේය. ඔවුන් සිතුවේ මනාලියට රැග් එක දෙනවා කියාය. එය එවැන්නක් නොවන බවට ඊට ටික වේලාවකට පසුව ආරංචි වූ සිද්ධිය මෙසේය.

මැය ගම්බද හැඩකාර තරුණියකි. ඇය බළන්ගොඩ නගරයේ පාසලක අ.පො.ස. උසස් පෙළ දක්වා ඉගෙනගෙන විභාගයට ඉදිරිපත් වුවත් විශ්වවිද්‍යාලයට යෑමට නොහැකි නිසා රැකියාවක් බලාපොරොත්තුවෙන් නිවෙසේ සිටියාය. ඇයට පාසල් සමයේ සිටම පෙම්වතකු සිටියේය. ඔහු මේ ගමට ආසන්නයේ ජීවත් වූ යහපත් අයෙකි. ඔහුගේ පවුලේ වත් පොහොසත්කම අඩු නිසා තරුණියගේ මවුපියෝ ඊට විරුද්ධ වූහ. එහෙත් මොවුන් දෙදෙනා පෙම් සබඳතාව රහසේ හොඳින් පවත්වාගෙන ගියහ.

මෙය මඟහැරවීමට තරුණියට මනාලයකු සෙවීමට කපුවකුගේ සහාය පැතූ මවුපියන්ට සුදුසු යැයි හැඟෙන මනාලයකු හමුවූයේ කෙටි කලකින්ය. කෙසේ නමුත් තරුණිය ඊට අකැමැති වුවත් බලෙන් හෝ මඟුල කිරීමට කටයුතු සූදානම් විය. මේ තත්ත්වය තම පෙම්වතාට පවසා තමන් කෙසේ හෝ බේරා ගන්නැයි ඉල්ලා සිටියාය.

මංගල දිනය උදාවිය. උදෑසනම මනාලියට ඇඳුම් ඇන්දවීම සඳහා ගිවිසගත් ස්ථානයට මනාලිය ඇයගේ යෙහෙළියන් දෙදෙනකුද සමඟ යොමු කරවීය. නිවෙසේ පිරිස මනාලයා පැමිණෙනතුරු කටයුතු සූදානම් කරමින් සිටියහ.

හිටි හැටියේ නිවෙසට ලැබුණු දුරකථන ඇමැතුමෙන් මනාලියගේ මවුපියෝ කලබල වූහ. ඇඳුම් ඇන්දවීම සිදුකරන අතර මනාලිය තම බෑගය ගැනීමට කාර් එක ළඟට ගිහින් එන්නම් කියා පාරට පැමිණෙත්ම වේගයෙන් ඇවිත් ඒ අසල නතර කළ යතුරුපැදියක නැඟී පලාගිය බවයි. වාහන කිහිපයකින් ගිය පිරිසක් දස අතේ සෙව්වත් හමු වූයේ නැත.

ටික වේලාවකට පසුව මනාලියගෙන් දුරකථන ඇමැතුමක් නිවෙසට ලැබිණි. අපි දැන් හපුතලේ හරියේ ඉන්නේ. මම සඳුන් සමඟ විවාහ වෙනවා. බේබදු මනාලයකු මට ඕනි නැහැ.

මේ තත්ත්වය මංගල නිවෙසට පැමිණෙමින් සිටි මනාලයාටද දැන ගන්නට සැලැස්විය. ඔවුන්ද ආපසු ගිය බව දැනගන්නට ලැබිණි. ඉන්පසු විපරම් කර බැලීමේදී යෝජිත මනාලයා බීමට පමණක් නොව කුඩු උරන්නට පවා ඇබ්බැහි වූ අයකු බව හෙළිදරව් වීමෙන් පසුව කපුවා සොයා ගිය මනාලයාගේ පියා ඔහුට හොඳ හැටි දෙහි කැපීය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 11 =       

New Page 1

  2014 by www.eethalayanews.com