master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පොලිසිය ඇතුළෙදීම දරුවෙක් කෙලෙසූ වැලිඔය පොලිසියේ සල්ලාලයා


2018-06-02 08:08:28 -  1757 යි

වැලිඔය පොලිසියේ සල්ලාලයෙක් විසින් පොලිසියේදී අපචාරයට ලක්වූ වැලිඔය දරුවා මේ වනවිට ඉන්නේ පරිවාස භාරයේය. තමන් අපචාරයට ලක්කළ සල්ලාලයා හඳුනා ගන්නා පෙරෙට්ටුව ලබන 6දා බදාදා පදවිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේදී පැවැත්වීමට නියමිතය.

එහෙත් මේ වනවිට වැලිඔය කල්‍යාණපුර 4 වැනි පියවර නාමල්පුර වැසියන් මේ දරුවා ගිලටීනයට දක්කන්නට සූදානම්ය. ඔහුගේ පවුලත් ගමෙන් පන්නා දැමීමේ වැඩපිළිවෙළකය. ඔවුන්ට අනුව ඔවුන්ගේ ගම කිලිටි වී ඇත්තේ මේ දරුවාගේ පවුල්වල අය නිසාය. මීට ටික දවසකට කලින් ඔවුන්ගේ ගමේ පන්සලේ හාමුදුරුවරු දෙන්නෙක්ද ළමා අපචාර සිද්ධිවලට අත්අඩංගුවට පත්වූ බව සැබෑය. එහෙත් ගම්වැසියන්ගේ තක්සේරුව අනුව මේ පවුල්වලින් වන හානිය ගමේ සංස්කෘතික පදනම දෙදරවන්නේය.

දරුවා හොරෙක් බවත්, ගමේ පොදු කටයුත්තක් සඳහා ගෙනා ටකරන් ප්‍රමාණයක් හොරකම් කළ බවත් කියමින් පොලිසියට පැමිණිලි කරන්නේ ගමේ ග්‍රාම සංවර්ධන සමිතියේ නිලධාරීන්ය. දරුවා හොරෙක් බව ගම්වැසියන් කියන්නේය. පාසල් නොඑන බව පාසලේ විදුහල්පතිවරයා කියන්නේය. දරුවා මත්ද්‍රව්‍යවලට හුරු වී සිටින බව කියන්නේය. ඔහුට සම වයසේ යාළුවන් නැති බව කියන්නේය. ඇසුරු කරන්නේ වැඩිහිටියන් බව කියන්නේය. දරුවා ගැන අසන විට ඔහුගේ නුගුණ කියමින් ඔහුව එල්ලා දැමීමට පොරකන මිනිසුන් ඕනෑ තරම්ය. එහෙත් පුනරුත්ථාපනය විය යුතු තමන්ගේ දරුවන්ගේ වයසේ සිටින මේ දරුවා දෙස මානුෂිකව බලන්නට වැඩිහිටියෙක් නැත. වගකිවය යුත්තෙක් නැත. මේ දරුවා ළමා වයසේදීම මේ ව්‍යසනයට ලක් වූ ආකාරය ගැන විමසා බලා ඔහුට ජීවිත ආධාරයක් කරන්නට එකෙක් නැත. ගමේ පන්සලේ හාමුදුරුවන් ද ළමා අපචාරයකට චෝදනා ලබමින් බන්ධනාගාරගතවය. මේ දරුවා හොරෙක් ලෙස හංවඩු ගසන්නේත් පොලිසියට අල්ලාදී පැමිණිලි කරන්නේත් එහෙම වටපිටාවකය.

මේ දරුවාගේ අම්මාත් තාත්තාත් සමඟ පවුලේ උදවිය වැලිඔයට එන්නේ මීට අවුරුදු 5කට පෙරය. එනම් වර්ෂ 2013දීය. වැලිඔයට එන්නට කලින් ඔවුන් හිටියේ දෙහිවලය. ආණ්ඩුවෙන් ලබා දෙන රුපියල් ලක්ෂ පහක ණය මුදලින් ඔවුන් යන්තම් නිවෙසක් වැනි යමක් අටවාගෙන ජීවත් වන්නේය. මවුපියෝ කරන්නේ ගොවිතැනය. බොහෝ විට කුලී වැඩය. දරුවන් පස් දෙනෙකි. මේ චූදිත දරුවා පවුලේ තුන් වැනියාය. නූගත් දෙමව්පියෝ එදා වේල සොයාගැනීමට විනා දරුවාට සිදුවන ව්‍යසනය ගැන නොතකති.

පොලිසියේ අපචාරය

අවසානයේදී දරුවා ටකරන් සොරකමකට චෝදනා ලැබ පොලිස් අත්අඩංගුවට පත්වෙන්නේය. ඒ පසුගිය 8 වැනිදාය. එසේ අත්අඩංගුවට ගත් දරුවා 09 වන දා පදවිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන තුරු වැලිඔය පොලිසිය තුළ රඳවා තබා ගත්තේය. පසුගිය 9දා පදවිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ මේ දරුවා සම්බන්ධව වාර්තාවක් සපයන ලෙස කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් අධිකරණයේ ස්ථාන භාර පරිවාස නිලධාරි සුසන්ත ඒකනායකට මහෙස්ත්‍රාත්වරයා නියෝග කරන්නේය.

පරිවාස නිලධාරි තැන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා දරුවාගෙන් කටඋත්තරයක් ගන්නේ ඒ අනුවය. මේ කටඋත්තරයේදී දරුවා කරනු ලබන ප්‍රකාශයෙන් පරිවාස නිලධාරි තැන වික්ෂිප්ත වන්නේය. ඔහු කියන්නේ පොලිස් අත්අඩංගුවේ සිටි 8දා රාත්‍රියේ දී එදින රාත්‍රි වැඩමුරයේ නියුතු සල්ලාල පොලිස්කාරයෙක් වැලිඔය පොලිස් ස්ථානය තුළදීම ඔහුව බලහත්කාරයෙන් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කළ බවය. මේ පිළිබඳව කවරකුට හෝ හෙළිදරවු කර තිබුණහොත් ඔහුට වෙඩි තබා මරා දමන බව මේ නිලධාරියා විසින් තර්ජනය කළ බවය.

ඔහු මේ වාර්තාව කැබිතිගොල්ලෑව අධිකරණයට ඉදිරිපත් කළේය. මේ වාර්තාව ඉදිරිපත් වනවාත් සමඟම වැඩිදුර විස්තර විමර්ශනය සඳහා කැබිතිගොල්ලෑව අධිකරණයේ දිසා විනිසුරු මනෝජ් ප්‍රභාකරන් දරුවාව වහාම අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කළේය. අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිශානි සෙනෙවිරත්න සිද්ධිය සම්බන්ධව දරුවාගෙන් දීර්ඝ කටඋත්තරයක් ලබා ගත්තාය. අනතුරුව දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කළාය. වෛද්‍ය පරීක්ෂණයේදී අධිකරණ වෛද්‍යවරයා තහවුරු කළේ මේ දරුවාව බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කර ඇති බවය.

අධිකරණ නියෝගය

අනතුරුව මුලතිව් සහකාර පොලිස් අධිකාරිවරයාට, වැලිඔය පොලිස් ස්ථානාධිපතිවරයාට සහ අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනියට විවෘත අධිකරණයේ පෙනී සිටින ලෙසට, කැබිතිගොල්ලෑව ප්‍රධාන මහෙස්ත්‍රාත් මනෝජ් ප්‍රභාකරන් නියෝගයක් නිකුත් කළේය. ඒ අනුව මේ තිරශ්චීන අපරාධයට සම්බන්ධ, ඊට ආධාර අනුබල දුන් සියලු සැකකාර පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගෙන 30දා බදාදා පදවිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග ලැබිණි. එමෙන්ම අපයෝජනයට ලක් දරුවාගේ මවුපියන්ට බලපෑම් නොකරන ලෙසද තරයේ දැනුම් දී තිබිණි.

මේ සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන දරුවාට සාධාරණයක් ඉටු කරනු ඇතැයි යන අදහස මහෙස්ත්‍රාත්වරයාට ද තිබුණු බව පෙනිණි. ඔහු නියෝග කළේ නොපමාව මේ පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් නම් සිද්ධියට අදාළ පැමිණිල්ල දිනපතාම අධිකරණය හමුවේ විභාග කරන බවය.

අපරාධය සම්බන්ධයෙන් බී වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු දක්වමින් මුලතිව් සහකාර පොලිස් අධිකාරි මයුර පෙරේරා සඳහන් කළේ මුලතිව් කොට්ඨාස භාර පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ගේ නියෝග මත තමාගේ ඍජු අධීක්ෂණයෙන් මේ සිද්ධිය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් පවත්වන බවය. ඉදිරිපත්වන කරුණු මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව මුලතිව් සහකාර පොලිස් අධිකාරිවරයා අධිකරණයට සහතික වුණේය.

පසුගිය 30දා සංචාරක මහෙස්ත්‍රාත් අධිකරණයේදී නඩුව කැඳවිණි. අපචාරයට ලක්වූ මොහොතේ දරුවා ඇඳගෙන සිටි ඇඳුම් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර තිබුණේ නැත. එම ඇඳුම් පොලිස් භාරයට ගෙන තිබුණේත් නැත. මහෙස්ත්‍රාත්වරයා ඒ පිළිබඳව පොලිසියෙන් විමසුවේය. ඔවුන් ප්‍රකාශ කර තිබුණේ එවැනි නියෝගයක් අධිකරණයෙන් නොලැබුණු බවය. තමන්ගේ රාජකාරි කිරීමට අහවල් නියෝගයක් අවශ්‍යදැයි විමසීමට මහෙස්ත්‍රාත්වරයාට සිදුවිය. ලබන 6දා බදාදා මේ සල්ලාල අපරාධකාරයාව හඳුනාගැනීමට පෙරෙට්ටුවක් තැබීමට නියමිතය.

වයස පහළොවක් යන්නට පෙර දරුවෙක් මත්ද්‍රව්‍ය භාවිත කරන්නෙක් වේ නම්, සොරෙක් වේනම්, කලල සමාජ පිළිලයක් වෙමින් ඇත්නම් ඒ අපරාධයට වගකිවය යුත්තේ අපය. එවැනි දරුවෙක් පොලිස් අත්අඩංගුවට පත්වූ විට ඔහුව පොලිසිය තුළදී ලිංගික අපයෝජනයට ලක් කරන පොලිසියක් සංකේතවත් කරන්නේ ඒ සමාජයේ මළගමය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com