master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොටි බළකොටු සුන් කළ මහසෝන් බළකායේ අබිරහස් මෙහෙයුම්


2018-05-11 13:07:21 -  3035 යි

කොටි අඩවියේ සිදුවන ක්‍රියාකාරකම් ගැන දින දින තොරතුරු එකතු වන්නට විය. ඒ කොටි බලකොටුව තුළට කිලෝ මීටර් හැත්තෑවක්, අසූවක් පමණ ඇතුළු වී කොටි බලකොටු වේ අබිරහස් මෙහෙයුමක නිරතවන දිගු දුර විහිදුම් කණ්ඩායමේ සාමාජිකයන් එක්රැස් කරන තොරතුරුවලිනි.

දියකඩිති, ගස් පඳුරු ඇතුළු වන දුර්ග, ජල දුර්ග, නොතකා දින ගණන් එකතැන රැඳෙමින් කොටි නායකයන්ගේ ගමන් බිමන් හා එදිනෙදා ක්‍රියාකාරකම් පිළිබඳව මෙම කුඩා කණ්ඩායම් විමර්ශනය කළහ.

මෙම දිගුදුර විහිදුම් කණ්ඩායම්වල ඉලක්කය වූයේ සැමවිටම කොටි නායකයන් හෝ කොටි සමූහ වශයෙන් එකතුවන ඉලක්කයන් ය. කිසි විටෙකවත් සිවිල් වැසියන්ට හානියක් නොවන අයුරෙන් කොටි බලකොටුව තුළ සුවිශේෂී මෙහෙයුම් කරන්නට මෙම මහසොහොන් බළකායට හැකි විය. කොටි බලකොටුවේ මහසොහොනා ගැහුවාක් මෙන් ප්‍රහාර එල්ල කළ නිසාම මෙම අබිරහස් ප්‍රහාර මහසොහොන් බළකායෙන් එල්ල වූවා යැයි දකුණේ මතයක් ඇති විණි.

මෙවර සුවිශේෂී මෙහෙයුමට තෝරා ගත්තේ ද කොටි අඩවියේ කරක් ගැසූ අත්දැකීම්වලින් පරිපූර්ණ කුඩා කණ්ඩායමකි. දිගුදුර විහිදුම් පාඨමාලාව ඇතුළු සුවිශේෂී පාඨමාලා හදාරා තිබූ මෙම කණ්ඩායමට පැවරුණේ මුලතිව් කොටි බලකොටුවේ ඉලක්කයක් ගැනීම ය.

කෝප්‍රල් විජේරත්නගේ නායකත්වය යටතේ කෝප්‍රල් විජේතිලක, කෝප්‍රල් රිස්වි, ලාන්ස් කෝප්‍රල් සිසිර, ලාන්ස් කෝප්‍රල් ජනරංජන, සෙබළ සමරසිංහ යන දිගුදුර විහිදුම් බළකායේ හයේ කණ්ඩායමක් මෙම මෙහෙයුමට සූදානම් කෙරිණි.

යුද හමුදා පස්වන සිංහ රෙජිමේන්තුව ස්ථානගතවී සිටි වැලිඔය, නෙළුම්කුලම ඉදිරි ආරක්ෂක වළල්ලෙන් ඇතුළු වී කොටි ඉදිරි ආරක්ෂක වළලු වෙතින් රිංගා ගැනීම මෙම කණ්ඩායමට වූ අභියෝගය විය.

දින දාහතරක මෙහෙයුමක් සඳහා සූදානම් වූ මෙම හයේ කණ්ඩායමට මෙහෙයුමට අවශ්‍ය අවි ආයුධ සූදානම් කෙරිණි. එක්වරක් භාවිත කරණ ඉවතලන ආර්. පී. ජී. රොකට් විදින, ක්‍ලේමෝ බෝම්බ හා මෙහෙයුමට අවශ්‍ය අවි ආයුධ සමග චොක්ලට්, බිස්කට් වර්ග හා අධි‍පෝෂිත කෑම වර්ග ද ගමන් මල්ලට එක්කර ගැනිණ. එක් භටයකුට කිලෝ තිස්පහක් පමණ බරැති ගමන් මල්ලක් රැගෙන යා යුතු විය. මීට අමතරව වතුර ලීටර් දහයක්ද අනිවාර්යයෙන්ම රැගෙන යා යුතු විය.

කොටින්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල ඇතුළු ආරක්ෂක වළලු හතක් පැන යෑමට මෙම කණ්ඩායමට සිදුවිය. කිලෝග්‍රෑම් තිස්පහක් පමණ බරැති ගමන් මල්ලක් රැගෙන කොටි ආරක්ෂක වළල්ලක් එක්වර පැන ගැනීමට අපහසු නිසා කොටි ආරක්ෂක වළල්ල පැනීමට අවශ්‍ය තැන විමර්ශනය කිරීම තවත් හතරේ කණ්ඩායමකට පැවරුණි.

කොටි ආරක්ෂක වළල්‍ලේ බිම් බෝම්බ හා ජොනි බට්ටන් අතුරා ඇති තැන් බහුල විය. ඒවා සූක්ෂමව ගලවා ඉවත් කර කොටි බලකොටුවට රිංගා ගැනීමට අවශ්‍ය මග සකස් කර දීම ලුතිනන් ප්‍රියංග ඇතුළු හතරේ කණ්ඩායමකට භාර විය.
මෙම කණ්ඩායමේ මග පෙන්වීම මත කොටින්ගේ පළමු ඉදිරි ආරක්ෂක වළල්ල පැන ගත්හ. මෙම හයේ කණ්ඩායම මුලතිව් සහ වනාන්තරය තුළින් කොටි ආරක්ෂක වළලු මගහරිමින් කිලෝ මීටර් හතහමාරක් පමණ පළමු දිනයේ ඉදිරියට ඇදුණහ. මීට පෙර විමර්ශන කටයුතු සඳහා මෙම ප්‍රදේශයට ගොස් තිබූ නිසා භූමියේ පිහිටීම ගැන නිසි අවබෝධයක් මෙම කණ්ඩායමට විය.

තන්නිමුරුප්පු වැව අසල වූ විවෘත භූමිය සහිත ප්‍රදේශය අඳුර තිබියදී පැන යෑම අසීරු විය. ඒ මෙම ප්‍රදේශයේ කොටි ආරක්ෂක වළල්ලක් තිබූ නිසා ය. වැව ආසන්නයේ ආරක්ෂිත ලැගුම්‍පොළක නවාතැන් ගත් මෙම කණ්ඩායමට මීළඟට තිබුණේ මෙම බාධකය පැන ගැනීමට ඔත්තු බැලීම ය.

රාත්‍රී 7.00 ට පමණ වැව් බැම්මේ කෙළවරට පැමිණ ඔත්තු බැලූ මෙම කණ්ඩායම මෙතැනින් පැන ගැනීමට තෝරා ගත්තේ බංකර්වල සිටින කොටි ත්‍රස්තයන් මර නින්දට වැටෙන පාන්දර 1.00 ත් 2.00 ත් අතර කාලය ය.

රටවැසියා ද මර නින්දේ පසුවන මහ රෑ ජාමයේ මදුරුවන් ගහන මහ වනාන්තරයේ දුක්ගැහැට විඳිමින් මෙම විරුවන් දිවි පරදුවට තබා මෙම මෙහෙවර කළේ රටට ම පිළිලයක් වූ ත්‍රස්තවාදීන්ට එරෙහිව ය.

ඔත්තු බැලීමේ නිරත වූ මෙම කණ්ඩායමට පහන් එළි දෙකක් නිරීක්ෂණය විය. සාමාන්‍යයෙන් බංකර්වල ලන්තෑරුම් එල්ලා තිබෙන අතර බංකර් මැදින් පැන ඉදිරියට යෑම පුරුද්දක් විය. එහෙත් මෙවර ලන්තෑරුම් එළි දෙක මැදින් නොගොස් ලන්තෑරුම් එළියක් ඇති තැනට එහායින් රිංගා ගැනීමට කණ්ඩායම් නායකයාගෙන් උපදෙස් ලැබිණි.

මේ අනුව පාන්දර 2.00 ට පමණ කොටි ත්‍රස්තයන් මරනින්දේ පසුවෙද්දී මෙම බාධකය හරහා එක ගුලියට මෙන් පැනගත්හ. එකිනෙකා ‍පෝලිමේ නොගොස් එක ගුලියට පැන ගත්තේ ද උපක්‍රමයක් ලෙසිනි.

කොටි ආරක්ෂක වළල්‍ලේ ලන්තෑරුම් එළි දෙකක් පෙනෙන්නට තබා ඇත්තේ කොටින්ගේ උපක්‍රමයක් ලෙසින් බව එතැනින් පැන ගනිද්දී තහවුරු විය. මෙම ලන්තෑරුම් දෙක එල්ලා ඇත්තේ බංකර්වල නොවන බවට නිරීක්ෂණය විය. ලන්තෑරුම් දෙකක් පෙනෙන්නට එල්ලා ඒ දෙක අතරින් රිංගා ගැනීමට එන කණ්ඩායම්වලට රැක සිට ප්‍රහාරයක් (ඒථඡභඵඩ) එල්ල කිරීම කොටින්ගේ ඉලක්කය වී තිබිණි. මීට පෙර මෙවැනි කණ්ඩායමක් බංකර් දෙකක් තුළින් රිංගා ඇතැයි කොටින්ට තහවුරු වීම නිසා මෙම උපක්‍රමය යෙදුවා විය හැකි ය.

කුඩා කණ්ඩායම් වශයෙන් කොටි බලකොටුවට රිංගන කණ්ඩායම් භූමියේ පිහිටීම අනුව තම උපක්‍රම වෙනස් කරමින් සතුරාට වඩා උපක්‍රමශීලීව ක්‍රියාත්මකවන නිසා කොටින්ගේ සැලසුම්වලට කොටු වන්නේ ද නැත.

කෝප්‍රල් විජේරත්න යටතේ වූ මෙම කණ්ඩායම මෙම බාධකය පැනගෙන සහ කැලෑව මැදින් ඉදිරියට ඇදෙන්නට වූහ. දෙවැනි දිනය තුළ කොටින්ගේ බාධක මගහරිමින් කිලෝ මීටර් අටහමාරක් දක්වා පැමිණ නවතින්නට මෙම කණ්ඩායම තීරණය කර තිබිණි.

මෙතැන් සිට ඉලක්කය ගැනීමට වූ මුලතිව් මාන්කුලම් මාර්ගයට තව තිබුණේ කිලෝ මීටර් දෙකකි. තුන්වැනි දිනයේ උපක්‍රමශීලීව ඉලක්කගත මාර්ගය වෙතට ළඟා විය. මාර්ගය අයිනට යනතෙක් වැල් සහිත ඝන කැලෑවෙන් වැසී ගොස් තිබුණේ ය.

ත්‍රස්තවාදින්ට සැක නොහිතෙන සේ මාර්ගය ද පැන ගන්නට මෙම කණ්ඩායමට හැකි විණි. මාර්ගයේ අනෙක් පස රැඳී සිට ප්‍රහාරය එල්ල කිරීම සැලසුම විය. ප්‍රහාරයක් එල්ල කළ සැණින් හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල දෙසට පසුබසින කණ්ඩායම්වලට අතරමගදී කොටුකර පහර දීමට කොටි සැලසුම් කළ හැකි බැවින් ප්‍රහාරය එල්ල කළ සැණින් තව තවත් කොටි බලකොටුව තුළට රිංගා ගැනීමේ උපක්‍රමයක් මෙහි දී ක්‍රියාවට නැංවිණි.

මාර්ගය අසල ඔත්තු බැලීමේ කාර්යය සඳහා දෙදෙනකු රැඳී සිට අනිත් සිව්දෙනා මීටර් හැත්තෑපහක් ඈතින් ස්ථානගත කිරීමට තීරණය කෙරිණි.

මේ අයුරින් මාර්ගය අසල කැලෑවේ රැඳී සිටිමින් දින තුනක් තිස්සේ ඉලක්කය පැමිණෙන තුරු රැඳී සිටින්නට මෙම කණ්ඩායමට සිදු විණි. ඉලක්කය සඳහා අවශ්‍ය ක්‍ලේමෝ බෝම්බ දෙකක් මාර්ගය අසල සඟවා එයින් ඇදගත් වයර් එකම ස්විචයකට සම්බන්ධ කෙරිණි. වයර් යෙදූ ස්විචය ක්‍රියාත්මක කිරීමට දුන්නේ කෝප්‍රල් විජේරත්නට ය. කෝප්‍රල් විජේරත්න හා කෝප්‍රල් රිස්වි මාර්ගය අසල ඉලක්කය ගැනීමට රැඳී සිටියහ. හුඹසක් අසල ඇට වූ ක්‍ලේමෝ බෝම්බ දෙක පුපුරවා හැරීමට මාර්ගයේ එන ඉලක්කය ද හොඳින් නිරීක්ෂණය කරගත යුතු නිසා වැඩි අවදානමක් ගෙන බෝම්බයට මීටර් 15 ක් තරම් ආසන්නයේ රැඳී සිටීමට මෙම දෙදෙනාට සිදු විණි. මෙතැනින් එහාට ඇතුළට ගියහොත් ඝන කැලෑව නිසා කිසිවක් නොපෙනෙන හෙයින් අවදානමක් මැද ප්‍රහාරයට සූදානම් වූහ.

ලබන සතියේ ප්‍රහාරයට සූදානම් වූ සෙබළුන්ට මොකද වුණේ?

  ඔබේ අදහස්
Nme - Sumithu
Message -Great
Nme - Savith
Message -Adambarai
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 16 =       

New Page 1

  2014 by www.eethalayanews.com