master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කන්තලේ සීනි සමාගම පවරා දෙන්නට මිලියන 20 ක අල්ලස් අත්තිවාරමක් ගත් සිද්දිය හෙලිකල පුද්ගලයාට ජීවිත තර්ජනයක්...!


2018-05-10 08:09:51 -  414 යි

කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට පසුගියදා අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක මුදලක් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20ක් අත්තිකාරමක් වශයෙන් ලබාගත් බව පැවසෙන සිද්ධියට අදාලව අල්ලස් කොමිසමට පැමිණිලි කළ ඉන්දීය ජාතිකයාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇති බව එම කොමිසමේ සහකාර නීති අධ්‍යක්ස ජනරාල් අසිත ඇන්තනි විසින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයාට දැනුම් දී තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව අල්ලස් කොමිසමට දැනුම් දුන් පුද්ගලයාගේ කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ පිහිටි කාර්යාලයට ‍පැමිණි ජෝශප් නමැති පුද්ගලයෙකු නිසා මෙම ජීවිත අවධානම ඇති වී ඇති බවයි වාර්තා වන්නේ. එසේම ඔහු එල්.ටී.ටී.ඊ බුද්ධි අංශ සාමාජිකයෙකු බව කියා ගත් පුද්ගලයෙකු බවද සඳහන්.

අල්ලස් කොමිසමට ඉදිරිපත් කල මෙම පැමිණිල්ලේ පැමිණිලිකරු වන ඉන්දීය ජාතික කොටහා රාලහල්ලී කොඩි ඩප්පයියා නඩරාජා එම අවස්ථාවේදී   කාර්යාලයේ නොසිටි බැවින් අදාල පුද්ගලයා සමාගමේ පිළිගැනීමේ නිලධාරීනිය හමුවී තමන්ට නඩරාජා මහතා හමුවීමට අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. එසේම  තමන් පැමිණියේ ඔහුට උදව් කිරීමට බවත් පවසා ඇති බවත් ඔහු නොමැති බව පැවසූ අවස්ථාවේදී එම පුද්ගලයා විසින්  ඔහුගේ දුරකථන අංකය ඉල්ලා ඇති බවත් සඳහන් වෙනවා.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී සමාගමේ පිළිගැනීමේ නිලධාරීනිය විසින් නඩරාජාගේ දුරකථන අංකය ලබාදී නොමැති අතර මෙම තත්ත්වය මත ඔහුගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී තිබෙනවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඔවුන් ඊයේ (09) කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කරන බව දැනුම දී තිබුණා.‍ 

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් එම්.ජී. ෂුගර් පෞද්ගලික සමාගමට කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 2,400ක භූමි ප්‍රමාණයක් රජය මගින් පවරා දී ඇති බවත්, එම සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීම සඳහා අනුමැතිය ලබා දීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540ක් ඉල්ලා එය රුපියල් මිලියන 100ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තේ යැයි පැවසෙන සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම සිදුවීම ප්‍රකාශ කර තිබුනේ.

කෙසේ නමුත්  මෙහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න විසින් කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙයට තම සේවාදායකයන්ගේ කිසිදු සම්බන්ධතාවක් නොමැති බවයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com