www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොටි ගුවන් පථය සොයා ගිය මාරාන්තික ගමන


2018-05-08 09:46:02 -  2960 යි

දින දහයක මෙහෙයුමක් සඳහා යෑමට දිගු දුර විහිදුම් බළකායේ අටේ කණ්ඩායම් දෙකකට උපදෙස් ලැබිණි. ඉලක්කය වූයේ ඉරණමඩු ජලාශය දක්වා යෑමය.

කොටි පාලන ප්‍රදේශයේ ප්‍රධානම ජල සැපයුම වූයේ ඉරණමඩු ජලාශය හරහාය. මෙහි ආරක්ෂාවට සිටියේ කොටි ත්‍රස්තවාදීන්ය.

ඉදිරි මෙහෙයුම් සඳහා ප්‍රදේශයේ තොරතුරු රැස් කිරීම මෙම කණ්ඩායම් දෙකට ලැබුණු ප්‍රධානම ඉලක්කය විය.
ඕලුමඩු ඉදිරි ආරක්ෂක වළල්ලෙන් ඉදිරියට ඇතුළුවීම සඳහා මූලික විමර්ශනයක නිරත වූ විශේෂ බළකා භටයින් කොටි ආරක්ෂක වළල්ල හොඳින් නිරීක්ෂණය කළහ. කොටි බංකර් අතරින් වූ බෝම්බ අතුරා නොතිබූ තැනකින් ඉදිරියට රිංගා ගත්හ.

උපක්‍රමශීලී ලෙස ඇතුළට රිංගාගත් සැරයන් අමරසේනගේ කණ්ඩායමේ අට දෙනාට මග පෙන්වන්නා ලෙසින් කෝප්‍රල් විජේරත්න කොම්පාසුව බලමින් ඉදිරියට ඇදුණේය. පළමු දිනයේම සතුරු බලකොටුව තුළට කිලෝමීටර් දහයක් ඇතුළට රිංගා ගැනීමට මෙම කණ්ඩායමට හැකි විණි.

සතුරු භූමිය ගැන තමන්ගේ භූමියට වඩා වැඩි විශ්වාසයක් මෙම කණ්ඩායමට තිබුණේය. ඒ තරමටම මෙම භූමිය තුළ විමර්ශන කටයුතු සඳහා රිංගා ලද අත්දැකීම්වලින් මොවුන් පරිණත වී සිටියහ.

පළමු දිනයේ සවස් වන විට ලැගුම් ගැනීමට සුදුසු ආරක්ෂිත තැනක් (හාබර් කිරීම ලෙසින් හඳුන්වයි) සොයා විවේක ගැනීමට කණ්ඩායම තීරණයකට පැමිණියහ.

දෙවැනි දිනයේ එළිය වැටෙත්ම සැරයන් අමරසේනගේ නායකත්වයෙන් යුත් අටදෙනා ඉදිරියට ගමන් කරන්නට වූහ.
මාණ්ඩලික සැරයන් වසන්තගේ කණ්ඩායම ද මෙම කණ්ඩායම යන ඉලක්කයට සමගාමීව ඉදිරියට ඇදුණහ. සිවිල් වැසියන් සිටින ප්‍රදේශ මග හරිමින් යාමට අවශ්‍ය වූ නිසාම ඒ-9 (යාපනය-නුවර) ප්‍රධාන මාර්ගය දකුණෙන් මාර්ගයට කිලෝමීටර් දහයක් පමණ ඇතුළතින් ගමන් කිරීමට අමරසේනගේ කණ්ඩායමට සිදුවිණි.

දෙවැනි දවසේ ගමන් අරඹා කිලෝමීටර් තුනක් පමණ ඉදිරියට යද්දී කොටින්ගේ කඳවුරක් වැනි දෙයක් ඈතින් නිරීක්ෂණය විය. කොඩි කණු සිටුවීමට පීඨිකාවක් සැකසූ තැනක් ද නිරීක්ෂණය විය. කැලය මැදින් ආ මෙම කණ්ඩායමට තවදුරටත් අදාළ තැනට ළං වීමේදී විවෘත භූමියක් නිරීක්ෂණය වූයේය.

අට්ටාලයක් මත මුරට කොටි සාමාජිකයන් සිටින බව ද පෙනෙන්නට විය. දුරදක්නය ගෙන නිරීක්ෂණය කිරීමේදී මෙහි සිටින්නේ පඹයකු බව තහවුරු විය. තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී මෙහි තාර යෙදූ අඩි විසිපහක් පමණ පළලැති, මීටර් තුන්සියයක් පමණ දිගැති තැනක් මෙම කණ්ඩායමට නෙත ගැටිණි.

මහ කැලය තුළ තාර යෙදූ මෙවැනි තැනක් භට කණ්ඩායම්වලට නිරීක්ෂණය වූයේ පළමු වතාවටය. මෙය මාර්ගයක් නොවන වග ද තහවුරු විය. තවදුරටත් නිරීක්ෂණය කිරීමේදී කොටින්ගේ ගුවන් යානා ගොඩබැස්සවීමට සකස් කරගත් ගුවන් පථයක් බවට තහවුරු කරගත හැකි විණි.

මෙම කාල සීමාවේදී කොටින් සතුව සැහැල්ලු ගුවන් යානා තිබෙන වගට තොරතුරු තිබුණ ද ගුවන් පථ ගැන තොරතුරක් බුද්ධි අංශ වෙත ලැබි නොතිබිණි.

ඉරණමඩු ටැංකිය වෙතට ගමන් කිරීමේදී හමුවූ කොටින්ගේ මෙම ගුවන් පථය ගැන පණිවුඩ හුවමාරු යන්ත්‍රය මගින් වව්නියාව මෙහෙයුම් මැදිරියට සැරයන් අමරසේන කියද්දීත් එහි සිටි නිලධාරීහු පවා මෙය අසා පුදුමයට පත් වූහ. ඒ මීට පෙර ගුවන් පථයක් ගැන හෙළි නොවූ නිසාය.

මේ වන විට ජයසිකුරු මෙහෙයුම ක්‍රියාත්මක වීම නිසා කොටි ත්‍රස්තවාදීන් මෙම ප්‍රදේශ අතහැර ගොස් තිබිණි.
ඉරණමඩු ගුවන් පථය සම්බන්ධ තොරතුරු එක්රැස් කරගත් භට කණ්ඩායම මීළඟ ඉලක්කය සොයා ඉදිරියට ඇදුණහ.
ඇළ මාර්ග, බාධක මග හරිමින් ඉලක්කගත ස්ථානය වූ ඉරණමඩු ජලාශය වෙත පැමිණෙද්දී මෙම ප්‍රදේශයේත් කොටි ක්‍රියාකාරකම්වල අඩුවක් දක්නට විය.

එල්.ටී.ටී.ඊ. පාලන ප්‍රදේශයේ ප්‍රධානම ජල සැපයුම් මාර්ගය වූයේ ඉරණමඩු ජලාශය හරහාය. ජලාශයේ බැම්ම දෙසින් කොටි බංකර් ඉදිකර ඇති අයුරු භට කණ්ඩායමට නිරීක්ෂණය විය. බංකර් ඇති ප්‍රදේශයේ කොටි ත්‍රස්තවාදීන් ගැවසෙන බව ද තහවුරු විය.

පසු ක්‍රියාන්විත සඳහා මෙම ප්‍රදේශයේ තොරතුරු ලබා ගැනීම අරමුණු වූයෙන් දින දෙකක් තිස්සේ ජලාශය ආසන්නයේ රැඳී සිටිමින් තොරතුරු එක්රැස් කර ගත්හ.

මෙම ප්‍රදේශයේ තොරතුරු එක්රැස් කරගත් පසුව ඉරණමඩු ජලාශයේ දකුණු පැත්තට හැරී මුලතිව් දෙසට ගමන් ඇරඹූ සැරයන් අමරසේන ඇතුළු විශේෂ බළකා කුඩා කණ්ඩායම කිලෝමීටර් හයක් පමණ ඉදිරියට පැමිණියහ.

මෙහිදී එක්වරම කැලෑව තුළ කම්බි ගසා වට කළ කොටි කඳවුරක් නිරීක්ෂණය විය. වර්ග කිලෝමීටර්යක් පමණ ප්‍රදේශයක් ආවරණය වන පරිදි ඉදිකර තිබූ මෙම කඳවුරේ අසලට ළංවෙද්දී කොටි ක්‍රියාකාරකම් ගැන ඉඟියක් නොවිණි.

ඒ අනුව මූලික විමර්ශනයකින් පසුව හොර රහසේ කඳවුර තුළට රිංගා ගත් භට කණ්ඩායම කොටින්ගේ මරුමුවට පත් වූ කොටි සාමාජිකයන් ඇතුළු පිරිසකගේ ඡායාරූප එල්ලා ඇති අයුරු දැක ගන්නට විය.

මෙම ප්‍රදේශයේ තොරතුරු එක්රැස් කරගෙන ඉදිරියට ඇදුණු භට කණ්ඩායමට මීළඟට හමුවූයේ තමන් ළඟ ඇති සිතියම්වල පවා සඳහන් නොවූ මාර්ගයකි. එය කොටි ත්‍රස්තවාදීන් අලුතින් ඉදිකරගත් මාර්ගයක් නිසා සිතියම්වල සඳහන් නොවිණි.

මාර්ගය අසලට හොර රහසේ ළඟා වූ භට කණ්ඩායමට මීළඟට මාර්ගයේ සිදුවන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්නට වූහ.

මෙහිදී යතුරු පැදියක් එන ශබ්දය ඇසී මාර්ගය අසලට ළඟා වීමට භට කණ්ඩායම සූදානම් වූහ. කෑම පෙට්ටියක් යතුරු පැදියක පසුපස බැඳගත් කොටි ත්‍රස්තවාදියකු ගමන් කරන අයුරු එහිදී නිරීක්ෂණය විය.

මේ අනුව ඉදිරියේ කොටි ක්‍රියාකාරකම් සිදුවන බව තේරුම් ගත් මෙම කණ්ඩායම තවත් කිලෝමීටරයක් පමණ මාර්ගය දෙසින් ඉදිරියට ඇදෙන්නට වූහ. ටිකෙන් ටික ළංවෙද්දී කතා කරන හඬ හා වැඩ කරන ශබ්ද ඇසෙන්නට විය.

තව තවත් ළංවෙද්දී කොටි පහළොවක් පමණ එක්වී අලුතින් කඳවුරක් ඉදිකරන බව නිරීක්ෂණය විය. මෙහි තත්ත්වය නිරීක්ෂණය කළ පසුව තවත් ඉදිරියට ඇදෙද්දී කොටින්ගේ කඳවුරු තුනක් පමණ අතරමග තිබිණි.

පසුගිය ලිපි
සීලන්ගේ කොටි බළකොටුව පැරදූ දිගු දුර මෙහෙයුමේ දුරදිග නුවණ

සතුරු අඩවියේ තුවාල වුණු සගයින් මුදා ගන්නට කොටි කටට රිංගා තනිවම කළ සටනක්

කොටි හඬ සුන් කරන්න ඉලක්ක සොයා දුන් දිගු දුර 08 දෙනාගේ මාරාන්තික ගමන

ගුවන් ප්‍රහාර මැද කොටි කඳවුරක ඔත්තු බලමින් ගත කළ දවසක්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com