master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අනියම් පෙම්වතා සමග දුව ඉමෝ සවාරියේ...


2018-04-29 08:05:23 -  935 යි

චරිතා වෑවිට, බණ්‌ඩාරගම ප්‍රදේශයේ පදිංචි තරුණියකි. අතිශය සුන්දර නොවුණත් පිරිමින් වශී කරවන සුළු ආකාරයේ රූ සපුවක්‌ උපතින්ම ඇයට හිමිව තිබුණි. එහෙත් පාසල් අවධියේ සිටම ඇය දඟකාර යුවතියක වූවාය. අධ්‍යාපන කටයුතුවලට වඩා ඇය ප්‍රමුඛස්‌ථානය දුන්නේ බාහිර කටයුතුවලටයි. ඒ අතර වරින් වර තරුණයන් කිහිප දෙනකු සමඟ ඇය ප්‍රේම සම්බන්ධතාද පවත්වාගෙන ගියාය.
 
 කාලය ක්‍රමයෙන් ගෙවී ගියේය. පාසල් අධ්‍යාපනයට සමුදුන් ඇය යුගදිවියට එළැඹුණාය. ඇයගේ අත ගත්තේ එම පළාතේම තරුණයෙකි. අපි ඔහු දමිත් නමින් හඳුන්වන්නෙමු. දමිත් අහිංසක තරුණයෙකි. වැඩි කලක්‌ නොගොස්‌ චරිතා, දමිත්ව තමන්ගේ ග්‍රහණයට නතුකර ගත්තාය. එතැන් සිට ඔහු ජීවත් වුණේ ඇය කියන ආකාරයටයි. ඒ අනුව කල් නොගොස්‌ම ඔහුට යුගදිවිය අපායක්‌ බඳු විය. 
 
 හැල හැප්පීම් මැද ගලාගෙන ගිය ඔවුන්ගේ යුගදිවිය එතරම් සාර්ථක එකක්‌ නොවුණි. සෑම දිනකම පාසා දෙදෙනා අතර අඬදබර ඇතිවිය. ඒ අතර චරිතා ගැන නොයෙකුත් කටකතා ද පැතිරෙන්නට පටන් ගත්තේය. සමහරු තැන් තැන්වල ඇය ගැන කතා කළේ මෙලෙසින්ය. "අයියෝ බලපන් ඔය ගෑණි නටන නැටිල්ල", "අපෝ එයා ගැන කතා කරන්න එපා. මාර අම්මණ්‌ඩි කෙනෙක්‌නේ..." "පොඩි කාලේ ඉඳලම ඔය දැඟලිල්ල තිබුණා" "පව් අර බැඳපු එකා" 
 
 චරිතා ගැන එලෙස කියන සමහර කතා දමිත්ට ද අසන්නට ලැබිණි. එහෙත් ඔහු සියල්ල ඉවසා සිටියේ ඒ වනවිට ඇය ගැබිනියක්‌ වූ නිසාය. මවක වූ පසු ඇයගේ එම නරක ගතිගුණ සියල්ල මඟහැරේවි කියා ඔහු සිතුවේය. එහෙත් එලෙස නොවුණි. දරු ප්‍රසූතියෙන් පසුත් චරිතා වෙනස්‌ නොවුණි.
 
 මිනිසෙකුට සෑම දෙයක්‌ම දැරිය හැකි ප්‍රමාණයක්‌ තිබේ. එතැනින් ඔබ්බට දමිත්ට ද එලෙසය. ඔහු තම බිරිඳගේ සමහර ක්‍රියාකලාපයන් ගැන ඕනවටත් වඩා ඉවසා සිටියේය. අවසානයේ ඉවසා සිටීමට නොහැකි තැන පැදුරටත් නොකියා ඔහු පලා ගියේය. ඒ සමඟම චරිතා තම දරුවා සමඟ තනි විය. ඉන්පසු ඇය තම දරුවා සමඟ දෙමාපියන් ළඟට ගියාය. 
 
 දමිත් නොමැතිවීම ගැන ඇය දුක්‌ නොවුණාය. ඇය සිතුවේ දැන් තමා නිදහස්‌ ගැහැණියක කියාය. එලෙස සිතමින් ඇය වෙනදාටත් වඩා සැහැල්ලුවෙන් ජීවත් වූවාය. ඒ අතර ෆේස්‌ බුක්‌, ඉමෝ ආදී සමාජ ජාල හරහා ඇය සමහර තරුණයන් සමඟ සමීප සම්බන්ධතා පවත්වාගෙන ගියාය. 
 
 දුමින්ද අවුරුදු තිහක පමණ තරුණයෙකි. කඩවසම් රූසපුවකට හිමිකම් කියපු ඔහු තරුණියන් සහ විවාහක කාන්තාවන් කිහිපදෙනකු සමඟ අනියම් සම්බන්ධතා කිහිපයක්‌ පවත්වාගෙන ගියේය. කොටින්ම කියතහොත් ඔහු ගැහැණු සොඬෙකි. 
 
 ඉමෝ හරහා දුමින්ද චරිතාව හඳුනා ගත්තේය. කාන්තාවන් රැවටීමට උපන් හපන්කමක්‌ ඇති ඔහු ඇය සමඟ ද සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගැනීමට උත්සාහ කළේය. දින කිහිපයක්‌ තුළ ඔවුහු ඉතා සමීප සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්හ. අකුරක්‌ නෑර තමා ගැන සියලු විස්‌තර ඇය ඔහුට පවසා තිබුණි. දුමින්ද ඒ සියල්ල සානුකම්පිතව අසා සිටියේ අවස්‌ථාවෙන් ප්‍රයෝජනය ගැනීම සඳහාය.
 
 දුමින්දට අවශ්‍යව තිබුණේ ඉතා ඉක්‌මනින් ඇය සමඟ අනියම් ඇසුරක්‌ පවත්වාගෙන යැමයි. ඒ සඳහා අවශ්‍ය සියලු පිඹුරුපත් ඒ වනවිටත් ඔහු සකසා තිබුණි. දිනක්‌ ඔහු ඇයට මෙලෙස පැවසුවේය.
 
 "පැටියෝ ඔයාට මම දැන් පණ වාගේ ආදරෙයිනේ... ඔයාව කවදාවත් මම අමතක කරන්නේ නැහැ. අමතක කරන්නත් බැහැ. ඔයාගේ දරුවා මට ප්‍රශ්නයක්‌ නොවෙයි. අපි කොහේ හරි තැනකට ගිහින් නිදහසේ හම්බවෙමු. මම ආසයි ඔයාගෙ තුරුළට වෙලා ඉන්න..."
 
 දමිත්ගේ එම වචන ටික ඇසීමෙන් ඇයගේ සිතේ ඔහු ගැන ඉතා විශාල පැහැදීමක්‌ ඇති විය. ඒ අනුව පෙරළා ඇය මෙලෙස පැවසුවාය.
 
 "මම දන්නවා රත්තරන් ඔයා මට කොච්චර ආදරෙයිද කියලා. ඒ වගේම මමත් ඔයාට ආදරෙයි. දෙවියෝ ඔයාව මවලා තියෙන්නේ මා වෙනුවෙන්ම තමයි. අපි පරක්‌කු වෙලා මෙහෙම හම්බ වුණේ පෙර කරපු පවකට වෙන්නැති රත්තරන්. මට ඔයාගේ ආදරේ දැනෙනවා. ඔයා එක්‌ක මැරෙන්න වුණත් මම දැන් එනවා. ඔයා නැතිව මට ජීවත් වෙන්න බැහැ..."
 
 චරිතාගේ එම වචන ටික ඇසීමෙන් ඇයව ඕනම ඕනෑම දෙයකට කැමැති කරවාගත හැකි බව ඔහුට අවබෝධ විය. ඒ අනුව යළි ඔහු ඇයට මෙලෙස පැවසුවාය.
 
 "ඔයා දන්නවනේ... මගේ ආදරෙ තරම. ඒක නිසා අපි කොහේ හරි ගිහින් නිදහසේ දවස්‌ දෙක තුනක්‌ ඉමු..."
 
 "හරි රත්තරන්. මම එන්නම් ඔයත් එක්‌ක ඕන තැනකට යන්න. ඒත් මගේ පුතා ඉන්නවා. එයාවත් අරන් යන්න වෙනවා..." ඇය පැවසුවාය.
 
 "පුතාව අම්මලා ළඟ තියලා එන්න. එයාව එක්‌කන් ආවොත් අපිට නිදහසේ ඉන්න හම්බ වෙන්නෙත් නැහැ පැටියෝ..." ඔහු යළි පැවසුවේය.
 
 "එයා මම නැතිව ඉන්නේ නැහැ රත්තරන්. එයා තවම පොඩියිනේ. එයාට කියන දෙයක්‌ තේරෙන්නේ නැහැ. අපේ නිදහසට එයා බාධාවක්‌ වෙන්නේ නැහැ..." යළි ඇය එලෙස පැවසුවාය.
 
 දුමින්දට උවමනා වූයේ චරිතාගේ පුංචි පුතාව ඇයගේ දෙමාපියන් ළඟ දමා යැමටයි. එහෙත් ඇය එයට කැමැති වූයේ නැත. අවසානයේ දුමින්ද දරුවා ද රැගෙන යැමට කැමැති විය. නිවසින් පිට සතියක්‌ පමණ එකට ඉඳීමට දෙදෙනා කථිකා කර ගත්හ. ඒ සඳහා දිනයක්‌ද ඔවුහු යොදා ගත්හ.
 
 නියමිත දිනය උදාවිය. චරිතා තම දෙමාපියන්ටද කිසිවක්‌ නොකියා කුඩා දරුවා ද රැගෙන නිවසින් පිටවිය. ඒ වන විටත් දුමින්ද නියමිත ස්‌ථානයට පැමිණ තිබුණි. ඔහු පැමිණ පැය කාලකට පමණ පසු චරිතා ද තම දරුවා සමඟ එම ස්‌ථානයට පැමිණියාය. ඉන්පසු දෙදෙනා ආදරයෙන් සිප වැළඳ ගන්නේ කලක සිට දැන හඳුනා ගත් අය පරිද්දෙන්ය.
 
 "ඔන්න මම ආවා. දැන් ඔයා කැමැති ඕනෑම තැනකට මාව එක්‌කන් යන්න" ඇය ඔහුට එලෙස පැවසුවාය.
 
 දුමින්ද කලින් සැලසුම් කරගත් පරිදි ඇය සහ ඇගේ කුඩා දරුවාද රැගෙන ලැගුම්හලක්‌ වෙත ගියේය. එදින රැය ඔවුහු තිදෙනා එහි ගත කළහ. තවත් දින කිහිපයක්‌ එහි නවතින ලෙස දුමින්ද ඇයට යෝජනා කළේය. ඇයද එක පයින්ම එම යෝජනාවට කැමැති වූවාය. එලෙස සතියක්‌ පමණ ඔවුහු එහි ගතකළහ. 
 
 චරිතා සහ කුඩා දරුවා සතියකින් පමණ ගෙදර නොපැමිණීම ගැන ඇයගේ අහිංසක දෙමාපියෝ මහත් සේ කලබලයට පත්වූහ. හැඬූ කඳුළින් යුතුව දන්නා සෑම තැනකම ඇය පිළිබඳව සොයා බැලූහ. එහෙත් ඇය සහ පුංචි දරුවා පිළිබඳ කිසිදු තොරතුරක්‌ ඔවුන්ට සොයාගැනීමට නොහැකි විය. අවසානයේ එම අහිංසක දෙමාපියෝ චරිතා සහ පුංචි පුතා නැතිවීම පිළිබඳව බණ්‌aඩාරගම පොලිසියේ පැමිණිල්ලක්‌ දැමූහ. ඒ අනුව පොලිසිය පරීක්‍ෂණ පැවැත්වූහ. එහෙත් චරිතා සහ දරුවා ගැන කිසිදු තොරතුරක්‌ සොයා ගැනීමට නොහැකි විය.
 
 දින සති ගණන්වලට පෙරළුණි. එහෙත් චරිතා සහ දරුවා ගැන කිසිදු ආරංචියක්‌ නොමැත. අවසානයේ පන්සල්වල බෝධිපූජා පවත්වා සහ දේවාලවල සාස්‌තර අසමින් එම අහිංසක දෙමාපියෝ තම දියණිය සහ මුණුබුරා ගැන සොයා බැලුහ. එහෙත් පලක්‌ වූයේ නැත.
 
 එක්‌ දිනක්‌ පොලිසියෙන් චරිතාගේ දෙමාපියන්ට පණිවිඩයක්‌ ලැබුණි. එයින් කියෑවුණේ කළු ගඟේ තිබී සොයාගත් තරුණියකගේ මළසිරුරක්‌ නාගොඩ රෝහලේ ඇති බවත් එය ඔවුන්ගේ අතුරුදන් වූ දියණියගේ මළසිරුර දැයි සොයා බලන ලෙසත්ය. එය ඇසීමෙන් එම දෙමාපියන්ට දෙවියන් සිහිවිය. ඇඬූ කඳුළින් යුතුව ඔවුහු රෝහල වෙත ගියහ. 
 
 සිදුවී ඇති කලබල කිසිවක්‌ නොදත් චරිතා අනියම් පෙම්වතා සමඟ නිදහසේ පෙම් සුව වින්ඳේය. ඇයට තම දෙමාපියන් ගැන කිසිදු තැකීමක්‌ නොතිබිණි. අවම වශයෙන් නිවසට දුරකථන ඇමතුමක්‌ හෝ දී තමා හොඳින් සිටිනා බව පැවසුවා නම් එම දෙමාපියො මෙතරම් කලබල නොවනු ඇත. එහෙත් ඇයට තිබුණු වෙනත් අවශ්‍යතාවන් හේතුවෙන් ඒවා අමතක වී තිබුණි.
 
 නාගොඩ රෝහලට පැමිණි චරිතාගේ දෙමාපියෝ මළසිරුර බලා එය තම දියණියගේ යෑයි පැවසූහ. පසුව එම මළසිරුර නිවසට රැගෙන ගොස්‌ භූමදාන කටයුතු ද සිදු කළේය. එහෙත් කුඩා ළමයා කොහේද යන්න ගැටලුවක්‌ වී තිබුණි. අවසානයේ ඔවුහු කුඩා දරුවා ද මියගොස්‌ ඇතැයි සිතා සිත හදාගත්හ.
 
 මහ පුදුමයකි. ආදාහන උත්සවය පවත්වා දින කිහිපයකට පසු චරිතා තම කුඩා දරුවා සමඟ නිවසට පැමිණියාය. නිවැසියෝ මෙන්ම ප්‍රදේශවාසීහු ද පුදුමයෙන් පුදුමයට පත්වූහ.
 
 ජීවමානව සිටින ඇය දැකීමෙන් දෙමාපියන්ට ඉමහත් සතුටක්‌ ඇතිවූහ. ඒ සමඟ යළි කේන්තියට පත්වුණු ඔවුහු මෙතරම් කාලයක්‌ නිවසට නොදන්වා කොහේ සිටියේද යන්න විමසූහ. ඒ වනවිට පොලිසියට ද චරිතාගේ නැවත පැමිණීම පිළිබඳව දැන ගන්නට ලැබුණි. 
 
 වහාම පොලිස්‌ නිලධාරීන් පැමිණ ඇයගෙන් ප්‍රශ්න කළහ. එවිට ඇය පැවසුවේ ඉමෝ හරහා හඳුනාගත් තරුණයකු සමඟ දින කිහිපයක්‌ එකට ජීවත් වූ බවයි. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
17 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com