master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ජාතියේ විජයග්‍රහණය උඩින් ඩෝසර් යයි...විජිතපුරයත් විනාශයි!


2018-04-29 07:50:01 -  709 යි

සිංහල ජාතියේ හදවත පණ ගැසුණේ මෙතැනදීය. ජාතියේ වීර කාව්‍ය සඳහා උච්ඡ ස්‌ථානය වන්නේ මෙයය. ආක්‍රමණික එළාර පරදා දුටුගැමුණු මහ රජතුමා ජයගත් ජය භූමිය මෙයය. තෙමේ මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොවේය. 'සම්බුද්ධ ශාසනයේ චිරස්‌චිතිය සඳහාම වන්නේය' යනුවෙන් ජාතියේ වීරයා, ද්වන්ද සටනක යෙදුණු ස්‌ථානය, ඩෝසර් දමා සුණු විසුණු කර දැමීමේ ශෝකජනක කතාව, වෙසක්‌ පුන් පොහෝ දිනකම ලිවීමට සිදුවීම ජාතියේ අවසනාවකට වඩා, මේ රට කරවන අයගේ ජාතිය කුමක්‌ද යන්න පහදා දෙනු ඇතිය. 
 
 අනුරාධපුර රාජධානිය යටත් කරගෙන වසර 44 ක්‌ තිස්‌සේ රජකම් කළ එළාර ආක්‍රමණිකයාට එරෙහිව දුටුගැමුණු රජතුමා විසින් කළ යුද්ධයේ වැදගත්ම අවස්‌ථාවක්‌ වූයේ විජිතපුර සටනයි. ක්‍රි.පූ. 161 වර්ෂයේ සිදුවූ මෙම සටන නොවන්නට සිංහල ජාතියක්‌ හෝ ලක්‌දිව තුළ බුද්ධාගමක්‌, ඉතුරු නොවන්නට ඉඩ තිබුණි. 
 
 එළාර, ක්‍රි.පූ. 205 දී ශ්‍රී ලංකාවේ එවකට රජකළ අසේල රජු පරදා අනුරාධපුරය අගනුවර කරගෙන එළාර නමින් රජ වී වසර 44 ක්‌ ලක්‌දිව පාලනය කළේය. 
 
 සිංහල හා බෞද්ධ රාජ්‍ය ස්‌ථාපිත කිරීමේ ඓතිහාසික අවශ්‍යතාවය මත, එළාර පරාජය කොට රට එක්‌සේසත් කිරීමේ වගකීම, කාවන්තිස්‌ස රජුගේ පුත් දුටුගැමුණු කුමාරයා සිය කර මත පටවා ගත්තේය. ලක්‌දිව වැඩිම ප්‍රදේශයක්‌ සිය බලයට නතු කර ගත්තද, අඩසිය වසකට ආසන්න කාලය මුළුල්ලේම කාවන්තිස්‌ස රජු විසින් පාලනය කළ රුහුණ තම ග්‍රහනයට යටත් කර ගැනීමට එළාරට නොහැකි විය.
 
 එසේම කාවන්තිස්‌ස රජුගෙන් එළාරට අභියෝගයක්‌ද නොවීය. එහෙත් කාවන්තිස්‌ස රජුගේ අභාවයෙන් පසුව රුහුණේ රජ වන දුටුගැමුණු කුමාරයා සිය අත්නොහළ හැකි වගකීම බවට පවරා ගන්නේ, එළාරට අභියෝග කිරීමය. එම අභියෝගය ප්‍රකාරව දසමහා යෝධයන් හා දහස්‌ ගණනක සෙබළ මුළුවක්‌ සමඟ මහා සංඝරත්නය පෙරටු කර ගනිමින් රුහුණු මාගම් පුරයෙන් පිටත්ව එළාරගේ සුළු හා ප්‍රබලම බලකොටු විනාශ කරමින් හා එළාරගේ සේනාවල ඉහළ නායකයන් මරා දමමින් ද, ගම් නගර පුරා තම අණසක පතුරුවමින් ද, මහවැලි ගඟ පසුකර අනුරාධපුරය කරා ඇදෙන දුටුගැමුණු රජුට විශාලම අභියෝගයක්‌ එල්ල වූයේ විජිතපුර දීය.
 
vijitha2ඉන් අවුරුදු 300 කට පමණ පෙර පඩුවස්‌දේව රජුගේ මස්‌සිනා හෙවත් භද්දකච්චායනා බිසවගේ සොහොයුරකු වන විජිත විසින්, විජිතග්‍රාමය හෙවත් මහාවංශයේ සඳහන් වන පරිදි විජිත නගර ගොඩනගන ලදී. මෙම ප්‍රදේශයේ පණ්‌ඩුකාභය රජුගේද යුධ සටන් පැවති බවට, ඉතිහාසය පෙන්වා දෙයි. ඉදිරි ප්‍රදේශයන්හි ඇතිවූ දරුණු සටන් වලින් පරාජයවූ එළාරගේ සේනාව ජීවිත ආරක්‌ෂාව සහ නැවතත් ශක්‌තිමත් වීමේ අරමුණින් විජිතපුරය කරා පසු බැස ආහ. බිඳවැටුණූ බලකොටු වල සිට, සිංහල සේනාවේ ප්‍රහාර දරාගත නොහැකිව හා ප්‍රතිප්‍රහාර දී ගත නොහැකිව පලා ආ එළාරගේ සෙනෙවියන් හා සෙබළුමෙන්ම අනෙකුත් ප්‍රබලම බලඇණි වලින් ද තරකොට, ඉදිරියට ඇදෙන දුටුගැමුණු රජුට තීරණාත්මක ප්‍රහාරයක්‌ එල්ල කිරීමට එළාර සැලසුම් කළේය. ආරක්‌ෂක උපක්‍රම හා උගුල් වලින් සමන්විත විජිතපුර බලකොටුව, එළාරගේ ශක්‌තිමත්ම බලකොටුවක්‌ විය. එය, දිය මඩ අගල්වලට අමතරව ප්‍රාකාර බිත්ති තුනකින් වටවී තිබී ඇති අතර, එම එක්‌ ප්‍රාකාර බිත්තියක උස රියන් 18 බැගින් විය. බලකොටුවේ උතුරු, දකුණු, නැඟෙනහිර සහ බස්‌නාහිර යන දිසා හතරෙහි යකඩ වලින් නිමවන ලද ශක්‌තිමත් ගේට්‌ටු හතරකි. බලකොටුව තුළ ආරෝහ සන්නාහයෙන් සැරසුණු යුද භටයන් දහස්‌ ගණනකි. රාජාවලියේ විස්‌තර ඇති පරිදි විජිතපුරය දෙවැනි වන්නේ අනුරාධපුරයට පමණි.
 
 විජිතපුරය අල්ලා ගැනීම සඳහා, සිංහල හමුදාවට මාස 4 ක කාලයක්‌ ගතවූ අතර, මාස 4 ක්‌ ගතවීමෙන්ම, විජිත පුරය කෙතරම් ශක්‌තිමත් බලකොටුවක්‌ වී දැයි සිතා ගත හැකිය. මෙහිදී දසමහා යෝධයන් මෙන්ම දුටුගැමුණු රජුගේ කණ්‌ඩුල ඇතා ද සුවිශේෂී කාර්ය භාරයක්‌ ඉටු කරන ලදී. මේ සියලු දේ අවසානයේ දුටුගැමුණු රජතුමා යුද බෙර නාදය හා ධජ ඉහළට එසවීමෙන් අනතුරුව විජිතපුරයට අවසන් පහරදීම ආරම්භ කළේය. ඒ අනුව සිංහල සේනාව එකවරම නගරයේ ගේට්‌ටු හතරම අක්‍රමණය කළේය. ඔහු නන්දමිත්‍ර, සුරනිමල සහ කණ්‌ඩුල ඇතා සමඟ ප්‍රධාන පහරදීම දකුණු ගේට්‌ටුව දෙසට දියත් කරන අතරතුර භරණ, කච්චදේව, ඵුස්‌සදේව සහ ලාභියවසභ පෙරටුකරගත් සේනාව උතුරු සහ බටහිර ගේට්‌ටු දෙසට ප්‍රහාර දියත් කළේය. මහසෝන, ගෝඨයිම්බර, ථේරපුත්තාභය සහ වේළුසුමන එක්‌ව නැඟෙනහිර ගේට්‌ටු වෙත පහරදුනි. වේළුසුමනගේ අශ්වාරෝහක සටන දැක සහ සේනාව නැඟෙනහිර ගේට්‌ටුව දෙසට දියත් කළ මෙහෙයුමෙන් ගේට්‌ටුවේ ආරක්‌ෂකයෝ බියවී ගේට්‌ටුව අත්හැර පලා ගියෝය.
 
vijitha3එළාරගේ සේනාව පවුරේ උඩ සිට පවුරු බිත්තිය බිඳීමට දරණ සෑම ප්‍රයත්නයකදීම උණු කරන ලද යකඩ හා තෙල් පහළ සිටින සේනාව වෙත විසිකරන අතරතුර ඔහුගේ දුනු හේවායින් පවුරේ සිට ඊතල විඳිමින් ඔවුන් දෙසට එන ආක්‍රමණය වැළැක්‌වීමට දැඩි ප්‍රයත්නයක්‌ දැරුවෝය. දකුණු ගේට්‌ටුව බිඳ දැමීමට කණ්‌ඩුල ඇතා ප්‍රයත්න දරන අතරතුර එවන් ප්‍රහාරයකට ඇතා ලක්‌වීමෙන්, දැඩි ලෙස තුවාල ලැබීය. එහෙත් වහා තුවාලවලට ප්‍රතිකාර කිරීමෙන් හා ඝන සමකින් ඇතාගේ සම ආවරණය කරමින් පසු දුටුගැමුණු රජතුමා නැවත පවුර බිඳ දමන ලෙස ඇතාට විදානය කළේය. ඇතා එය බිඳ දැමීමත් සමඟ නගරයට ඇතුළු වූ දුටුගැමුණුගේ හමුදාව විජිතපුර බලකොටුව අල්ලා ගත්තේය. දසමහා යෝධයන් ද පවුරු බිත්තිය තැන් කිහිපයකින් බිඳ දමා නගරයට අතුල්වී එළාරගේ හමුදාවට දැඩි ප්‍රහාරයක්‌ දියත් කළේය.
 
 බලකොටුව තුළට වන් සිංහල හමුදාව සතුරන්ට එරෙහිව විනාශකාරී යුද්ධයක නිරත විය. කණ්‌ඩුල ඇතු රථ රෝදයක්‌ හොඬ වැලෙන් ගෙන සොලීන්ට පහර දුන්නේය. නන්දිමිත්‍ර ගැල් තට්‌ටුවක්‌ ගෙන සතුරන් තැළුවේය. ගෝඨයිම්බර පොල් ගසක්‌ ගලවා ගෙන එයින් පහර දෙන්නේය. මහාසෝණ සතුරන් තැලීමට තල් කඳක්‌ ගත්තේය. සුරනිමල අත දැවැන්ත කඩුවකි. ථේරපුත්තාභය අති මහත් වූ යකඩ පොල්ලකි. වේළුසුමන අසුපිට නැග සතුරන් ලෙත් ගැසුවේය. යක්‌ෂ ගෝත්‍රික අංගම් සටන්කරුවෝ සොලීන්ගේ බෙලි කපා දැමුවහ.
 
 එළාරගේ විසි මහා යෝධයන්ගෙන් ඉතිරි වූ පිරිසත් සමඟ, දිවි ගලවා ගැනීමට හැකිවූ එළාරගේ සෙබළු, අනුරාධපුරය බලා දුවමින් පලා ගියහ. විජිතපුර නගරයේ බලය අල්ලා ගැනීම යනු සිංහල සේනාවට අනුරාධපුරය අල්ලා ගැනීම වේගවත් කිරීමකි. අවසානයේදී දුටුගැමුණු රජු යුද්ධයේ සිය කොටස නිම කරමින් එළාර පරදා ක්‍රි.පූ. 161 දී රට එක්‌සේසත් කළේය.
 
 පසුගිය දිනක ඩෝසර් යොදමින් විනාශ කර දමන්නේ ජාතියේ මහා වංශ කතාවේ සඳහන් එම ජයග්‍රාහී භූමියය. 
 
 දුටුගැමුණු රජතුමන් එළාර බළකොටුව සුනු විසුණු කිරීමට පෙර එහි වටා තිබුණ ගල්වැටියේ ඔත්තු බැලූ ස්‌ථාන අද ද දක්‌නට ලැබේ. එම ස්‌ථාන උස්‌ගල සහ බැලුම්ගල නමින් හැඳින්වේ. විජිතපුර බළකොටුව වටා තිබෙන පාහිවල දිගන්වල දඹුලු ඔය, නබඩවල දිය අගල් ලෙස යොදාගෙන ඇත. ධාතුසේන රජතුමා විසින් කලාවැව පසුව ඉදිකිරීමේදී විජිතපුර බළකොටුවේ විශාල භූමි ප්‍රමාණයක්‌ කලාවැවේ දියට යටවී ඇත.
 
 එළාර දුටුගැමුණු යුගයෙන් අනතුරුව මහනාම ධාතුසේන රජතුමන් මහසෙන් යටතේ විවිධ වකවානුවල විජිතපුර කඳු වැටියේ සිට මානෑව කන්ද දක්‌වා ඉදිකළ වෙහෙර විහාරවල නටබුqන් අද ද අභිමානනීයව පවතී.
 
 කලාවැව, විජිතපුර, උස්‌ගල, පූගොල්ලාගම, ගල්ළිඳයාය, නඛාවෙහෙර, සිට මානෑව කන්ද අසල ඇති අතිවිශාල පොකුණ දක්‌වා අනුරාධපුර යුගයට නෑකම් කියන මෙම ප්‍රදේශයේ තැනින් තැන මුරගල්, මල්ආසන, කොරවක්‌ගල්, ගල්දොරටු, ශ්‍රී පතුල් බහිරව රූප සඳකඩපහණ, විශාල ගල්කණු, කැසිකිළි ගල් ප්‍රදේශය පුරාවට පැතිර තිබේ.
 
vijitha4පරණ යෝධ ඇළට සහ ජයගඟට මැදිව පූගොල්ලාගම පිහිටා ඇත. අලුත් පුලියන්කුලම, පූගොල්ලාගම එගොඩ, පූගොල්ලාගම මෙගොඩ ගල්ළිඳයාය, ප්‍රදේශයේ වනයට වැසී ඇති නටබුන් විශාල ප්‍රමාණයකි. ඇතැම් නටබුන් ස්‌ථාන අද ජනාවාසය. 
 
 පූගොල්ලාගම පිහිටි බැලුම්ගල අවට රජ සමයේ විහාරස්‌ථානයක නටබුqන් විශාල ප්‍රමාණයක්‌ වනගතව තිබේ. මේ සා විශාල ජාතික වශයෙන් වැදගත් වටිනා පුරාවස්‌තු ප්‍රදේශය පුරා පැතිර තිබුණත් ඒ පිළිබඳව ගවේෂණය කර සොයා බැලීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම ජාතියේ අවාසනාවකි. බැලුම්ගල යට ගබඩාවක්‌ ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙන අතර එම ගබඩාව විශාල ගලකින් වසා තිබීම නිසා එය විවෘත කළ නොහැක. බැලුගම්ගල අසල ඇති වෙහෙර ගරා වැටී කැලයෙන් වැසීගොස්‌ තිබේ. එහි නටබුqන් ස්‌ථාන කිහිපයක්‌ම නිධන් හොරුන් විසින් හාරා විනාශ කර ඇති බව දක්‌නට ඇත. ගම්මාන ඉදිකරන මුවාවෙන් පූගොල්ලාගම බැලුම්ගල අවට පුරාවස්‌තු ඩෝසර් කිරීම හදකම්පා කරවන දසුනකි. මෙම ස්‌ථානයේ අක්‌කර තිහක්‌ පමණ ඩෝසර් කිරීම නිසා පුරා වස්‌තු විශාල ප්‍රමාණයක්‌ ගැලවී තල්ලුකිරීම නිසා පස්‌වලට යට කර ඇත. නිධන් වස්‌තු සෙවීමේ අරමුණෙන්ම ප්‍රදේශවාසීන්ගේ විරෝධය මැද මෙය සිදු කර තිබේ.
 
 ඉපලෝගම රණවිරු ගම්මානය ඉදිකිරීමේදී මෙවැනිම ඉරණමක්‌ අත්විය. එදා එහි කළ විනාශය පස්‌යට වළලා ඇති අතර තිබුණ නිධන් වස්‌තුවලට සිදුවූ දෙයක්‌ නැති බව ප්‍රදේශයේ ජනතාව අදටත් කතා කරති.
 
 මේ පිළිබඳව අදහස්‌ දැක්‌වූ කරුණාරත්න බණ්‌ඩාර මහතා - ගම් උදාව වැඩසටහන යටතේ මෙම ස්‌ථානයේ ඉඩම් දෙන්න ඉල්ලුම්පත් කැඳවා තිබෙනවා. ගමක්‌ හදන්න බැලුම්ගලම තෝරා ගත්තේ නිධන් ලබා ගැනීමේ උපායක්‌ ලෙසයි. බැලුම්ගල පැත්තේ හේන් කොටපු ගමේ අයට නඩු දැම්මා හිරේ දැම්මා දැන් ඩෝසර් දාලා වටිනා කැලෑව කපලා පරිසර විනාශ කරලා පුරාවස්‌තු ගලවා දැමීම බලධාරීන්ට නොපෙනීම පුදුම දෙයක්‌ නේද......?"
 
 රංජිත් තිලකසිරි මහතා - මේ ඩෝසර් කරලා තිබෙන්නේ ජාතියේ උරුමයන්. මම එදා ගමේ හිටියේ නැහැ. මම හිටියානම් ඩෝසරයට පැනලා මේ විනාශය නවත්වනවා. අපේ මී මුත්තෝ හදපු මේ පුරා වස්‌තු අපි රකින්න ඕනේ. මේ දක්‌වා ගමේ කෙනෙක්‌ ගලක්‌ ගැලෙව්වේ නැහැ. නමුත් ආණ්‌ඩුවේ බලධාරින්ට ඕනේ විදිහට පුරාවස්‌තු විනාශ කරනවා......"
 
 නිමල් මහින්ද මහතා - මිනිස්‌සු පදිංචි කරන්න ගම්මාන හැදිය යුතුයි. ඒත් වටිනා පුරා වස්‌තු විනාශ නොකර. බැලුම්ගල අපිට පන්සලක්‌ හදලා දෙන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. 
 
 බැලුම්ගල අවට තිබුණ මල් ආසන සඳකඩ පහණ දැවැන්ත ගල් කණු දැතින් ඉවත් කිරීමට නොහැකි නිසා ගම්මාන හැදීමේ මුවාවෙන් ඩෝසර් යොදා මේ විනාශ කර ඇත්තේ ජාතික උරුමයන්ය. මේ විනාශයන් පිළිබඳව කතා කරන්නට කෙනෙක්‌ නැත. රටේ උරුමය හිමි ජාතිය වෙනුවෙන් වචනයක්‌ හෝ කතා කළහොත් ළගින්න වෙන්නේ හිරේ විලංගුවේය. ඒ වෙනුවෙන් ඕනෑ තරම් මාංචු කුට්‌ටම්, වෙඩි උණ්‌ඩ සූදානම්ය. මේ ඉරණම, අන් ජනවර්ගයක හෝ ආගමික ස්‌ථානයකට වූවා නම් පාලකයෝ එක පොරයට එහි දුවති. ඒවා යළි තිබුණු ලෙස සකසන්නට නිසැක ලෙසම උපදෙස්‌ දෙනු ඇති. ඒ උනන්දුව ඇති පාලකයන් පිරිසක්‌ දැනට ජාතියට නැත. ජාතියේ මේ ජයග්‍රාහී බිමට හෙට දවසේ කුමක්‌ සිදුවන්නේ ද යන්න විමසිලිමත් නොවුවහොත්, විජිතපුර සටන ඉතුරු වනු ඇත්තේ චිත්‍රයක පමණය. 
 
 කැකිරාව සුදත් ඒකනායක 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com