master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මල්ටි බැරල් ගහන්න කී විශේෂ බළකා වීරයන් ගේ කතාව


2018-04-28 09:42:10 -  6125 යි

තිස් වසක් පුරා මේ ‍පොළොව ලෙයින්, කඳුළින් නැහැවූ ලොව අතිශයෙන්ම නිරානුකම්පිත ගරිල්ලා නායකයා වූ වේලුපිල්‍ලේ ප්‍රභාකරන් ඝාතනය කර රටට නිදහස දුන් යුද හමුදාවේ 53 වැනි සේනාංකයට අණ දුන් සෙන්පති ඔහුය. මේ සිද්ධිය ඇතුළු ඊළාම් සටනේ මතක සටහන් පිළිබඳ ඔහු ගිය සතියේ කෘතියක් එළි දැක්වීය. රණමග ඔස්සේ නන්දිකඩාල් (කොටි සංවිධානය පරාජය කිරීම සත්‍ය කතාව) එහි නමය. මේ කෘතියෙන් හෙළි කරන රහස් පිළිබඳ කතුවරයා සමග සාකච්ඡාවකි.

ඊලාම් යුද්ධයේ ආරම්භයත් අවසානයත් අතර තිබෙන ඔබේ සබඳතාව කුමක්ද?
ප්‍රභාකරන්ගේ අණ යටතේ එල්.ටී.ටී.ඊ.ය මුලින්ම ඝාතනය කළ හමුදා නිලධාරියා වූයේ ලුතිනන් වාස් ගුණවර්ධන. ඔහුත් මමත් කොළඹ ආනන්දයේ එකම බංකුවේ වාඩි වෙලා අකුරු කළ සිසුන් දෙදෙනෙක්. වාස් ගුණවර්ධන මගේ හොඳම මිතුරෙක්. අපි කෑවේ බිවේ එකට.

ටියුෂන් ගියේ එකට. නමුත් ඔහු මට පෙර යුද හමුදාවට ගියා. ඉතින් වාස් ගුණවර්ධන ඝාතනය වුණේ 1983 ජූලි 22 දා යාපනය තිරුනෙල්වේලිවලදී ප්‍රභාකරන් 2009 මැයි 19 දා නන්දිකඩාල්වලදී ඝාතනය කරන්න 53 වැනි සේනාංකයට අණ දුන්නේ මමයි.

ඔබගේ හමුදා සේවය වසර තිස්පහක්. නමුත් ඒ දීර්ඝ ඉතිහාසය අතරින් අපි, ඔබ හතර වැනි ඊලාම් සටනට දුන් දායකත්වය ගැන පමණක් කතා කරමුද?

හතරවැනි ඊළාම් යුද්ධයට මම මුලින්ම සම්බන්ධ වුණේ සංග්‍රාමික ගුවන් බළසේනාධිපතිවරයා ලෙසයි. එකල මම නිලයෙන් කර්නල්වරයෙක්.

කුමක්ද ඔබ අණ දුන් මුල්ම සටන?

2006දී මුහමා‍ලේ ඉදිරි ආරක්ෂක වළල්ලට එල්.ටී.ටී.ඊ.යෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වුණා. එකල මුහමා‍ලේ හැඳින්වූයේ ජාතික පෙරමුණ කියලා. මොකද මුහමා‍ලේ බිඳ වැටුණොත් යාපනයත් ඉවරයි. මේ නිසා වැඩිම පිරිස් හා අවි බලය යොදවා තිබුණේ මුහමා‍ලේට. එසේ තිබියදීත් ත්‍රස්තවාදීන් අපේ ලයින් එක කැඩුවා.

ඒ වෙලාවේ ඔබ කොහේද හිටියේ?

මමත් මුහමා‍ලේ 55 සේනාංකාධිපති බ්‍රිගේඩියර් සනත් කරුණාරත්නත් හිටියේ කොළඹ. ප්‍රහාරය සමගම අපට යාපනයට යන්න අණ ලැබුණා. අපි යාපනයට ගිය පසු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් (එකල) සරත් ෆොන්සේකා මට නියෝග කළා 55 වැනි සේනාංකයට අණ දෙන්න කියලා. එම උපදෙස් නිසා මා දැඩි අසීරුවට පත් වුණා. මොකද සේනාංකාධිපතිවරයා මට වඩා ‍‍‍ජ්‍යෙෂ්ඨයෙක්. එහෙත් ඔහු ඒ වෙලවේ මහත්මයකු ලෙස හැසිරිලා කීවා හරි කමල් ඔයා අණදෙන්න. අපි ජය ගත්තොත් ඒක ඔයාගේ ජය. පැරදුණොත් පරාජයේ වගකීම මට භාර දෙන්න කියලා. ඇත්තටම සනත් කරුණාරත්න ගැන අදටත් මට ඇත්තේ අසීමිත ගෞරවයක්. භක්තියක්. කෙසේ නමුදු අපි එදා ත්‍රස්තවාදීන්ගේ උත්සාහය පරාජය කළා. බ්‍රිගේඩියර් සනත් කරුණාරත්නට මාරුවීමක් ලැබුණාම මට බළසේනාධිපති ධුරයේ සිට 55 වැනි සේනාධිපති ධුරයට උසස් වීමක් ලැබුණා.

55 වැනි සේනාංකයෙන් පසු ඔබට ලැබෙන්නේ 53 වැනි සේනාංකාධිපති ධුරය. ඒ තනතුරට ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සිටියදී ඔබට එය ලැබුණේ කොහොමද?

ඒ කාලයේ 53 වැනි සේනාංකය හැඳින්වූයේ යුද හමුදාවේ විශිෂ්ටතම ප්‍රහාරාත්මක සේනාංකය කියලා. පාබල රෙජිමේන්තුවට සිටින නිලධාරියකුගේ ඉහළම බලා‍පොරොත්තුවක් තමයි 53 වැනි සේනාංකයට අණදීම. එම සේනාංකය ඇත්තේ යුද හමුදාපතිවරයාගේ සෘජු අණදීමටයි. ඒ නිසා එය හැඳින්වූයේ යුද හමුදාපතිවරයාගේ අතිරේක සේනාංකය ලෙසයි. එකල 53 වැනි සේනාංකාධිපති ධුරයට පත් කරන්නේ සේනාංක අතර සිටින දක්ෂම සේනාංකාධිපතිවරයා. හමුදාපතිගේ තෝරා ගැනීම වුණේ මමයි. ඒ ගැන අදටත් මට ඇත්තේ ආඩම්බරයක්. ආඩම්බරය වැඩි වීමට හේතුවක් තමයි යුද්ධය අවසන් කළේ 53 වැනි සේනාංකය වීම.

53 වැනි සේනාංකය එකල ස්ථානගත වී සිටියේ කොහේද?

මුහමා‍ලේ. යාපනයට කොටින්ට ඇතුළුවීමට තිබූ ගේට්ටුව වුණේ මුහමා‍ලේ. මා දන්නා පරිදි ලංකාවේ නොවේ මිහිපිට තිබූ භයානකම භූමි ප්‍රදේශය වූයේ මුහමා‍ලේ. මර උගුල් ලක්ෂ ගණනක් එහි වළලා තිබුණා. හැම තිස්සේම මෝටාර් කාලතුවක්කු ප්‍රහාර. පැය 6ක සටනක් කළොත් අපේ 75-100ක් මැරෙනවා. 400ක්-500ක් තුවාල වෙනවා. 53 වැනි සේනාංකය ගමන පටන් ගන්නේ එවැනි බිහිසුණු බිමකින්.

සිව්වැනි ඊලාම් සටනේදී බොහෝ ස්ථානවලදී තීරණාත්මක සටන් පැවැතියා. ඔබගේ කල්පනාවේ හැටියට මේ යුද්ධයේ හැරවුම් ලක්ෂ්‍යය කුමක්ද?
මුලතිව් පුදුකුඩුඉරිප්පු දකුණ ප්‍රදේශයට 2009 පෙබරවාරි 01 දා ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරය. ඒක ත්‍රස්තවාදීන්ගේ හොඳට සැලසුම් කළ ප්‍රහාරයක්. මීට පෙරත් ප්‍රභාකරන්ගේ යුද උපක්‍රමය වී තිබුණේ අපට ජයග්‍රාහීව ඉදිරියට එන්න දීලා අපි මහන්සි වූ පසුව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමයි. ජයසිකුරු මෙහෙයුමේදිත් වුණේ ඒ දෙයමයි. අපි මාන්කුලම් අල්ලා ගත්තා. ඒ වෙලාවේ අපට තවදුරටත් සටන් කිරීමට සෙබළු සිටියේ නෑ. කොටින්ම කියනවානම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාවට පමණක් යොදා තිබූ ජාතික ආරක්ෂක බළමුළුවත් ඉන් ඉවත් කරලා මාන්කුලම් ඉදිරි ආරක්ෂාවට දැම්මා. ඒත් ත්‍රස්තවාදීන් එල්ල කළ ප්‍රහාරයත් සමග දවස් දෙකින් අපි වවුනියාවට පසුබැස්සා. 2009 පෙබරවාරි 01 දා එල්ල වූ ප්‍රහාරයේදීත් එහෙමයි. හතරවැනි ඊලාම් යුද්ධයේ මුල්වරට අපි පසුබසින්න ගත්තා. ඒ වන විටත් සීයක් විතර මැරිලා. එකසිය පනහක් විතර අතුරුදන්. බළ ඇණි දෙකක් ආගිය අතක් නෑ. කොල්ලෝ පසුබහිනවා. ඒක දිගටම වුණා නම් යුද්ධය යළිත් මුල ඉඳන් කරන්න වෙනවා.

යුද හමුදාපතිතුමා මට දුරකථනයෙන් කතා කළා. ඔහුත් හොඳටම කැළඹිලා හිටියේ. ඔහු කියපු කතාව මට අද වගේ හොඳට මතකයි. දැන් මේ රටේ මිනිස්සු මේ යුද්දේ දිනලා ඉවරයි. මුළු රටම බලාගෙන ඉන්නේ ජය පැන් බොන්න. ඒත් දැන් මෙතැන කෙළවෙන්න පටන් අරන්. ජයසිකුරු ඔපරේෂන් එකේ ආපහු හැරුණු එකේ අනෙකයි මේ වෙන්න යන්නේ. දැන් අපි ආපහු හැරුණොත් අපට පාරේ බැහැලා යන්න වෙන්නේ නැහැ. අපිට විතරක් නමෛයි අපේ දරුවන්ටත් මිනිස්සු කෙළ ගහයි. ඒක නිසා මේ විනාශය කොහොම හරි නවත්වන්න ඕනේ. ඒක නිසා තේරෙනවද අපි ඔබට දැන් දීලා තියෙන කාර්යභාරයේ වගකීම කියලා ඔහු කීවා.

මේ පසුබැසීම නතර කළේ කොහොමද?

53 වැනි සේනාංකයට අයත් භට පිරිස් වහාම සටන් බිමට ගියා. පෙබරවාරි 1 දා, 2 දා ගහගත්තා. ඒත් වැඩේ හරිගියේ නෑ. 3 වැනිදා කොළඹ නිදහස් සමරුවට ලෑස්තිවෙනවා. ඒ අතරේ මුලතිව් ගිනි අරන්. එන්න එන්නම මරණ ගාන වැඩිවෙනවා. මමත් මේජර් ජෙනරාල් ජගත් ඩයස්, විශේෂ බළකා බළසේනාපති කර්නල් නිර්මාල් ධර්මරත්න, කාලතුවක්කු බළසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත නාපගොඩ තමයි ඒ වෙලාවේ එකට හිටියේ. ජගත් ඩයස් ආවේ ස්වේච්ඡාවෙන් මට උදව් කරන්න. අප ගජබා රෙජිමේන්තුවේ ජෙනරාල් විජය විමලරත්නගේ ළමයිනේ. ඒක නිසා යාළුවෝ අතහැරලා යන්නේ නෑ. ඔහු වගේ පරිණත නිලධාරියකු ළඟ සිටීම මට ශක්තියක් වුණා. මචං මොකද කරන්නේ කියලා ඔහු අහනවා.
මොකද සර් කරන්නේ කියලා මමත් අහනවා. කොල්ලෝ ඉදිරියට ගියා වගේ නෙමේ පසු බැස්සොත් නතර කරන්න බෑ කියලා අපි අත්දැකීමෙන් දන්නවා. සර් කොල්ලෝ දුවනවා කියලා අපට පණිවුඩ ලැබෙනවා. අනෙක් පැත්තෙන් ලැබෙන්නේ ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර මිනිස් රැලි වගේ එල්ල වෙනවා කියලා. ඒ වෙලාවේ විශේෂ බළකාය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර මැඩ පැවැත්වීමට විශිෂ්ට සටනක් දුන්නා. ඉදිරි ආරක්ෂක වළල්‍ලේ හිටපු විශේෂ බළකාය ඔවුන්ගේ ළඟටම මල්ටි බැරල් ප්‍රහාර ඉල්ලනවා. ඒත් කාලතුවක්කු බළසේනාධිපති කියනවා, එහෙම ගහන එක අපේ සෙබළුන්ගේ ජීවිතය අනතුරේ දැමීමක් කියලා. ඔවුන් කියනවා අපි මැරුණට කමක් නෑ, ඉතිරි අය බේරා ගන්න මල්ටි බැරල් ගහන්න කියලා. අන්තිමට මමත් ජගත් ඩයසුත් ප්‍රහාරයේ වගකීම භාර අරන් මල්ටි බැරල් ගහන්න කීවා. කොහොම හරි අපි තත්ත්වය පාලනය කළා. පසුබැසීම නතර වුණේ එවිටයි.

යුද්ධයේ අවසන් කාලයේදී ලංකාවට ඇමෙරිකන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් මතුවූ බවට ආන්දෝලනාත්මක කතාවක් ඔබේ කෘතියෙන් මුල් වරට හෙළිවෙනවා. කුමක්ද එහි පසුබිම?

යුද්ධයේ අවසන් කාලයේදී ඇමෙරිකාව ඇතුළු බලවත් රටවල් කීපයක් ලංකාවට විශාල පීඩනයක් එල්ල කළා. තුන්වැනි පාර්ශ්වයකට එල්ටීටීඊයට යටත් වෙන්න ඉඩ දෙන්න කියලා ඔවුන් බල කළා. නමුත් ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ දැඩි ස්ථාවරයක සිටියා. එල්ටීටීඊය යටත් වෙනවා නම් ඒ ශ්‍රී ලංකා හමුදාවට පමණයි කියලා. බටහිර රටවල්වලින් කොපමණ පීඩනයක් ආවත් එතුමා එම තීරණය වෙනස් කළේ නෑ. මේ නිසා ඇමෙරිකාවෙන් අපට ප්‍රහාරයක් එල්ල වේවි කියල එතුමා අපට අනතුරු හැඟවූවා. ඒ වෙලාවේ චීනයේ හුන් යුද්ධ හමුදාපතිවරයාත් මට දුරකථනයෙන් කතා කරලා ඇමෙරිකන් ගුවන් ප්‍රහාරයක් ගැන අනතුරු හැඟවූවා.

මේ අනතුරු හැඟවීම ගැන ඔබගේ ප්‍රතිචාරය වූයේ කුමක්ද..?

එවැනි ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉන් සෙබළුන්ගේ දිවි බේරාගැනීම සඳහා අපි උපක්‍රම භාවිත කළා. කෙසේ නමුදු මේ තර්ජනය ගැන පහළ මට්ටමේ කිසිවෙකුට අප කීවේ නෑ. සේනාධිපතිවරු පමණයි දැනගෙන සිටියේ.

ප්‍රභාකරන් මරා ලකුණු ගැනීමට යුද හමුදාව හා නාවික හමුදාව අතර සීතල යුද්ධයක් තිබුණු බව එකල ප්‍රසිද්ධ රහසක්. යුද හා නාවික හමුදාව තුළ පමණක් නොව සටන් බිමේ සේනාධිපතිවරු අතරත් එවැනි තරගයක් තිබුණා නේද?

මට නම් තරගයක් තිබුණේ නෑ. නමුත් අහිංසක ආසාවක් තිබුණා ප්‍රභාකරන් මරා දැමීමට අණ දීමට. කොපමණ කලක් යුද්ධය කළත් අවසාන ජය වන්නේ කොටි නායකයා මරා දැමීමයි. එහි ගෞරවය ගැනීමට මොන හමුදා නිලධාරීයාද අකමැති වන්නේ.

වන්නි මෙහෙයුමට සම්බන්ධ සේනාංක, බළසේනා, කාර්ය සාධක බළකා හා රෙජිමේන්තු රැසක් තිබුණා. ඒ අතරින් ප්‍රභාකරන් ඝාතනය කළ 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව අයත් වූයේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ අණදුන් 681 වැනි බළසේනාවටයි. එය අයත් වූයේ කර්නල් ජී.වී. රවිප්‍රිය අණදුන් 8 වැනි කාර්ය සාධක බළකායටයි. එසේ නම් ප්‍රභාකරන් මැරුවේ ඔබ අණ දුන් 53 වැනි සේනාංකය කියලා කියන්නේ කොහොමද?

මෙතැනදී බොහෝ දෙනෙක් පටලවා ගත්තු කාරණාවක් තිබෙනවා. අනෙකුත් කාර්ය සාධක බළකා වගේ නොවේ 8 වැනි කාර්ය සාධක බළකාය. ස්වාධීන ඒකකයක් ලෙස තිබුණේ නෑ. මුලතිව් ප්‍රහාරයෙන් පසු ඉතිරි වූ රෙජිමේන්තු එකතු කරලා තමයි 8 වැනි කාර්ය සාධක බළකාය ස්ථාපිත කළේ. එහි සේනාංකාධිපති ලෙස කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් ජී.වී. රවිප්‍රියත් 681 බළසේනාධිපතිවරයා ලෙස කමාන්ඩෝ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ලලන්ත ගමගේ හා 682 බළසේනාධිපති ලෙස සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් සුභාෂණ වැලිකල පත්කරන ලෙස මා යුද හමුදාපතිවරයාගෙන් ඉල්ලුවා. ඔහු ඊට එකඟතාව පළ කළා. 8 වැනි කාර්ය සාධක බළකාය තිබුණේ 53 වැනි සේනාංකය යටතේ මිසක් ස්වාධීන සේනාංකයක් ලෙස නොවේ. ඊටත් අණ දුන්නේ මමයි.

යුද්ධයේ අන්තිම දවස් හතරේ මොකද වුණේ.?

2009 මැයි 16 වැනිදා වන විට අපි ත්‍රස්තවාදීන් වර්ග මීටර් 800ක කොටුවකට කොටු කළා. ඊට පස්සේ මුල්ම ප්‍රහාරය එල්ල වන්නේ 17 වැනිදා. ඒ වන විට නන්දිකඩාල් කලපුවේ උතුරෙන් සිටියේ 53 වැනි සේනාංකය. නැගෙනහිරෙන් සිටියේ 58 වැනි සේනාංකය. බටහිරෙන් තිබුණේ කලපුව. 17 වැනිදා පාන්දර නන්දිකඩාල් කලපුවෙන් බෝට්ටු රැසක් කඩාගෙන ආවා. ඒ ප්‍රහාරය කොච්චර දරුණුද කියනවා නම් මරාගෙන මැරෙන බෝට්ටු හයක් ආපු වේගයට ගොඩබිමෙන් මීටර් ගණනාවක් තල්ලු වී විත් ඉදිරි ආරක්ෂක වළල්‍ලේ හැප්පී පුපුරා ගියා. ඒත් අපේ සෙබළු අතහැරියේ නෑ. ආරක්ෂක වළල්ල රැකගෙන ත්‍රස්තවාදීන් පලවා හැරියා. මේ ප්‍රහාරය තමයි ප්‍රභාකරන්ගේ ජීවිතය බේරා ගැනීමට එල්ල කළ අන්තිම සැලසුම. ඔවුන් උත්සාහ කළේ අපේ ආරක්ෂක වළල්ල කඩලා ප්‍රභාකරන් මාන්කුලම් කැලයට ගෙනයන්න. එහෙම වුණා නම් යුද්ධය තවත් මාස 6ක් ඉදිරියට යනවා. පසුව අපි හෙළි කර ගත්තා කොටි මාන්කුලම් කැ‍ලේ තුවක්කු හා කෑම හංගලා ඒවා ඇති තැන් චන්ද්‍රිකා තාක්ෂණය ආධාරයෙන් හඳුනා ගන්න ලකුණු කරගෙන තිබුණා කියලා.

මේ ප්‍රහාරයට එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ආවේ කොහෙන්ද?

කඩලාන කැලෙන් ආවේ. ඊට පහර දීම පැවරිලා තිබුණේ බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වාට. මම ඔහුට කීවා අද ඔය කෑල්ල ඉවර කරපන්. නැතිනම් කොටි යන්නේ මගේ ඔළුව උඩින් කියලා.

ඔව් සර් අපි ගහනවා කීවත් තුවාලකරුවන් එන්න එන්න වැඩි වූ නිසා කඩලාන කැ‍ලේ අල්ලා ගන්න එදා බැරි වුණා.

ප්‍රභාකරන් ගිලන් රියක මැරිලා ඉන්නවා කියලා ප්‍රචාරය වුණේ කොහොමද.?
ත්‍රස්තවාදීන් අවතැන් වූවන්ට මුවාවෙලා අපේ ප්‍රදේශයට රාත්‍රියේ ඇතුළු වෙන්න උත්සාහ කළා. නමුත් මා කීවා රාත්‍රියේ කවුරුවත් ගන්න එපා කියලා. නමුත් හිටපු අය කලබල කරන්න හදපු නිසා නිලධාරියකු අහසට වෙඩි තැබුවා. ඉන් ජනතාව අතර සැඟව සිටි කලබල වූ ත්‍රස්තවාදීන් අපට දැඩි ප්‍රහාරයක් එල්ල කළා. අපේ ආරක්ෂක වළල්‍ලේ මීටර් 300ක් විතර කැඩුණා. කොටි ඉන් ඇතුළට ආවා. නමුත් පිටුපසින් අපි ප්‍රතිසංවිධානය වී ත්‍රස්තවාදීන්ට පහර දුන්නා. 18 වැනිදා අලුයම පහ වන විට අපි තත්ත්වය පාලනය කළා. ප්‍රභාකරන්ගේ වැඩිමහල් පුත් චාල්ස් ඇන්තනි මැරුණේ මේ ප්‍රහාරයෙන්. 53 වැනි සේනාංකය ඔහුගේ දේහය හොයා ගත්තා.
මේ අතරේ ප්‍රහාරයෙන් තුවාල වූ අපේ සෙබළෙකු ගිලන් රියක දමාගෙන ප්‍රතිකාර සඳහා රැගෙන ගියා. කොටි එම රියට අතරමගදී පහර දීලා අල්ලා ගත්තා. මේ සිද්ධිය දැන ගත් අපේ භට පිරිසක් ත්‍රස්තවාදීන් තිදෙනාට වෙඩි තබා මරා දැම්මා. ඒ වන විටත් ගිලන් රිය තිබුණේ ගිනි ගනිමින්. මේ සිද්ධිය තමයි කටින් කට පැතිරිලා ගිහින් ජාත්‍යන්තරයටත් ආරංචි වුණේ. ප්‍රභාකරන් ගිලන් රියක මැරිලා ඉන්නවා කියලා. හමුදාපතිවරයාත් මට කතා කරලා මේ කතාව ඇහුවා. මම ඔහුට කීවා මේ කතාව බොරුවක් කියලා.

මේ ප්‍රහාරයෙන් පසු ප්‍රභාකරන්ට මොකද වුණේ?

ප්‍රභාකරන් ගැන ආරංචියක් ලැබුණේ නෑ. දුරකථන ටැප් කරන්න උපකරණ සිය ගණනක් අපට තිබුණත් ඒ එක තැනකදීවත් ප්‍රභාකරන්ගේ කටහඬ ඇසුණේ නෑ.

එතකොට ප්‍රභාකරන් කඩලාන කැ‍ලේ ඉන්නවා කියලා දැන ගත්තේ දුරකථනය ටැප් කරලාද?

නෑ. කවුරු හරි කියනවා නම් ප්‍රභාකරන්ගේ දුරකථනය ටැප් කළා කියලා ඒක අමූලික බොරුවක්. අපි කවුරුවත් දැනගෙන හිටියෙ නෑ ඔහු කඩලාන කැ‍ලේ ඉන්නවා කියලා.

කඩලාන කැ‍ලේ ඇල්ලුවේ කොහොමද.?

18 වැනිදා උදේ 57 වැනි සේනාංකාධිපති, මේජර් ජෙනරාල් ජගත් ඩයස්, 58 වැනි සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවීන්ද්‍ර සිල්වා බ්‍රිගේඩියර් චාගි ගාල්ලගේ, කාලතුවක්කු බලසේනාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත නාපාගොඩ, විශේෂ බළකා බළසේනාධිපති කර්නල් අතුල කොඩිප්පිපිලි, කොමාන්ඩෝ බළසේනාධිපති කර්නල් රුල්ෆ් නුගේරා යන නිලධාරීන් මගේ මෙහෙයුම් මැදිරියට ආවා. ඒ වෙලාවේදී තීරණය කළා කඩොලාන කැ‍ලේ අල්ලන්න. උදේ 11.00 වනතුරා සටන ගියා. ඔවුන් දැනුම් දුන්නා එම ස්ථානයේ සිටි ත්‍රස්තවාදීන් 150 මරා දමා සටන අවසන් කළා කියලා. ඒ අතරේ මට ආරංචියක් ආවා මුහුදු කොටි නායක සුසෙයි සිටිනවා කියලා. සුසෙයි කියන්නේ සටනට අතිදක්ෂයෙක්. ඔහුගේ යළි හැරීමක් නෑ. මම යළිත් අණ දුන්නා සුසෙයි සිටින ප්‍රදේශයට පහර දෙන්න කියලා. යළිත් සෙබළු කඩොලාන කැ‍ලේට පහර දුන්නා. ඒ සටනේදී එල්ටීටීඊයේ සන්නද්ධ අංශ නායක භානුත් මැරුණා. දැන් කොටි නායකයන් සියලු දෙනාගේම මළ සිරුරු හඳුනාගෙන තිබුණු නිසා මට සවස 6.45ට පමණ යුද හමුදාපතිට දුරකථන ඇමතුමක් දුන්නා.

සර් මව්බිමේ සෑම බිම් අඟලක්ම දැන් ආපසු අප සතුයි සියල්ල දැන් අවසානයි කියලා. මම එතුමාට කීවා. මඳ වේලාවක් නිශ්ශබ්දව සිටි ඔහු මගෙන් ප්‍රභාකරන් කෝ? කියලා ඇසුවා. ඒකට මට උත්තරයක් තිබුණේ නෑ. ප්‍රභාකරන් මිය ගියේ නැතිනම් යුද්ධය අවසන් නෑ කියලා ඔහු කීවා. කොහොම හරි 18 දා රාත්‍රියේ ප්‍රභාකරන් අපට මිස් වුණා.

එතකොට ප්‍රභාකරන්ට මොකද වුණේ?

ඔහු ලංකාවේ ඉන්නවාද පිටරටකට පැන ගියාද කියලා අපේ බුද්ධි අංශ නිශ්චිතව දැනගෙන සිටියේ නෑ. මම හමුදාපතිවරයාට කීවා කඩොලාන කැ‍ලේ 53 වැනි සේනාංකය වටකරලා තියෙන්නේ. ඉන් කාටවත් පැන යන්න බෑ. රෑ කඩොලාන කැ‍ලේ තදින් කළුවර නිසා උදේ නැවත පරීක්ෂා කරන්නම් කියලා.

19 දා උදේ මොකද වුණේ?

යුද ජයෙන් සතුටු වෙලා එදා උදේ මුළු රටම කිරිබත් කනවා. ජනපතිතුමා පාර්ලිමේන්තුව අමතන්න ගිහින් තිබුණා. හමුදාපතිවරයාත් සිටියේ පාර්ලිමේන්තුවේ. මමත් අපේ සෙබළු හදලා තිබුණ කිරිබත් කෑල්ලක් කකා ජනාධිපතිතුමාගේ කතාව අහන්න වාඩි වුණා. ටික වේලාවක් යන විට කර්නල් රවිප්‍රිය කතා කරලා කීවා සර් කඩොලාන කැ‍ලේ ආයිත් ප්‍රශ්නයක්. ඉක්මනින් එන්න කියලා. මම ටක් ගාලා ජීප් එකේ නැගලා කඩොල් කැ‍ලේට ගියා. 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුව කැ‍ලේ ඇතුළට ගිහින් මෙහෙයුම පටන් ගන්න කීවා.
විනාඩි 45ක් පමණ ගියා. 4 වැනි විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරී මේජර් රෝහිත අළුවිහාරේට මම දැනුම් දුන්නා අට දෙනා බැගින් වූ කණ්ඩායම් දෙකක් යොදවා පහර දෙන්න කියලා. ලුතිනන් ජී.එම්. ඩී. නාලක නායකත්වයෙන් යුත් සැරයන්වරුන් වන ටී.එම්. මුතුබණ්ඩා හා එම්.ජී. විජේසිංහ තමයි මෙම ප්‍රහාරය එල්ල කළේ. ප්‍රහාරය අවසන් වූ පසු මම මගේ දිවියේ ඇසූ සතුටුදායකම ආරංචිය මට අහන්න ලැබුණා.

කවුද ඒක කීවේ?

සර් අන්තිම ප්‍රහාරයෙන් ප්‍රභාකරන් මරලා දැම්ම කියලා මට කීවේ කර්නල් රවිප්‍රිය. ඒ කතාව අපට අදහා ගන්න බැරි වුණා. මට ඒ කතාව යළිත් තහවුරු කරගන්න ඕනෑ වුණා. මම ලලන්ත ගමගේට කැ‍ලේ ඇතුළට ගිහින් මේ ආරංචිය තහවුරු කරන්න කියලා දැනුම් දුන්නා. විනාඩි 10කට පසු ඔහු මට කෑ ගහලා කීවා සර් යුරේකා වැඩේ හරි මේ ඉන්නෙ ප්‍රභාකරන් කියලා.

ප්‍රභාකරන් ගැන ලියැවුණ වීර කතාවල තිබුණේ ඔහු හමුදාවට අහු වුණොත් දිවි නසා ගැනීමට සයනයිඩ් කරළක් පැළඳගෙන සිටියා. හමුදාවට මිනිය නොලැබිමට ගිනි තබා පිළිස්සීමට පැට්‍රල් ගැලුමක් ළඟ තබාගෙන සිටියා කියලා. ඇත්තටම එදා ඔහු ළඟ මේවා තිබුණද?

නෑ. මේ මුකුත් තිබුණේ නෑ. ඔහු ළඟ තිබුණේ උග්‍ර දියවැඩියාවට දෙන බෙහෙත් හා එල්.ටී.ටී.ඊ.යේ ඔහුට නිකුත් කළ 001 දරන හැඳුනුම්පත හා බෙල්‍ලේ එල්ලා සිටි ඩෝග් ටැග් එක විතරයි. (ඩෝග් ටැග් යනු සෙබළෙකුගේ නම, අංකය හා ‍ලේ වර්ගය සඳහන් යකඩ තහඩුවකි.)

ප්‍රභාකරන්ගේ මරණය හමුදාපතිට කීවේ කවුද?

මම. ඒ වන විට ඔහු සිටියේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා ඔහු ක්ෂණිකව සම්බන්ධ කරගන්න බැරි වුණා ටික වේලාවකට පසු සම්බන්ධ කර ගන්න හැකි වුණා. මම ඔහුට කතා කරලා කීවා සර් මහ එකා ඉවරයි කියලා. මොකක් කියලා ඔහු ඇහුවාම මට කීවා සර් අපි ප්‍රභාකරන් මරා දැම්මා කියලා.

ප්‍රභාකරන්ගේ ඩෝග් ඩැග් එකට කුමක්ද වුණේ..?

හැමදාමත් යුද හමුදාපතිවරයා අපට දෙන්නේ නියෝග. නමුත් ඔහු එදා මගෙන් ඉල්ලීමක් කළා. කමල් ඊළාම් යුද්ධයේ සිහිවටනය ලෙස ඩෝග් ටැග් මට එක දෙන්න පුළුවන්ද කියලා. මුලින් මම එය මගේ සිහිවටනය ලෙස තබා ගන්න හිතුවා. නමුත් මට හැමදාමත් මගේ සියලුම යුද හමුදාපතිවරුන්ට ගරු කළා. ඒ නිසා එතුමාට මම ඩෝග් ටැග් එක මගේ විශ්වාසවන්ත නිලධාරියකු අතේ පසුදිනයේම යැව්වා.

ප්‍රභාකරන්ගේ හැඳුනුම්පතට කුමක්ද වුණේ?

ඒක මගේ ළඟ තිබෙනවා. මම ඒක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් වරක් පෙන්නුවා. දැන් මම විශ්‍රාමිකයිනේ. ඒ නිසා ප්‍රභාකරන්ගේ හැඳුනුම්පත යුද හමුදා කෞතුකාගාරයට හෝ ගජබා රෙජිමේන්තු කෞතුකාගාරයට දෙනවා.

ප්‍රභාකරන්ගේ මරණය ගැන අදටත් කටකතා පැතිරෙනවා. ඔහු පණ පිටින් කොළඹ ගෙනාව ජනාධිපතිවරයා ඔහුගේ කම්මුලට ගහපු බව එක කතාවක්. යුද හමුදාපතිත් ඔහුට ගැහුවා කියලා තවත් කතාවක් පැතිරෙනවා. මේ කතා අතරින් ඇත්ත කතාව කුමක්ද..?
ඔය ඔක්කොම බොරු කතා. ඔහු ඝාතනය වූයේ 2009 මැයි 19 දා උදේ 9.30 ට පමණ. කමාන්ඩෝ හෝ ස්නයිපර් ප්‍රහාරයකින් ඔහු මැරුණේ නෑ. ඔහු මැරුවේ විජයබාහු පාබල රෙජිමේන්තුවේ අට දෙනාගේ බැගින් වූ කණ්ඩායම් දෙකක්. ප්‍රභාකරන් පණ පිටින් අල්ලා ගත්තේ නෑ. ප්‍රභාකරන් කඩොලාන කැ‍ලේ සැඟවිලා සිටියා කියලා අපි කවුරුවත් දැනගෙන සිටියෙත් නෑ. අපි කැ‍ලේ සිටි ත්‍රස්තවාදීන්ට වෙඩි තැබුවා. සෝදිසි මෙහෙයුමේදී ප්‍රභාකරන්ගේ මිනිය හම්බුවෙලා හඳුනාගත්තා. ඕක තමයි ඇත්ත කතාව.

එතකොට ප්‍රභාකරන් ඇඳ සිටි නිල ඇඳුම ගැලවූවා කියන කතාව කුමක්ද?
නිල ඇඳුමක් අඳින්න අවසර ඇත්තේ හමුදාවට පමණක් නිසා ප්‍රභාකරන්ගේ ඇඳුම ගලවන්න කියලා හමුදාපතිවරයා මට නියෝග කළා. නමුත් දහස් ගණනක් සෙබළුන් මැද යුද වාර්තාකරුවන් මැද මෙවැනි දෙයක් කරන්න අපහසුයි කියලා මම යුද හමුදාපතිවරයාට කීවාම ඔහු මට තදින් දොස් කීවා. ඒ වෙලාවේ නම් මම කලකිරුණා ප්‍රභාකරන් මරලත් බැනුම් අහන්නේ ඇයි කියලා.

ප්‍රභාකරන්ගේ මිනිය හඳුනාගන්න කරුණා ආවේ කොහොමද?
යුද හමුදාපතිවරයා කතා කරලා කීවා කරුණා අම්මාන් දයා මාස්ටර් ඇවිත් මළ සිරුර හඳුනාගනීවි ඒ සඳහා ඔවුන්ට ඉඩ දෙන්න කියලා.

ඒ වේලාවේ සෙබළු කරුණාවත් මරාවි කියලා ඔබට බය හිතුණේ නැද්ද?
මොකද නැත්තෙ. නමුත් කරුණාගේ ආරක්ෂාව භාර දීලා තිබුණේ බ්‍රිගේඩියර් ෂවීන්ද්‍ර සිල්වාට. ඔහු කරුණාට කොමාන්ඩෝ ආරක්ෂාව දුන්නා. මමත් ජගත් ඩයසුත් වෙන දේ බලාගෙන වාඩි වෙලා හිටියා.
ඒ වේලාවේ අපේ කොල්ලෙක් කීවා කලින් අයින් නොවුණා නම් මුගේ බොඩියත් මෙතැන කියලා. ඒක කියපු සෙබළා අපි දෙන්නා දැක්කාම සමාවෙන්න සර් කීවා.
සමහරු ත්‍රස්තවාදීන් බදාගෙන පින්තූර ගත් සටන් විරාම කා‍ලේත් මම ත්‍රස්තවාදීන්ට අතට අත දුන්නේ නෑ. එකල ඔවුන් අතට අත දෙන්න හැදුවත් මම අත දිගු කළේ නෑ. ඒ තරමට අත් පිරිසිදුයි. කෙසේ නමුදු කරුණා මට එදා ප්‍රභාකරන් මැරුවාට සතුට ප්‍රකාශ කරලා අතට අත දුන්නා. ඔහු දැන් එල්.ටී.ටී.ඊ.යේ නැති නිසා මම එදා ඔහුගේ සතුට භාර ගැනීමට අත දුන්නා.

ප්‍රභාකරන්ගේ ‍ලේ තැවරුණු වැලි වගයක් බෑග් එකකට එකතු කර ගත්තේ කවුද?
මට ඒ සෙබළා මතක නෑ. නමුත් සිද්ධිය මතකයි. එම සෙබළා ප්‍රභාකරන්ගේ ‍ලේ තැවරුණු වැලි එකතු කරන විට අපේ නිලධාරියෙකු මොකක්ද ඔය කරන්නේ කියලා අහලා තියනවා. ඒ වේලාවේ ඔහු ප්‍රභාකරන්ගේ මිනිය පෙන්වමින් සර් දන්නවාද මගේ අම්මාගේ බඩින් ඉපදුනු මගේ අයියලා තුන්දෙනෙක් මේ යුද හමුදාවේ සිටියා. මූ ඒ තුන්දෙනාම මරලා දැම්මා.

මම මේ ‍ලේ ගත්තේ අයියලා මරපු පළිය ගත්තා කියලා අම්මාටත් තාත්තාටයි පෙන්වන්න කියලා ඔහු කියලා තිබුණා.

ප්‍රභාකරන්ගේ මිනියට මොකද වුණේ?
පුච්චලා මුහුදට අළු දැම්මා.

ප්‍රභාකරන්ගේ බිරිය දුව හා ‍පොට්ටු අම්මාන්ට මොකද වුණේ?

ඔවුන් තිදෙනාත් ප්‍රහාරයෙන් මියයන්න ඇති. මොකද ‍පොට්ටු අම්මාන් ජීවත් වුණා නම් මෙලහකටත් පිටරටකින් හෝ මතුවෙලා.

එතකොට ප්‍රභාකරන්ගේ බාල පුතා වූ බාලචන්ද්‍රන් මැරුණේ කොහොමද?
දන්නේ නෑ. ඔහු ගැන අපට තොරතුරු ලැබුණේ නෑ.

ඔබ දැන් නිදහස් මිනිහෙක් නිසා මේ ප්‍රශ්නයට නිදහසේ පිළිතුරක් දිය හැකියි කියලා මම හිතනවා. මහින්ද රාජපක්ෂ ගෝඨාභය රාජපක්ෂ හා සරත් ෆොන්සේකා විරසක වීම ගැන ඔබ මොකද හිතන්නේ?

මම අදටත් මේ තුන්දෙනාට බොහෝ ගරු කරනවා. ගෝඨාභය රාජපක්ෂ ගජබා රෙජිමේන්තුවේ මගේ මුල්ම නිලධාරී අණ දෙන්නා. මේ තිදෙනාම මට වඩා ගව් ගණනක් ඉහළින් සිටින තිදෙනෙක්. මම වගේ පහත් තලයේ සිටින නිලධාරියෙක් ‍‍‍ජ්‍යෙෂ්ඨයන් ගැන කතා කරන එක හොඳ නෑ. මොකද මම විනයගරුක වෘත්තීය සෙබළෙක් නිසා. නමුත් මට ඔබේ ප්‍රශ්නයට දිය හැකි කෙටිම පිළිතුර වන්නේ මට බොහෝ කනගාටුයි කියන එක විතරයි.

යුද්ධයෙන් පසු ඔබ ඇතුළු ගජබා රෙජිමේන්තුව ගැන වැඩියෙන්ම කතා වූයේ 2015 ජනවාරි 08 වැනිදා පැවැති ජනාධිපතිවරණය දවසේ. එදා ගජබා රෙජිමේන්තුව මහින්ද රාජපක්ෂට සහය පළ කරලා රට අල්ලන්න කුමන්ත්‍රණය කරා කියලා කතාවක් පැතිරුණා.

ඔබ දන්නවා ඇති සම්ප්‍රප්ප්‍රලාප හා ප්‍රබන්ධ කියල වචන දෙකක් තියනවා. ඔය කතාවත් හඳුන්වන්න පුළුවන් ඒ වචනවලින් තමයි. මම ගජබා රෙජිමේන්තුවේ සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨතම නිලධාරියෙක්. එවැනි දෙයක් වුණා නම් මමත් දැනගන්න ඕනැනේ.

කෙසේ නමුදු ගෝඨාභය රාජපක්ෂ ගජබා රෙජිමේන්තුවට අයත්ව සිටි නිලධාරියෙකු නිසා මේ කතාව තදින් පැතිරුණා නේද..?

ගජබා රෙජිමේන්තුව ඉන්නේ රට අල්ලන්න නොවේ රට දිනවන්න. අපි ජෙනරාල් විජය විමලරත්නගේ සුජාත ළමයි. හැමදාමත් කළේ රට දිනවීමයි. එවැනි චෝදනාවක්් අපට කළාට එකල යුද හමුදාපතිවරයා වූ සිංහ රෙජිමේන්තුවේ ජෙනරාල් සරත් ෆොන්සේකාත් යුද්ධයේදී වැඩියෙන්ම විශ්වාස කළේ අපියි. අවසන් සටනේ සේනාධිපතිවරු වූ ජගත් ඩයස්, මම, චාගි ගාල්ලගේ, ෂවීන්ද්‍ර සිල්වා අයත් වූයේ ගජබා රෙජිමේන්තුවටයි. මට මතකයි. ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවැති උත්සවයකට ඇවිත් යුද හමුදාපතිවරයා කියනවා දක්ෂයෝ ඔක්කොම ගජබා රෙජිමේන්තුවේ. සිංහ රෙජිමේන්තුවේ මට ඊර්ෂ්‍යාවකුත් හිතෙනවා කියලා. එතුමා එදා අපට තැන දුන්නේ දක්ෂතාවටයි.

කෙසේ නමුදු ජනවාරි 08 දා රාත්‍රියේ ගජබා රෙජිමේන්තුවේ බළඇණි කීපයක් රට අල්ලන්න කොළඹට කැඳවූවා. නමුත් යුද හමුදාපති හා ‍පොලිස්පති විරුද්ධ වූ නිසා එය ව්‍යර්ථ වූවා කියලා එකල කියවුණා.

හමුදාපති ‍පොලිස්පතිගේ කතාව මා දන්නේ නෑ. නමුත් රට අල්ලන්න ගජබා රෙජිමේන්තුවට කැඳවුමක් ලැබුණේ නෑ. ගජබා රෙජිමේන්තුවේ බළඇණි 28 ක් තියනවා. ඉතින් ඉන් එකක් දෙකක් හදිසි තත්ත්වයට ආරක්ෂාව දෙන්න කොළඹට කැඳවීම සාමාන්‍ය දෙයක්. ඔය චෝදනාව මටත් ප්‍රහේලිකාවක්. යුද්ධයේදී වැඩිම සෙබළ හා නිලධාරී පිරිසක් මිය ගියේ ගජබා රෙජිමේන්තුවේ. ඔය වගේ කරන චෝදනා මිය ගිය විරුවන්ටත් කරන අපහාසයක්.

කෙසේ නමුදු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධුරයට පත් වූ පසු ගජබා රෙජිමේන්තුවේ ජෙනරාල්වරු පිරිසක් පෞද්ගලිකව ඔහු මුණගැහුනද?
ඔව්. නමුත් මුණ ගැසුනේ ගජබා රෙජිමේන්තුවේ අප පමණක් නොවේ. අවසන් සටනේ සේනාධිපතිවරු සියලු දෙනා එතුමා හමුවෙන්න ගියා. කොටින්ම කියනවා නම් ඉන්දියාවේ සිටි ෂවීන්ද්‍ර සිල්වාත් ඊට කැඳවා තිබුණා.

කවුද ඔබලට එන්න කීවේ.

ආරක්ෂක ‍ලේකම්තුමාගේ පෞද්ගලික සහකාර මට කතා කරලා කීවා මීගමුවෙ එන්රිච් හෝටලයේදී පැවැත්වෙන ජනපතිතුමාගේ දිවා භෝජනයට අපට ආරාධනා කරලා තියනවා කියලා. මම ඇහුවා ආරක්ෂක ලේකම් මේ බව දන්නවාද කියලා. මම එතුමාගේ පී.ඒ. එතුමා නොදැන මම සර්ට කතා කරන්නේ නෑ කියලා ඔහු උත්තර දුන්නා. මම මේ කතාව යුද්ධ හමුදාපතිතුමාටත් දැනුම් දීලා අපි ඔක්කොම ජනපතිතුමා හමුවෙන්න ගියා.

මොනවද ජනාධිපතිතුමා කීවේ.

එතුමා වේටර්ලා හා ආරක්ෂක නිලධාරී සියලු දෙනාට එළියට යන්න කියලා අප සමග කතා කළා. යුද්ධයට අණ දුන්නේ ඔබයි. ඒ නිසා ඔබතුමන්ගේ හිත්වල තියෙන ඕනෑම දෙයක් මට කියන්න කියලා. එතුමා ඉතින් නිල බලයෙන්ම අපේ සේනාධිනායකනේ. අපි අපේ ප්‍රශ්න එතුමා සමග විවෘතව කතා කළා.

මොනවද කතා කළේ.

මම කතා කළා යුද අපරාධ චෝදනා හා ත්‍රස්තවාදීන් මර්දනය කරන්න ගෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපේ බුද්ධි අංශ සාමාජිකයන් රහස් ‍පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම ගැන. ඒ සියලු දේ ගැන එතුමා අහන් හිටියා. කෙසේ නමුදු පත්තරවල ගියේ වෙනත් කතාවක්. අපි අපගේ සේවා දිගු ගන්න එතුමා මුණගැහුනා කියලා තමයි ප්‍රචාරය වූයේ.

මේ හමුවෙන් පසු යුද හමුදාපතිවරයා ලිපියක් යැව්වා නේද ඔහුගෙන් අවසර නොගෙන ජනපතිවරයා හමුවෙන්න බෑ කියලා.

ඒ ලිපිය ගැන අදටත් මට ඇත්තේ පුදුමයක්. මොකද අපේ හමුව ගැන එතුමා දැනගෙන සිටියා. කෙසේ නමුදු ඔහු බොහෝ කලකට පෙර මගේ පුහුණු උපදේශකවරයා. මගේ යුද්ධ හමුදාපතිවරයා. මම මගේ හමුදාපතිවරුන්ට ගුරුවරුන්ට ගරු කරන නිසා ඔය ගැන වැඩිදුරටත් කතා කරන්න කැමැති නෑ.

ඔබ කියනවා කවදාවත් ඔබ නිල ඇඳුම ඇඟලාගෙන දේශපාලනය කළේ නෑ කියලා. දැන් ඔබ නිල ඇඳුමෙන් නිදහස් නිසා ඔබ කියන කතාව තවදුරටත් වලංගුද..?

ඔව් සදාකාලිකවම වලංගුයි. මම ඇන්ද නිල ඇඳුමට මඩ ගහන්න මං කාටවත් ඉඩ තියන්නේ නෑ. මම වෘත්තීය සෙබළෙක්. මම මගේ වෘත්තියේ පරිණත අයෙක්. නමුත් දේශපාලනය හමුවේ මම දරුවෙක්. පරිණත මා ළදරුවෙකු වෙන්න කැමැති නෑ. එහෙම වුණොත් ඒක මගේ දෙමාපියන්ට කරන අගෞරවයක්. අපහාසයක්. මේ කතාව මම කියන්නේ මට පමණක් අදාළ කරගෙනයි. වෙන කිසිවෙක් හෝ කිසිවෙකු එල්ල කරගෙන කියන ප්‍රකාශයක් නොවේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com