master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ප්‍රතිපාදන සිරවී STF පාතාල මර්දන වැඩ බකල්


2018-04-23 12:07:33 -  1319 යි

පොලිස් විශේෂ කාර්ය බළකාය ආරම්භ කර ඇති පාතාල මර්දන වැඩසටහන අකර්මණ්‍ය කිරීම සඳහා ඇතැම් පිරිස් එම බළකාය සතු මුදල් ප්‍රතිපාදන ලබාදීමේ ක්‍රමවේදය වෙනස් කිරීමට යන බවට 'ඊතලය'ට තොරතුරු වාර්තා වේ.


වසර 35කට අධික කාලයක් පුරා පැවැති පොලිස් විශේෂ කාර්ය බළකායේ මුදල් ප්‍රතිපාදන ලබාගැනීමේ ක්‍රමවේදයේ සංශෝධනයක් කිරීමට ඇතැමුන් උත්සාහයක නිරත වන බවද පොලිස් විශේෂ කාර්ය බළකා ආරංචි මාර්ගයන් සඳහන් කරයි.


පොලිස් විශේෂ කාර්ය බළකායට අවශ්‍ය උපකරණ මිලදී ගැනීම, අලුත්වැඩියාවන් සිදු කිරීම සඳහා මුදල් ප්‍රතිපාදන ලබාගැනීම මෙතෙක් එම බළකාය සතු වී තිබූ බව එම බළකා ජේ‍යෂ්ඨ නිලධාරියෙක් 'ඊතලය' කළ විමසුමකදී පැවැසීය.


නීතිය හා සාමය අමාත්‍යාංශය මැදිහත්ව විශේෂ කාර්ය බළකායට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන පොලිස් මූලස්ථනය හරහා ගැනීමේ නව ක්‍රමවේදයක් සකස් කිරීමට යන බවට තොරතුරු මේ වනවිට සිය බළකායට ලැබී ඇති බවද එම ජේ‍යෂ්ඨ නිලධාරියා පැවැසීය.


පොලිස් මූලස්ථානය හරහා මුදල් ප්‍රතිපාදන ලබා ගැනීමට විශාල කාලයක් ගත වන බවත් එය සිය නිලධාරින්ගේ සහ සෙබළුන්ගේ මෙහෙයුම් කටයුතුවලට බාධාවක් බවත්, පොලිස් විශේෂ කාර්ය බළකා ඉහළ පෙළේ නිලධාරීහු 'ඊතලය'ට අදහස් දක්වමින් සඳහන් කළහ.


මෙම නව ක්‍රමවේදය සිදු කිරීම සඳහා මේ වනවිට සාකච්ඡා පවත්වා ඇතත් එම සාකච්ඡාවලට පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එච්. ආර්. ලතීෆ් මහතාට හෝ වෙනත් උසස් නිලධාරියකුට ආරාධනා කර නොමැති බවක්ද එම ජේ‍යෂ්ඨ නිලධාරීහු පවසති.


මේ අර්බුදය හේතුවෙන් තම බළකායේ සාමාජිකයන් දැඩි කනස්සල්ලෙන් පසු වන බව එම ජේ‍යෂ්ඨ නිලධාරීහු සඳහන් කරති.
පාතාලය, සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය මැඬලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයන් විසින් අරඹා ඇති අඛණ්ඩ මෙහෙයුම් මේ තත්ත්වය මත අඩපණ වීමට ඉඩ ඇති බවද එම නිලධාරීහු සඳහන් කරති.


මේ සම්බන්ධයෙන් කරුණු විමසීමට නීතිය හා සාමය අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් විමසීමට ඊතලය' අවස්ථා කිහිපයකදී උත්සාහ ගත්තද එම උත්සාහයන් ව්‍යර්ථ විය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com