master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හැංගි හැංගි වෙස් නොබඳින නම කිව්වම රට හෙල්ලෙන ගම්පහ ඔස්මන් සමඟ කෙළින් කතාවක


2018-04-23 11:52:21 -  1522 යි

'ගම්පහ ඔස්මන්' යන නමට ඇතැමුන් තුළ ඇත්තේ දැඩි බියකි. තවත් පිරිසක් තුළ ඇත්තේ දැඩි භක්තියකි.

දාමරිකයකු නොවන බව කියන ඔහු කවුද? ප්‍රභූ දේශපාලනඥයන්ට පවා උදවු කරන, එහෙත් ඒ අයගෙන් ලාභ ප්‍රයෝජන නොගන්නා කෙනකු යැයි ප්‍රචලිත මේ ඔස්මන් ගුණසේකරට නිල නොලත් බලයක් ලැබුණේ කෙසේද? අපි මේ ගැන සොයන්නට ඔහු සොයා ගියෙමු. මේ එම හමුවේදී ඔහු සමඟ කළ කතා... බහේ මුල් කොටසයි.

ගම්පහ ඔස්මන් කියන්නේ පාතාල ලෝකයේ නායකයෙක්?

නැහැ. ඒක මම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. මම එහෙම කෙනෙක් නෙවෙයි.

පාතාල ලෝකයේ කෙනෙක් නම් මම මත්ද්‍රව්‍ය විකුණන්න ඕන... කප්පම් ගන්න ඕන. කුලියට මිනී මරන්න ඕන. එහෙම නැතිනම් එවැනි කොන්ත්‍රාත් ගන්න ඕන. අහිංසක මිනිස්සුන්ගේ දේපොළ හොරකම් කරන්න ඕන.

මේ කියන කිසිම දෙයක් මම කරන්නේ නැහැ. මට එහෙම කරන්න ඕන කමක් නැහැ.

එහෙම නම් ඔබ මොනවද කරන්නේ. 'ගම්පහ ඔස්මන්' කිව්ව ගමන් ඇතැමුන් බිය වෙනවා. එහෙම වෙන්න තරම් ඔබේ නම ප්‍රබල වෙන්නේ කොහොමද?

මම මගේ බල ප්‍රදේශයේ කුඩු විකුණන්න දෙන්නේ නැහැ. ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්න දෙන්නේ නැහැ. අහිංසක මිනිස්සුන්ගේ දේපොළ හොරකම් කරන්න කාටවත් ඉඩ දෙන්නේ නැහැ. දරුවන්ට මත් පෙති විකුණන්න දෙන්නේ නැහැ.

ඉතින් මේවාට කැමැති මිනිස්සු දහස් ගණන් මාත් එක්ක ඉන්නවා. කප්පම්කරුවන්ට බය ව්‍යාපාරිකයෝ මා එක්ක ඉන්නවා.

කවුරු හරි කෙනෙක් කාගෙන් හරි කප්පම් ඉල්ලුවොත් ඔවුන් මට කතා කරනවා. මම කප්පම් ඉල්ලන අයගේ නොම්මරේ ඉල්ලගෙන ඔවුන්ට කතා කරනවා.මොකටද කප්පම් ඉල්ලන්නේ. ආපසු ඉල්ලන්න එපා කියනවා. එච්චරයි.

මේ වන විට ඔබට එරෙහිව පොලිස් පොතේ තිබෙන චෝදනා මොනවද?

නැහැ. මම මැරයෙක් නෙවෙයි. පාතාල ලෝකයේ කෙනෙක් නෙවෙයි කියලා කලින්ම කිව්වා. පොලිසිවල, උසාවිවල පැමිණිලි හා නඩු තියෙන්නේ එහෙම අයටයි. මට විරුද්ධව එහෙම දේවල් නැහැ. අනෙක ඔය පාතාල ලෝකයේ බොරු චණ්ඩි වගේ මම හැසිරෙන්නෙත් නැහැ. ඔය බොරු චණ්ඩින්ට තනියම ගමනක් යන්න පුළුවන්ද? මට නම් පුළුවන්. ඔය චණ්ඩි මිනිස්සුන් හත් අට දෙනෙක් යොදවලා මිනී මරනවා. තනියම ගිහින් කරන්න පුළුවන් දෙයක් ඔවුන්ට නැහැ. මම ළඟ නම් එහෙම දේවල් නැහැ. මැරෙන්නේ එක පාරයි. හැංගි හැංගි ජීවත් වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. යන දවසට යනවා. ඒ දවස එනතුරු උඩ ඉන්න කෙනෙක් මාව ආරක්ෂා කරනවා. ස්වභාවධර්මය මාව රැක බලාගන්නවා.

ඔබ කෝටිපතියෙක්... කොහොමද පෝසත් වුණේ...?

මම ව්‍යාපාරිකයෙක්. කාලෙක ඉඳලාම මම කුළුබඩු රට යවනවා. රට ඉඳලා සමහර කෑම ජාති මෙහාට ගෙන්වනවා. ඒව තමයි මගේ බිස්නස්. මම ඒ විදියට රටවල් කීපයකටම කුළුබඩු යවනවා.

හැබැයි තහනම් දේවල් මුකුත්ම කරන්නේ නැහැ. මම අරක්කු සිගරැට්වත් බොන්නේ නැති කෙනෙක්. ඒ හින්දා ඒ වගේ බිස්නස්වලට මම කැමැති නැහැ.

ලක්ෂ්මන් කදිරගාමර් මහත්තයා පාවිච්චි කළ වෙඩි නොවදින නිල රථය ඔබ ළඟද?

සිනාසෙයි. ඕක පිස්සු කතාවක්. පාතාල ලෝකයේ චණ්ඩින්ට බය නැති මට මොකටද වෙඩි නොවදින රථ. ඕවා පාවිච්චි කරන්නේ බයගුල්ලෝ. මැරෙන්න බය මිනිස්සු. මම ඔය දෙකටම බය නැහැ. ඒ නිසා මට ඔය වෙඩි නොවදින රථ වැඩක් නැහැ. පසුගිය කාලේ ඔය වගේ බොරු ආරංචි හුඟක් ප්‍රචාරය වුණා.

මා ළඟ වෙඩි නොවදින රථයක් තිබෙනවා. මම බයවෙලා ලංකාවෙන් ගියා. ආපසු එන්නේ නැහැ කියලත් ආරංචි ගලා ගියා. මම ලංකාවෙන් ගියා තමයි. ඒ ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ දුවගේ වැඩකට. යනකොට ආපසු එන ටිකට් එකත් අරගෙන ගියේ. මේ තියෙන්නේ ඒ ටිකට් එකේ ෆොටෝ කොපිය. (ඔහු එසේ කියමින් එම ලියකියවිලිවල පිටපත් පෙන්වයි)

අපි ඔබේ අතීතයට හැරෙමු. 'ගම්පහ ඔස්මන්' කියන නම මාධ්‍යවල වැඩිපුර ජනප්‍රිය වෙන්නේ කතාබහට ලක් වෙන්නේ, වවුල් කැලේ ඝාතන සිදුවීමට සම්බන්ධ නඩුවක් එක්ක.

ඔව්. ඔය සිදුවීම වුණේ මම ජපානයේ සිටියදී. ඒ කාලේ ලංකාවේ තිබුණේ භීෂණකාරී වටපිටාවක්. වර්ෂය 1989.

මම ජපානයේ සිටියදී මගේ එකම මල්ලිවත් නැඟණියන් දෙදෙනා විවාහ වී සිටි මස්සිනාලා දෙන්නා ඇතුළු මිතුරන් දෙදෙනකු මරා දමනවා. වවුල්කැලේදී තමයි මේ ඝාතනය සිදුවන්නේ. මගේ ලාන්සර් බොක්ස් වර්ගයේ වාහනයත් එක්කම තමයි මේ පිරිස ඒ විධියට පැහැරගෙන ගිහින් තිබුණේ.

ඔය ඝාතන සිදුවීම වුණේ පෞද්ගලික ප්‍රශ්නයකට. ඒ ප්‍රශ්නේ තිබුණේ මගේ පවුලේ අය එක්ක නෙවෙයි. එතැන හිටපු මගේ යාළුවෙක් එක්ක තිබුණු ප්‍රශ්නෙකට.

පැහැරගෙන යද්දී අපේ අයත් හිටපු නිසා සේරම මරා දැම්මා. මගේ කාර් එකටත් ගිනි තියලා තිබුණා.

එතැන හිටපු මගේ එක් යාළුවෙක් නාවික හමුදා නිලධාරියකුගේ ඝාතනයක් සම්බන්ධයෙන් සැක කළ නිසා තමයි මේ විධියේ පළිගැනීමක් සිදු කර තිබුණේ. මට මේ ගැන කිව්වේ එවකට අපි ළඟින් ඇසුරු කළ රෙජී රණතුංග මහත්තයා.

මේ සිදුවීමෙන් පසුව ඔබේ පවුලේ අයව මරා දැමූ පිරිස ඝාතනය වුණා. ඒ ගම්පහ උසාවිය තුළදීම. ඊට ඇඟිල්ල දිගු වුණේ ඔබට?

ඔව්. මේ සිදුවීම වෙද්දි මම හිටියේ ජපානයෙ.

කෙසේ හෝ මගේ පිරිස ඝාතනය කළ චෝදනාව එල්ල වුණේ එවකට වීරඟුල පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු කීප දෙනකුට. ඔවුන් මගේ සහෝදරයා හා මස්සිනාලා වගේම යාළුවෝ ගමන්ගත් වාහනය පැහැරගෙන යන බව ඇතැමුන් දැක තිබුණා. මම මේ සිදුවීමත් එක්ක හුඟක් කිපුණා. තරහක් ආවේ.

කොහොම හරි සැකකරුවෝ විජාතිකයෝ දෙදෙනකුට වීසා අරන් දීලා ජපානයට එවලා තිබුණා මාවත් ඝාතනය කරන්න. ඒත් ඒ ආපු අය සියලු විස්තර මා සමඟ කිව්වා.
කොහොම හරි එදා නඩු විභාගය වෙලාවේ උසාවි භූමිය තුළදී සැකකරුවෝ ඝාතනය වුණා. සමහරු මම තමයි ඒක කළේ කියලා සැක කළා. චෝදනා කළා. ඒත් මම හිටියේ ජපානයේ.

නමුත් ඔබ ඇවිත් මේ ඝාතනය කොට නැවත ජපානයට ගිය බව තමයි බොහෝ දෙනා සැක කළේ?

ඔව්. සැක කළා. ඒත් ඔප්පු කරගන්න බැරි වුණානේ.

ඔබ ඝාතන දෙකකට සම්බන්ධයි. ඒ නඩු හබවලදී ඔබ විසින්ම ඒ ඝාතන සිදුකළ බවට සාක්ෂි තිබුණා?

ඔව්. පළමු ඝාතනය සිදු වුණේ මම හමුදාවේ සම්මුඛ පරීක්ෂණයට යන්න සූදානමින් සිටි දවසට කලින් දවසෙ.

එතකොට මගේ වයස අවුරුදු 19යි. වර්ෂය 1979. මාසය ජුනි දවස 7 වැනිදා.

එදා රෑ අපේ් ගෙදරට හොරෙන් ඇතුළු වුණු කෙනෙක් මගේ අතින් මියගියා. ඒ පිහි පහරකින්. අන්තිමට හමුදාවට යන්න හිටපු දවසේ මම රිමාන්ඩ් භාරයට පත් වුණා.

මේ සිදුවීමෙන් පසු ඇප ලබා සිටි මගේ අතින් ඊළඟ කෙනා මිය යන්නේ කප්පම් සිදුවීමක් මූලික කරගෙන. එයා කප්පම් කල්ලියක කෙනෙක්.

මේ සිදුවීමෙන් පසුව තමයි ඔබ ජපානයට යන්නේ? වීසා නැතිව ඒ රටේ ඉන්නේ?

ඔව්. ඔය කාලෙදී මම නැතිව නඩුව ඇහුවා. ඒ අහලා 1990දී මට මරණ දඬුවම ලබා දෙන්න අධිකරණය තීරණය කර තිබුණා. නමුත් 1993 දී අභියාචනාධිකරණය ඒ දඬුවමින්් මාව නිදහස් කළා. හැබැයි මාව නඩුවට ඉදිරිපත් කළේ ජපානයේ සිටියදීම අත්අඩංගුවට අරන්.

හැබැයි මාව අත්අඩංගුවට පත් වෙන්නේ අපේම අය දීපු ඔත්තු නිසා. ඒ ඔත්තු දුන්නේ කප්පම් ගත්ත කණ්ඩායමක්. ඔවුන් ශ්‍රී ලාංකිකයන්ගේ ලියකියවිලි හදන්න ජපන් අය එක්කම එකතු වෙලා ලොකු ලොකු කප්පම් ගන්නවා. මේකට මම විරුද්ධ වෙලා ඒවා නවත්වන්න කටයුතු කළා. මට විරුද්ධව බලවේග ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ ඉන් පසුවයි. එහි ප්‍රතිඵලයක් විධියට මාව පොලිසියට අල්ලා දුන්නා. මම හැංගිලා ඉන්න තැන ගැන තොරතුරු කියලා.
කොහොම හරි ලංකාවට ඇවිත් මම අවුරුදු 4ක් හිරගෙදර හිටියා.

වවුල්කැලේ ඝාතන සිදුවීමට සම්බන්ධ අය උසාවිය තුළදී ඝාතනය කෙළේ ඔබ කියලා ඔප්පු කරන්න නොහැකි වුණා නේද?

ඔව්.. මම හිටි යේ ජපානයේ. ලංකාවට ඇවිත් මේක කළා කියලා ඔප්පු කරන්න සාක්ෂි නැති වුණා. මම ඒ නඩුවෙන් නිදහස් කළා.

ඊට පස්සේ මොකද වුණේ.
ඔස්මන් කියන නම ඇසූ පමණින් ගම්පහ මැරයෝ තිගැස්සුණේ කොහොමද?

ලබන සතියට


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com