master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නීති විරෝධී ගිනි අවි ගම්මානය


2018-04-17 12:39:03 -  1042 යි

ඔබට තුවක්කුවක් මිලදී ගන්නට උවමනාද.? ස්මාට් ෆෝන් එකක මිලට වඩා අඩු මිලකට ඒ. කේ . 47 තුවක්කුවක් මිලදී ගන්නට හැකි තැනක් ඇත. මිල අඩු වුවත් ඒ ගිනි අවි වෙළද පොලේ ඇති නියම ගිනි අවි තරම්ම ඉස්තරම්ය. දශමයකවත් වෙනසක් නැත. ඒ අපූරු ගිනි අවි වෙලද පොල ඇත්තේ පාකිස්ථානයේ ධාරා ආදෙම් කේල් ගම්මානයේය. ධාරා ආදෙම් කේල් ගම්මානය ගිනි අවි ලෝලීන්ගේ ඩිස්නිලන්තයයි.

ධාරා ආදෙම් කේල් ගම්මානය පාකිස්ථානයේ කයිබර් පාක්තුන්ක්වා පලාතේ ඇති කුඩා ගම්මානයකි. එය පේෂාවර් නගරයේ සිට කිලෝමීටර් තිස් පහක දුරින් ඇති මේ කුඩා ගම්මානය කදු වලින් වටවී ආවරණය වූ කලාපයකි. වැලි කදු වලින් වටවුණු අපිරිසිදු ගම්මානයේ ඇත්තේ ලීයෙන් හා මෝඩගඩොලින් තැනූ කුඩා දෙමහල් නිවාස පමණකි. මුලු ගම්මානයේම මිනිසුන් යැපෙන්නේ එකම එක ව්‍යාපාරයකිනි. ඒ ව්‍යාපාරය වනුයේ නීති විරෝධි ගිනි අවි නිශ්පාදනය සහ අලෙවියයි.

මේ ගම්මානයේ ඉතිහාසය එතරම් හොද නැත. දශක ගණනාවක් තිස්සේ ධාරා ආදෙම් කේල් අපරාධ ක්‍රියා වල මධ්‍යස්ථානයක්ව ලෙසට නම් දරා තිබිණ. මේ ගම්මානය කලක් තිස්සේ මිනිස් ජාවාරම්කරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සියලුම ආකාරයේ හොර ජාවාරම් කරුවන්ගේ තිප්පොලක්ව පැවතිණ. එමෙන්ම සොරකම් කොට වෙනස් කරන ලද වාහනයක සිට ව්‍යාජ උපාධි සහතික දක්වා වූ සියලුම නීති විරෝධී දේවල් මෙහිදී මිලට ගත හැකිව තිබිණ.

පාකිස්ථාන අගමැති නවාස් ශරීෆ් ගේ පාලනය යටතේ සැම තැනකම ආරක්ෂක මුරපොලවල් ඉදි වීමෙන් පසුව මේ නීතිවිරෝධී ව්‍යාපාර වලට බාධක ඇතිවුණු බැවින් බොහොමයක් ව්‍යාපාර වලට තිත තබන්නට සිදුවුණු නමුත් නීති විරෝධී ගිනි අවි ව්‍යාපාරය නම් තවමත් ගමේ නොවෙනස්ව කෙරීගෙන යන බව ගම් වැසියෝ පවසති.

ධාරා ගම්මානයට තුවක්කු නිශ්පාදනය උරුම වුණේ කිනම් කලකදී දැයි කවුරුන්වත් නිශ්චිතව දන්නේ නැත. එහෙත් බොහෝ විට එය 1857 විප්ලව කාලය තුල සිදු වෙන්නට ඇතැයි බොහෝ අය පවසති. මේ ශිල්පය ධාරා ගම්මානයට ගෙනාවේ බ්‍රිතාන්‍ය හමුදාවෙන් අතරමං වුණු තුවක්කු නිශ්පාදන ශිල්පියෙකුගෙන් යැයිද ඇතැම්හු කියති.

ගම්මානයේ පාළුවට ගිය වීදි දෙපස එක දිගට කුඩා කඩ පේලි ඇත. ඒ රාක්ක වල ඇත්තේ පිළිවෙලට ඇසිරූ රිවෝල්වර, ස්වයංක්‍රීය පිස්තෝල, පතුරොම් තුවක්කු සහ ඒ.කේ.46 තුවක්කුය. ගැණුම් කරුවන්ට කඩ පේලි ඉදිරිපිට වීදියේ සිටම අහසට වෙඩි තබා තුවක්කු වල ක්‍රියාකාරිත්වය පරික්ෂා කරන්නට හැකිය.

මේ සියලු ආයුධ නිපදවා ඇත්තේ ගමේම තුවක්කු කම්මල්කරුවන් විසිනි. මේවා නිපදවීමට යොදාගෙන ඇත්තේ භාවිතයෙන් ඉවත්කළ නැව් වලින් එක්රැස් කරගන්නා යකඩ හා වානේ උපයෝගී කරගෙනය. තුවක්කු හා අනෙකුත් ගිනි අවි හදන්නට මේ ගමේ කම්මල්කරුවන්ට අමුතුවෙන් යන්ත්‍රෝපකරණ හෝ නවීන තාක්ෂණයද නැත. ඔවුන් මේවා නිපදවන්නේ මිටි, කියත්, විදුම් යන්ත්‍ර වැනි කුඩා අත් උපකරණ භාවිතයෙන් පමණකි. එහෙත් ඔවුන්ට ඕනෑම නවීන ගිනිඅවියක් නිපදවීමේ හැකියාව නම් ඇත.

ඔවුන්ගේ කම්හල් වනුයේ අතුරුමාවත් වල ඇති මුඩුක්කු ගෙවල් වල අඩි දහයක් පළල නැති කුඩා කාමර කෑලි පමණකි. මෙවන් කුඩා කම්මල් සිය ගණනක් මේ ගම්මානයේ ඇත. ගම්මානයේ ජනගහනයෙන් සියයට හැත්තෑපහක් පමණම නියැලී සිටින්නේ මේ කර්මාන්තයේය. තුවක්කු හා ගිනි අවි නිශ්පාදන ශිල්පය ගමේ අයට පාරම්පරිකවම උරුම වූවකි.

මේ පාරම්පරික ව්‍යාපාරයේ ස්වර්ණමය යුගය එළඹෙන්නේ 1980 දශකය තුළය. සෝවියට් රුසියාවට එරෙහි ඇෆ්ගනිස්ථානයේ සටනේදී මුජහිදීන් වරු මේ ගම්මානයෙන් ආයුධ මිලදී ගන්නට පටන් ගත්හ. පසුව මෙම ගම්මානය පාකිස්ථාන් තලේබාන් වරුන්ගේ තිප්පලක් බවටද පත් විය. ඒ කාලය තුළදී ඔවුන්ගේ බිහිසුණු නීතීන් වලට මේ ගම්මානයද නතු විය. 2009 වසරේදී පෝලන්ත ජාතික ඉංජිනේරුවරයෙකු වූ ප්යොද්ර් ස්ටැන්සැක් ගේ හිස ගසා දැමීමේ ක්‍රප්‍රකට සිදුවීම සිදුවුණේද මේ ගම්මානයේදීමය.

නවාස් ශරීෆ් මහත්තයාගේ ආණ්ඩුව ආවට පස්සෙ හැම දෙයක්ම වෙනස් වුණා. හැම තැනම ආරක්ෂක කපොලු ඇති වුණා.. ගොඩක් ව්‍යාපාර නවත්තන්නත් සිද්ද වුණා. අන්තිමට ගමේ මිනිස්සුන්ට ඉතිරි වුණේ ආයුධ ව්‍යාපාරය විතරයි.. 45 හැවිරිදි කිතාබ් ගුල් පවසයි.

කිතාබ් ගුල් ධාරා නගරයේ ප්‍රකට තුවක්කු නිර්මාණ ශිල්පියෙකි. ඔහු ප්‍රසිද්ධ වී ඇත්තේ තුර්කියේ හා බල්ගේරියාවේ නිශ්පාදනය කෙරෙන MP5 වර්ගයේ මැෂින් තුවක්කු සෑදීමට උපන් හපනෙකු ලෙසටය. MP5 මැෂින් තුවක්කුව ඇමරිකාවේ FBI SWAT කන්ඩායම් වැනි සංවිධාන බහුලව භාවිතා කරන ලෝකයේ ජනප්‍රියතම ගිනි අවි වර්ගයකි. මේ වර්ගයේ තුවක්කුවක මිල ඩොලර් දහස් ගණනක් වන නමුත් කිතාබ් තනන මැෂින් තුවක්කුවක මිල රුපියල් හත්දහසක් පමණ වෙයි. එනම් ඇමරිකානු ඩොලර් 67 ක මුදලකි. එහෙත් නියම තුවක්කුවේත් කිතාබ් තනන තුවක්කුවේත් වෙනසක් සොයා ගන්නට නොහැකි තරම්ය. ක්‍රියාකාරිත්වයද ඉස්තරම්ය.

කිතාබ්ගේ පමණක් නොව මේ ගම්මානයේ අනෙකුත් තුවක්කු කම්මල්කරුවන්ගේද ගිනි අවි අලෙවි වන්නේ ඉතා අඩු මුදලටය. අවසරලත් සැබෑ ගිනි අවි කර්මාන්ත ශාලා වල හදන එම වර්ගයේ ගිනි අවියක මිලෙන් දශම ගණනක් වැනි අඩු මිලකටය. තොග වශයෙන් ආයුධ ලබා ගන්නා විටදී නම් කිරුම් බරට පවා ලබා ගන්නට හැකියාවක් ඇත.

ධාරා ගම්මානයේ නිපදවෙන AK 47 ගිනි අවියක් ඩොලර් 125 ක් පමණ වන අතර මේ මුදල ස්මාට් ජංගම දුරකථනයක මිලටත් වඩා අඩු මුදලකි.

ධාරා ආදෙම් කේල් ගම්මානයේ තුවක්කු කම්මල්කරුවන්ට ඇත්තේ පුදුමාකාර දක්ෂතාවයකි. වෙලදපොලේ ඇති ඕනෑම ගිනි අවියක් කිසි වෙනසක් නැතිව එලෙසින්ම නිපදවන්නට ධාරා ආදෙම් කේල් වාසී තුවක්කු කම්මල්කරුවන්ට හැකියාවක් ඇත. කිසි දිනක දැක නොමැති ගිනි අවියක් අතට ගත් තැන් පටන් කිසි වෙනසක් නැතිව එය නිපදවන්නට ඔවුන්ට ගත වෙන්නේ දින දහයක් වැනි කාලයකි. පළමු පිටපත නිපදවූ පසුව දින දෙක තුනක් වැනි කාලයක් ඇතුලත ඕනෑ තරම් එවැනි ගිනි අවි ඔවුන් වෙතින් ලබා ගන්නට හැකිය. ගුවන්යානා නාශක ගිනි අවි වල සිට වසන් කරගෙන ගෙනයා හැකි පෑන් තුවක්කු දක්වා ගිනි අවි ඔවුන් අතින් නිපදවෙයි.

අපේ ගමේ කම්මල් කරුවෝ කොච්චර දක්ෂද කිව්වොත් පෙන්නන ඕනම ගිනි අවියක් ඒ විදිහටම හදන්න ඒ ගොල්ලන්ට හැකියාව තියෙනවා. කිතාබ් ගුල් පවසයි. පහුගිය අවුරුදු දහයට අපි ගිනි අවි 10,000 කට වැඩිය විකුණලා ඇති. හැබැයි කිසිම අවියක් නරකයි සවුත්තුයි කියලා එකම එක පැමිණිල්ලක්වත් ලැබිල නම් නෑ..

මේ ගම් වැසියන් අතින් නිපදවෙන ගිනි අවි යන්නේ බොහෝ දුරට ඇෆ්ගනිස්ථානයට හෝ ඉරාකය වැනි ඉස්ලාමිය ත්‍රස්ත කල්ලි වල යුධ බිම් වලටය. තලේබාන් සංවිධානය විසින් භාවිත කරන ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය වලින් වැඩි කොටසක්ම ධාරා ආදෙම් කේල් ගම්මානයෙන් ලබා ගන්නා ඒවා යැයි කියවෙයි.

ඉස්ලාමීය ත්‍රස්ත කල්ලි විසින් භාවිතා කරන ගිනි අවි වලින් බහුතරය ධාරා ගම්මානයේ නිපදවු ඒවා බවට චෝදනා එල්ල වෙත්ම ධාරා ගම්මානයේ නිපදවෙන බර අවි තහනම් කිරීම සදහා පාකිස්ථානු රජය උත්සාහ කළත් එය එතරම් සාර්ථක වූයේ නැත. මේ ගම්මානය තවමත් පාලනය වන්නේ අතීතයේ පටන් ඔවුන් පාලනය වූ ගෝත්‍රික නීතියට අනුව වන අතර පාකිස්ථානු නීතිය මේ ගම්මානයට අදාල නැත. එනිසා අදටත් මේ ගම්මානය තුළ නීති විරෝධී ගිනි අවි නිශ්පාදනය සහ අලෙවිය ජයටම සිදු කෙරෙයි.

එනිසාම ලෝකය බිහිසුණු තැනක් කිරීම සදහා ඉදිරියටත් මේ ගම්මානයෙන් සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇත.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com