master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

අවුරුදු 80-90කට ඉස්සර කිඹුලාපිටියෙ මිනිස්සුන්ට රතිඤ්ඤා හදන්න කියා දුන්නේ චීන්නුලු


2018-04-17 11:37:14 -  384 යි

රතිඤ්ඤාවේ කතාන්දරය සොයා බලන්නට මෙය හොඳම කාලය වනු ඇත. ඒ සිංහල අලුත් අවුරුදු සමය නිසාවෙනි. රථ වාහන දහස් ගණනක් එදිනෙදා ගමන් ගන්නා කොටුවේ ‍ලේක් හවුස් වටරවුම පවා රතිඤ්ඤාව නිසා ගල් වූ හැටි මට හොඳට මතකය. මා ‍ලේක් හවුසියේ සේවය කළ කාලයේ දුටු එම දසුන් කිසිදු දිනක අමතක නොවේ. එනම් එකල ‍ලේක් හවුසියේ බලය පතුරුවාගෙන සිටි වෘත්තීය සංගම් යම් මැතිවරණ ජයග්‍රහණයකට තම පක්ෂයට සහාය දැක්වීම සඳහා ‍ලේක් හවුස් වට රවුමේ තුන් පැත්තෙන් ඇදී එන වාහන පවා නවතා දමා මහා මාර්ගය මැද බට්ටෝ රතිඤ්ඤා වර්ගය දහස් ගණනක් දවාලති.

ජනාකීර්ණ මුළු කොටුව ප්‍රදේශයම මොහොතක් තුෂ්ණිම්භූත කරන මෙම ක්‍රියාව සැබැවින්ම බියකරු එකකි. මහා ගිනි ජාලාවක්ද ඇති කරමින් මෙම බට්ටෝ විනාඩි 10ක වත් කාලයක් පුරා දැවෙති. රතිඤ්ඤා තොගය එතැනට ගෙනඑන්නේ විශාල පික්-අප් රථයක පුරවාගෙනය. මහා හඬ නගමින් බට්ටෝ දැවෙන විට රථවාහනකරුවෝ තම වාහන ගාල්කරගෙන, දෙනෙත් අයා සිටිති. රතිඤ්ඤාවේ බලයට යූනියන් බලය නොහොත් දේශපාලන බලය එකතු වී කරනු ලබන හපන්කම එසේය.

රතිඤ්ඤාව නොහොත් ඉංග්‍රීසි බසින් හඳුන්වන ෆයර්ක්‍රැකර් (Fire craker) නමැති මෙම අපූරු මෙවලමට මහා ලෝක ඉතිහාසයක් ඇත. රතිඤ්ඤාවකින් කෙරෙන ප්‍රධාන කාර්යය වන්නේ ශබ්දය නිපදවීමය. ලොව වෙඩි බෙහෙත් සොයා ගැනීමට ප්‍රථම මිනිසා මෙවන් ශබ්දයක් නිපදවාගෙන ඇත්තේ උණබටයක් රත්කිරීම මගිනි. උණබටයක් දිගින් දිගටම රත් කිරීම මගින් ශබ්දයක් පිට කිරීමේ ක්‍රමයක් ආදි මිනිසා සොයාගෙන තිබිණි. එහෙත් බොහෝ පසුකාලයක එනම් 09 වැනි ශතවර්ෂයේදී (9th centuray) චීන ජාතිකයන් විසින් වෙඩි බෙහෙත් සොයාගැනීමෙන් පසුව එම තත්ත්වය අතිශය වෙනස් මගකට හැරිණි. එනම් වෙඩි බෙහෙත් භාවිත කොට විවිධ පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම ඇරඹිණි. එනම් රතිඤ්ඤාව නිර්මාණය කිරීම සිදුකළේ ද 09 වැනි ශතවර්ෂයේදීය. එහෙත් එය ලොව පුරා මෙවලමක් වශයෙන් ප්‍රචලිතව, වෙළෙඳ මට්ටමින් නිෂ්පාදනය සිදුකොට ඇත්තේ වර්ෂ 1628-1643 වැනි කාල වකවානුවකදී චීනයේදීමය. එනම් එසේ බලන විට රතිඤ්ඤාවට වසර හාරසියයක් (400) නොහොත් ශතක හතරක මහා ඉපැරණි ඉතිහාසයක් ඇත.

රතිඤ්ඤාව සොයාගත් චීනය, අදටත් ලොව රතිඤ්ඤා කර්මාන්තයෙහි සහ වෙනත් විවිධ ගිනිකෙළි කර්මාන්තයෙහි ඉදිරියෙන්ම සිටියි. එරට එය ඉතාමත්ම පුළුල් වූ විශාල කර්මාන්තයකි. ලොව බොහෝ රටවල මෙම කර්මාන්තය සිදු කෙරුණද අංක එකට ඇත්තේ චීනයයි. ලොව පුරා ඇති රටවල් රැසකට විවිධ ගිනිකෙළි වර්ග රාශියක් අපනයනය කිරීමට තරම් චීනය මෙම කර්මාන්තයෙහි අතිශය දියුණු තත්ත්වයකට පත්ව ඇත. විශේෂයෙන් ලොව විවිධ රටවල පවත්වන අති විශාල ගිනිකෙළි සංදර්ශනවලට ඉතාමත්ම සංකීර්ණ වූ ගිනිකෙළි පද්ධති සපයනු ලබන්නේ චීනය විසිනි. මෙය ඩොලර් මිලියන ගණනක මහා ව්‍යාපාරයකි.

ශ්‍රී ලංකාව තුළ ගිනිකෙළි කර්මාන්තයට ඉතා දිගු ඉතිහාසයක් නැති බැව් පෙනීයයි. ශ්‍රී ලංකාවේ විවිධ විදේශ පාලනයන් තිබූ සමයන්හිදී රතිඤ්ඤා සහ විවිධ ගිනිකෙළි වර්ග විදෙස් රටවලින් ආනයනය කර ඇති බවට ඉතිහාස තොරතුරු ඇත. එහෙත් පසුව ශ්‍රී ලංකාව තුළ ද ගිනිකෙළි කර්මාන්තයක් බිහි වී ඇත. එය කෙසේ සිදුවීද?

ඉතිහාස කතා සොයා බැලීමේදී දැනගත හැක්කේ අපූරු කතාන්දරයකි. එනම් ගිනිකෙළි කර්මාන්තයට ප්‍රකට වූ චීන ජාතිකයන් පිරිසක් මෙයට වසර 80කට පමණ පෙර මීගමුවේ කිඹුලාපිටිය නම් ප්‍රදේශයේ ගම්වැසියන් පිරිසකට ගිනිකෙළි නිෂ්පාදනය උගන්වා ඇත. ඊට පසුව ගම්වැසියන් එම කටයුතු කර්මාන්තයක් වශයෙන් සිදුකර ඇත. එසේම දීර්ඝ කාලීනව පිය, පුතු හා මුණුබුරු වශයෙන් එම ගිනිකෙළි කර්මාන්තය පරම්පරාවෙන්, පරම්පරාවට සාර්ථකව පවත්වාගෙන පැමිණ ඇත. අද ශ්‍රී ලංකාවේ ගිනිකෙළි කර්මාන්තය සිදුකෙරෙන ප්‍රධානතම සහ එකම ප්‍රදේශය වන්නේ මෙම කිඹුලාපිටියයි.

කිඹුලාපිටිය ගමේ 90කම වැසියන්ගේ ජීවන වෘත්තිය වන්නේ රතිඤ්ඤා නිපදවීමේ කර්මාන්තයයි. එනම් එම ගමේ පවුල් ඒකක 10,000කටත් අධිකව මෙම කර්මාන්තයෙහි නිරත වී සිටිති. එක් පවුලක සාමාජිකයන් කිහිප දෙනකු බැගින් මෙම පිරිස 2,00,000 (ලක්ෂ දෙකක්) ඉක්මවා යති. මේ අනුව කිඹුලාපිටිය ගමේ රතිඤ්ඤා කර්මාන්තයට වසර 80-90ක පමණ ඉතිහාසයක් ඇත. එසේම කිඹුලාපිටිය ප්‍රදේශයේ කුඩා ප්‍රමාණයේ ගිනිකෙළි කර්මාන්තශාලා මෙන්ම මහා පරිමාණ කර්මාන්තශාලාද වෙති. මෙම ප්‍රමාණය 700කට අධික බැව් වාර්තා වෙයි.

ඉතාමත් බියකරු, අනතුරුදායක වෘත්තියක් වන ගිනිකෙළි නිෂ්පාදනය නිසා කිඹුලාපිටිය ග්‍රාමයේ ජීවිත පවා හානි වූ පිරිස අති විශාලය. එමෙන්ම දෙනෙත් අන්ධවීම, ශරීර ඉන්ද්‍රියන්ට හානිවීම ආදී සිදුවීම් ද රාශියක් වාර්තා වී ඇත. එකවර මරණ කිහිපයක් අනතුරු පවා වාර්තා විණි. එහෙත් කුමන බියකරු තත්ත්වයක් තිබුණ ද එම කර්මාන්තය කිසිදු විටෙක නොනැවතී ඉදිරියටම යයි.

ශ්‍රී ලංකාවේ ගිනිකෙළි කර්මාන්තයට පැරණි පිටුවක් මෙන්ම අලුත් පිටුවක්ද ඇත. එනම් අපූරු කතාන්දරය වන්නේ අන්තර්ජාලයේ වබේ අඩවි ආදිය පවත්වාගෙන යමින් ඉතා විශාල මට්ටමින් ව්‍යාපාර කටයුතු සිදුකරන ගිනිකෙළි කර්මාන්ත කිිහිපයක්ද ඇත. එසේම ෆේස්බුක් (Face Book) වැනි අන්තර්ජාල සබඳතා හරහා ද ඔවුන් තම ව්‍යාපාර කටයුතු ප්‍රවර්ධනය කර සාර්ථකව පවත්වාගෙන යයි. නූතන ලෝකයට ගැලපෙන ආකාරයට කටයුතු සිදු කෙරෙන එම ආයතනවලට රුපියල් මිලියන ගණනින් විශාල ඇණවුම් ද ලැබෙති. සමාජයේ ඉහළ පැලැන්තියේ විවිධ උත්සව, ජාතික මට්ටමේ උත්සව සහ දේශපාලනික උත්සව සඳහා ද මොවුන්ට විශාල ඇණවුම් ලැබෙති. විවිධ ඉහළ පෙළේ ව්‍යාපාරිකයන්ගෙන් මෙන්ම ප්‍රබල දේශපාලකයන්ගෙන්ද මොවුනට රුපියල් මිලියන ගණන්වල ඇණවුම් ලැබේ.
මේ අනුව ශ්‍රී ලංකාව තුළ අන්තර්ජාල ඔන්ලයින් රතිඤ්ඤා කඩද කිහිපයක්ම ඇත. ඔවුන් තමන්ගේ ගිනිකෙළි වර්ග ගැන විස්තර, ඡායාරූප සහ වීඩියෝ දර්ශනද මෙම වබේඅඩවි මගින් පෙන්වා සිටිති. එක් ප්‍රකට ගිනිකෙළි නිෂ්පාදන සමාගමක් තමන්ගේ ගිනිකෙළි ප්‍රදර්ශන 10ක වීඩියෝ පට එම අඩවියකට එක්කර තිබෙන අයුරු මට දක්නට හැකිවිය. අද නූතන ක්‍රමයට අනුව මේවා නිරීක්ෂණය කර ඇණවුම් බාර දෙනු ලබති. ශ්‍රී ලාංකික රතිඤ්ඤා කර්මාන්තයේ නූතන පිටුව එසේ පෙරළී ඇත.

ශ්‍රී ලංකාවේ උත්සව සමයට වඩා මැතිවරණ සමයකදී රතිඤ්ඤා තොග විකිණෙන බැව් හෙළිවී ඇත. මෙයට හේතුව උත්සව සමයකදී එම උත්සවයන්ට අදාළ ජාතීන් හෝ ආගමිකයන් පමණක් එම කටයුතු සිදුකරන මුත්, මැතිවරණයකදී සියලු ජාති ආගම්වල පිරිස් මෙම රතිඤ්ඤා දැල්වීම සිදුකරන නිසාවෙනි. එක් මැතිවරණ සමයකදී පමණක් රුපියල් කෝටි 05ක පමණ රතිඤ්ඤා තොග විකිණෙන බැව් හෙළිවී ඇත.

ලෝකයේ බොහෝ රටවල රතිඤ්ඤා භාවිතය සඳහා විවිධ නීති රීති පවා ඇත. එහෙත් ශ්‍රී ලංකාවේ ගිනිකෙළි භාවිත කිරීමේදී කිසිදු නීතිමය ප්‍රතිපත්තියක් හෝ ආචාරධර්ම ප්‍රතිපත්තියක් නොමැත. මා ඔබට ඉහත පැවසූ ‍ලේක් හවුස් වට රවුමේ රථවාහන පවා නවතා දමා රතිඤ්ඤා තොග පුපුරුවන්නේ ඒ හෙයිනි. මෙසේ නිසි ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසා ශ්‍රී ලංකාව තුළ ඒ මගින් සිදුවන අනතුරුද බොහෝය. මෙය ශෝකී තත්ත්වයකි.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ ඕනෑම වයස තරාතිරමක අයට විවිධ ගිනිකෙළි වර්ග විවෘත වෙළෙඳපළෙන් පහසුවෙන්ම මිලදී ගත හැකිය. මේ නිසා උත්සව සමයන්හිදී වඩාත්ම ගිනිකෙළි මිල දී ගන්නේ අඩු වයස් ප්‍රමාණයේ දරුවන්ය. අවුරුදු 07 සිට 15 පමණ දක්වා දරුවන් කිසිදු බාධාවක් නැතිව මෙම ගිනිකෙළි මිල දී ගනිති. මෙහිදී කිසිදු වැඩිහිටියකුගේ මැදිහත්වීමක් ද නැත. එසේම ඉන්පසුව එම බොහෝ දරුවන් එම ගිනිකෙළි දැල්වීම පවා සිදු කරති. මෙම තත්ත්වය නිසා වාර්තා වී ඇති අනතුරුද අති විශාලය.

ශ්‍රී ලංකාව තුළ මෙවැනි විගඩම්කාරී තත්ත්වයක් තිබුණ ද ලොව සමහර රටවල ගිනිකෙළි භාවිතයට නීති, රීති, තිබෙන අතර, සමහර රටවල ගිනිකෙළි භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. ලොව දියුණු දේශයක් වන කැනඩාවේ ගිනිකෙළි භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්ය. ඕස්ට්‍රේලියාවේදී ගිනිකෙළි භාවිතය සිදුකළ හැක්කේ විශේෂ උත්සවයකදී ඒ සඳහා අවසර ලත් ගිනිකෙළි ශිල්පියකුට පමණි. එම බටහිර රටවල් පමණක් නොව මැ‍ලේසියාව, සිංගප්පූරුව, වියට්නාමය සහ තායිවානය යන ආසියාතික රටවලද ගිනිකෙළි භාවිතය සම්පූර්ණයෙන්ම තහනම්ය. එය සැබැවින්ම මුළු ආසියාවටම හොඳ නිදර්ශනයකි. චීනය ලොවට ගිනිකෙළි හඳුන්වා දුන් දේශය වුවද, එහිදී ගිනිකෙළි භාවිත කළ හැක්කේ ඔවුන්ගේ වාර්ෂික චීන අවුරුදු උත්සවයේදී පමණි. ඇමෙරිකාවේ සහ එංගලන්තයේ විශේෂ ආරක්ෂක විධි විධාන යටතේ ගිනිකෙළි සංදර්ශන පැවැත්වෙයි.

අපූරුම කතාව වන්නේ ගිනිකෙළි හිතේ හැටියට ඕනෑම තැනක, ඕනෑම වේලාවක භාවිත කළ හැකි එකම රටවල් දෙක වන්නේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව වීමය. ඉන්දියාවද ශ්‍රී ලංකාව සේම කටයුතු කරති.

සමහර අධිබලැති රතිඤ්ඤා වර්ග නිසා ශබ්ද දූෂණය (Sound pollution) පවා සිදුවන බැව් පරිසරවේදීන් පෙන්වා දී ඇත. ශ්‍රී ලංකාවේදී විවාහ මංගල්‍යවලදී ද රතිඤ්ඤා පත්තුකරනු ලබන අතර, සමහර ප්‍රදේශවල අවමංගල්‍ය උත්සවවලදීත් දේහය කනත්ත වෙත රැගෙන යනතුරුම විටින් විට රතිඤ්ඤා දල්වමින් ශබ්ද නඟති. කතෝලික ජනයා වෙසෙන ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවලද මෙම චාරිත්‍රය සිදු කෙරෙයි.

අප රට තුළදී රතිඤ්ඤා වර්ගයක් වෙනත් අත්‍යවශ්‍ය කාර්යයක් සඳහා භාවිත කරනු ලබයි. එනම් අනවශ්‍ය වන සතුන් පලවා හැරීමට භාවිත කරති. විශේෂයෙන්ම වන අලින් පලවා හැරීමට අලිවෙඩි වශයෙන් භාවිත කරන්නේද ප්‍රබල රතිඤ්ඤා වර්ගයකි. එසේම වගාවන්වලට හානි පමුණුවන වඳුරන්, රිලවුන් සහ කුරුල්ලන්ද රතිඤ්ඤා දල්වමින් පලවා හරිති. මේ අනුව බලන කල රතිඤ්ඤාව විනෝදය සහ ඵල ප්‍රයෝජනය සඳහා ද භාවිත කරති.

ශ්‍රී ලංකාවේ සහ විදෙස් ගිනිකෙළි කර්මාන්තයේ තොරතුරු සෙවූ මම අපූරු කතාවක්ද දැන ගත්තෙමි. එනම් රක්ෂණයක් ගන්නට යැයි හඬ හඬා අප පසුපසඑන රක්ෂණ සමාගම් කිසිවක් කිඹුලාපිටිය ගමේ අහලකටවත් නොයන බවය. අහෝ අපගේ රක්ෂණය යැයි මට සිතිණි.

ප්‍රියන්ත හෙට්ටිගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com