master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාතාලය සළිත කරමින් චීටා කණ්ඩායම රහසේම කොළඹට කොළඹ හොල්ලන්න හදන චිටාගේ වැඩ මෙන්න


2018-04-12 11:59:26 -  1215 යි

චීටා කණ්ඩායම කොළඹට ඇවිත් යැයි ආරංචිය කනවැකුණු සැණින් බියෙන් සළිත වී ගිය පිරිස් බොහෝ ය. ලෝකයේ ජවසම්පන්න වේගවත්ම සතා ලෙස හැඳින්වෙන චීටාගේ නම කියූ පමණින් ඕනෑම අයකු භීතියට පත්වීම සිදුවන්නකි. පුදුමයක් නොවේ මේ චීටාවෝ කොළඹට හුරුවෙමින් මේ වන විට ගොදුරු කීපයක් වෙත ළඟා වෙමින් සිටිති.

පසුගිය සතියේ කොළඹට රහසිගතව කඩාවැදුණු චීටා කණ්ඩායමක් නිසා වැඩියෙන්ම භීතියට පත් වුයේ පාතාල කල්ලිය.

මෙකී චීටා කණ්ඩායම (Cheetah Group) කොළඹට එන්නේ අමුතු ඉලක්කයක් සොයා ගෙනය. ‍පොලිස් විශේෂ කාර්ය බළකාය සතු ජවසම්පන්න, උපක්‍රමශීලී, වේගවත්, දක්ෂ වෙඩික්කරුවන්ගෙන් සමන්විත මෙකී චිටා කණ්ඩායම කොළඹට ගෙන එන්නේ හිස ඔසවන්නට වූ පාතාලය මට්ටු කරන්නටය.

ඩුබායි සිට ක්‍රියාත්මක වන මාකඳුරේ මධුෂ්, කෙසෙල්වත්තේ දිනුක, මෙන්ම ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කා අතුරුගිරියේ ලඩියාගේ කණ්ඩායම් මෙන්ම අංගොඩ ලොක්කා අතින් කළුතරදී මරණයට පත් වූ කඩුවෙල රණා‍ලේ සමයංගේ කල්ලි ද පසුගිය මාස තුනේදී කොළඹ කේන්ද්‍ර කරගෙන කළ අපරාධ රැල්ල මැඩ පවත්වන්නට මෙකී චීටා කණ්ඩායම කැඳවා තිබේ.

පසුගිය මාස තුන පුරාවටම පාතාල කණ්ඩායම් කොළඹ කේන්ද්‍ර කරගෙන සිදු කළ වෙඩි තැබිම් සඳහා තුවක්කුකරුවන් පැමිණියේත්, පලාගියේත් යතුරුපැදිවලිනි. රථවාහන තදබදය අතරේ ක්ෂණිකවම පලායෑම සඳහා පාතාලය මෙවන් සැලසුම් ක්‍රියාවට නංවද්දී මෙයට විසඳුමක් ලෙස චීටා කණ්ඩායම් කොළඹට කැඳවීමට ‍පොලිස් කොමාන්ඩෝ (එස්.ටී.එෆ්. ප්‍රධානී) ප්‍රධානියා වන ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතිෆ් පියවර ගත්තේය.

අපරාධ භීතියෙන් තොර සමාජයක් නිර්මාණය කිරීම ‍පොලිසියේ දැක්මය. උතුරු, නැගෙනහිර ජනතාවට වසර නවයකට පෙර එවැනි වාතාවරණයක් උදාකර දුන්නද, රටේ නීතියට අභියෝග කරමින් ‍පොලිසියට තර්ජනය කරමින් පාතාලය දකුණේ හිස ඔසවන්නේ මෑතක පටන්ය.

විශේෂ බළකාය තිස්පස් වසරක යුද්ධයේ දී නැගෙනහිර කොටි ත්‍රස්තවාදීන් මෙල්ල කරන්නට නගරබද සටන් හා වනගත සටන්වලට කුඩා කණ්ඩායම් ලෙස සතුරා හඹා යාමට පටන් ගන්නේ 1989 දීය. හයේ කණ්ඩායම් ලෙසින් සතුරා හඹා යන්නට ක්ෂණික ඉලක්කය ගන්නට හැකි සුවිශේෂී පුහුණුව ලත් මෙම කණ්ඩායම ත්‍රස්තවාදය අවසන් වූ පසුව ගමන වේගවත් කරන්නට යතුරුපැදි කණ්ඩායමක් ලෙස කරළියට එක්වෙයි.

ලොව ජව සම්පන්නම වේගවත්ම සතා වූ චීටා පාඨමාලාවේ ලාංඡනය ලෙස ගෙන චීටා ගෲප් නමින් කුඩා කණ්ඩායම් කරළියට ගෙන එන්නේ මෙකී කණ්ඩායමට විශේෂ බළකායේ සිටින ජව සම්පන්නම පුද්ගලයන් ඇතුළත් කර සුවිශේෂී පුහුණුවක් දෙන නිසාය. එදා විශේෂ කාර්ය බළකායේ හිටපු ප්‍රධානි නියෝජ්‍ය ‍පොලිස්පති නිමල් ලෙව්කේ (විශාමික) යටතේ මෙහෙයුම් අධ්‍යක්ෂ තනතුර හෙබවූ එම බළකායේ වත්මන් අණ දෙන්නා වන එම්. ආර්. ලතිෆ් මහතා යටතේ 2007 වසරේ දී චීටා කණ්ඩායම කරළියට ගෙනෙන්නේ ය.

යුද හමුදා විශේෂ බළකා දිගුදුර විහිදුම් කණ්ඩායම් (LRRP) වලට ලබාදෙන සුවිශේෂී පුහුණුව යටතේ වනයේ නොනැසී ජීවත් වීමට වූ අත්දැකීම් ලබාදෙන පුහුණුවත්, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝනය (sbs) යටතේ ජලයේ නොනැසී ජීවත් වීමට පුහුණුවත්, ගුවන් හමුදාව සමග ගුවන් සංග්‍රාමික මෙහෙයුම් සඳහා පුහුණුවත් ලබා දෙමින් චීටා කණ්ඩායම සුවිශේෂී කණ්ඩායමක් ලෙස කරළියට ගෙන එන්නේය.

නවීන තාක්ෂණික උපාංගවලින් මෙන්ම ඕනෑම තත්ත්වයකට මුහුණ දීමට හැකි අයුරින් සුවිශේෂී භට කණ්ඩායමක් නිර්මාණය කිරීමේ අභියෝගය මේ වන විට භාරව ඇත්තේ විශේෂ කාර්ය බළකා පුහුණු අධ්‍යක්ෂ ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අතුල දවුලගල මහතා යටතේ ය.

තාක්ෂණය හා බැඳුණු ජවසම්පන්න භටයන්ගෙන් සතුරාට විස්මය දනවන මෙහෙයුමක් කරන්න තමයි චීටා ගෲප් එක කොළඹට කැඳවන්නේ. ඔවුන් අද වන විට නවීන සන්නිවේදන උපකරණවලින් සමන්විතය. මෙහෙයුමකදී සන්නිවේදනය ඉතා වැදගත්. තවත් කණ්ඩායමක් ක්ෂණිකව සතුරා පලායන මාර්ග පද්ධතිය ආවරණය වන පරිදි ගෙන්වා ගැනීමට හැකි අයුරින් සන්නද්ධව සිටිනවා. ජී.පී.එස්. නැවිගේෂන් සිස්ටම් මගින් ඔවුන් අතර අන්තර් සම්බන්ධතාව පවත්වාගෙන යයි. මේ සියලු කරුණු ඉදිරි අභියෝගවලට මුහුණ දෙන්න තාක්ෂණය හා බැඳුණු මෙහෙයුමක් චීටා ගෲප් එක යොදවා කරනවා යැයි ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් අධිකාරී අතුල දවුලගල ප්‍රකාශ කරයි.

මෙහෙයුම් සඳහා එක්කරන චීටා කණ්ඩායම භූමියේ තොරතුරුවලින් සන්නද්ධ කරන්නේ ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය මගින් මූලස්ථානය ලබා ගන්නා තොරතුරු මගිනි. කොළඹ මෙහෙයුම්වලදී ක්ෂණිකව ඉලක්ක කරා හඹා යන්නට චීටා කණ්ඩායම මෙකී බුද්ධි තොරතුරුවලින් ද සන්නද්ධ වෙයි. ක්ෂණිකව ඉලක්කය ලබාගෙන විහිදී යා හැකි අයුරින් මෙකී හයේ කණ්ඩායම් පුහුණු කර තිබේ.

චීටා කණ්ඩායමට තෝරා ගනු ලබන්නේ ද විශේෂ කාර්ය බළකා මුලික පුහුණු පාඨමාලාව හැදෑරූ සෙබළුන් අතරින් සුවිශේෂී අත්දැකීම් ඇති පිරිසකි. තුන්සීයක පමණ කණ්ඩායමකින් තිස්හය දෙනකුව තෝරා ගන්නේ වසර එකහමාරකට වරක්ය.

හයේ කණ්ඩායම් හයක් ලෙස පුහුණුව ලබන මෙම කණ්ඩායමට කටුකුරුන්ද පුහුණු පාස‍ලේ දී අවි පුහුණුව, වෙඩි පුහුණුව, උපක්‍රමික පුහුණුව, පුපුරන ද්‍රව්‍ය පාඨමාලාව, සන්නිවේදන පාඨමාලා, ඇතුළු විශේෂ පුහුණුවීම් ලැබේ.

කටුකුරුන්දේ පුහුණුව අවසන් වනුයේ කිලෝ විසිපහක ගමන් මල්ලක්ද සමග කළුතර සිට කොළඹ දක්වා සිදුකරන වේගවත් පා ගමනෙනි. ඉන් අනතුරුව අම්පාර, ශාස්ත්‍රවෙල්ලි දී වන සටන් පුහුණුවට යොමු කරන සුවිශේෂී කණ්ඩායමට ඝන කැලෑ තුළ අතරමං කර එන්නේ වනයේදී නොනැසි ජීවත් වන්නට පුහුණු කරන්නටය. පරිසරයෙන්ම ගස්, ගල්වලින් ගින්දර උපද්දවා ගැනීමට, ආයුධ නොමැතිව ආහාරය සඳහා අවශ්‍ය දේ වනය තුළින්ම සපයා ගැනීමට පුරුදු කරන්නේ ඕනෑම තත්ත්වයකට මුහුණ දෙන්නට චීටාවෝ සමත් වෙති. සතුරා හඹායාම හා නොනැසී ජීවත් වීම (Tracking and Survival) විශේෂ බළකා යටතේ පුහුණුව ලබන මෙකී චීටාවන්ට නාවික හමුදා පුහුණුවේ දී අවි ආයුධ සමග මුහුදේ කිලෝ මීටරයක් පමණ මුහුදු සමග කරන සටනකින් එම අභියෝගයද ජය ගත්තේ ය.

නුවරඑළියේ දී ආවරණය වීමට ඉටිකොළයක් පමණක් ලබා දී ඕනෑම දේශගුණික තත්ත්වයන්ට මුහුණ දෙන පුහුණුවක්ද ලබා දෙන්නේය. ‍පොලිස් විශේෂ කාර්ය බළකා කටුකුරුන්ද, කඳවුරේ ප්‍රධාන පුහුණු උපදේශක ‍පොලිස් පරීක්ෂක කළුආරච්චි යටතේ පුහුණුවීම් කටයුතු කෙරේ.

එම පුහුණුවීම්වලින් පසුව විශේෂ ප්‍රහාරක යතුරුපැදි පුහුණුව යතුරුපැදි පුහුණු උපදේශක වන උප පාලිස් පරීක්ෂක අඟුණාවල යටතේ සති හයක් ලබා දෙයි.

සාමාන්‍ය රාජකාරි සඳහා යොදා නොගන්නා චීටා කණ්ඩායම් උතුරු නැගෙනහිරින් ඔබ්බට මුලින්ම රාජකාරි සඳහා මෑතකදී කැඳවන්නේ මහනුවර දිගන ඇති වූ ජාතිවාදී අරගලය මැඬපවත්වන්නටය. අතුරු මාර්ග ඔස්සේ පවා චීටා කණ්ඩායම් යවමින් දිගන ගැටුම පාලනය කරන්නට මහනුවරට ගොස් සිටි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්. ආර්. ලතිෆ් මහතාට හැකි විය.

පාතාල ක්‍රියාකාරකම් මර්දනය කරන්නට දකුණු පළාතට පවා යැවූ විශේෂ කණ්ඩායම් අතරේ චීටා කණ්ඩායමද විය. මෙම සතියේ සිට කොළඹ කේන්ද්‍ර කරගත් මෙහෙයුම්වලට පළමුවරට කැඳවූ චීටා කණ්ඩායම මුලින්ම කොටුකරන්නේ අංගොඩ ලොක්කාගේ කල්ලියේ අංගොඩ චීටීවය. කොටිකාවත්තේ අංගොඩ චිටීගේ නිවසේ යකඩ දොරවල් හතකට ඉබි යතුරු දමා ප්‍රතිවිරුද්ධ පාතාල කණ්ඩායම්වලින් බේරෙන්නට උත්සාහ ගෙන තිබුණ ද චීටාවො කණ්ඩායම් චිටීව කොටුකරන්නේ පසුගිය මිනිස් ඝාතනවලට සබඳතාවක් ඇතැයි තොරතුරු අනාවරණය වීම නිසාය.

පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගුරා ලෙසින් අංගොඩ පාතාලයේ චීටී කරළියට එන්නේ අංගොඩ මෝචාගේ ඝාතනයෙන් පසුවය. මෝචා ඝාතනය වූ පසු පාතාල බලය අතට ගන්නා චීටීගේ ගෝලයකු ලෙස ලොක්කා එවකට කටයුතු කළේ ය.

කාලයාගේ ඇවෑමෙන් අංගොඩ චීටී පස් ජාවාරම්, ඉඩම් ගොඩකිරීම්වලට යොමු වෙද්දී අංගොඩ ලොක්කා පාතාල නායකයා ලෙස කරළියට එයි. කඩුවෙල රණා‍ලේ සමයං කළුතර එතනමඬලදී බන්ධනාගාර බස් රථයට පහර දී ඝාතනය කිරීමෙන් පසුව අංගොඩ ලොක්කා රට පැනීමත් සමග ලොක්කාගේ කල්ලියේ ප්‍රබලයකුව සිටියේ චීටී බව පාතාල මර්දන ඒකක සඳහන් කරයි. චීටි ප්‍රසිද්ධියේ පාතාල ක්‍රියා සඳහා දායක නොවුණද අංගොඩ ලොක්කාගෙන් පළිගන්නට ප්‍රතිවිරුද්ධ කල්ලිය අයි.ඩී.එච්. හන්දියේ දී චීටිට වරක් වෙඩි තැබුවේය. කොස් මල්ලී හා අලුත්කඩේ රිස්කාන් ඝාතනයට පැමිණ ගම්වැසියන්ගෙන් පහර කෑ මියගිය පාතාලයා අංගොඩ චීටිටද වෙඩි තබා තිබුණේය.

චීටි පසුගිය දිනවල වාර්තා වූ ඝාතනවලට දායකත්වයක් දැක්වූ බවට වූ තොරතුරු මත අත්අඩංගුවට ගත් පසුව චීටා කණ්ඩායම මෙම සතියේ අතුරුගිරිය ලඩියාගේ පාතාල සඟයන් කොටුකරන මෙහෙයුම්වලටද යොදවා තිබුණි. ලඩියාගේ ගෝලයන් දෙදෙනකු කොටු වූ බව ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්. ආර්. ලතිෆ් සඳහන් කරයි. ඕනෑම පාතාල අභියෝගයක් ජයගන්නට හැකි අයුරින් චීටා කණ්ඩායම කොළඹ මෙහෙයුම් අරඹද්දී කොළඹ කේන්ද්‍ර කරගත් පාතාලය අඩියක් පස්සට තබද්දී දකුණේ නිහඬ බව නිවමින් කොස්ගොඩ සුජී එල්ල කළ ප්‍රහාරයකින් විදේශිකයකු අනතුරට ලක් විය.

මෙහිදී ඉලක්කය වී තිබුණේ රෝයල් බිච් සමන් නමැති ව්‍යාපාරිකයාය. කප්පම් සිද්ධීන් හා බලය පැතිරවීමේ ඉලක්කයක් ඇතිව මෙම ප්‍රහාරය කොස්ගොඩ සුජී එල්ල කර තිබුණ බව කියැවෙන්නේය. කොස්ගොඩ සුජිත් යළි වැඩ අරඹන්නේ මධුෂ්ගේ වැඩ කරගන්නට දුන් කාලයකින් පසුවය. රජය අපරාධ මර්දනය කිරීමට නීති බලගන්වමින් නිසි වැඩපිළිවෙළක් නොයොදනතාක් මර්දනය කිරීමක් හැර සදහටම තුරන් කිරීමක් කළ නොහැකිය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
14 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com