master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොටි බළකොටුවෙන් සගයන් මුදාගත් බිහිසුණු ගුවන් හමුදා හෙලිකොප්ටර් ගමන


2018-04-11 11:48:42 -  1170 යි

පසුගිය සතියෙන්
මෙදින සවස 5.00ට අනුරාධපුරයෙන් ගුවන්ගත වීමට ගුවන් හමුදා නිලධාරීහු කථිකා කර ගත්හ. කොටි අඩවියට ගුවන් හමුදා හෙලිකොප්ටර් මගින් යන ගමන අවදානම් වූයෙන් මෙම මෙහෙයුම ඉහළ නිලධාරින් කිහිප දෙනකු පමණක් දන්නා ඉතා රහසිගත මෙහෙයුමක් විය.

හමුදා ඉදිරි ආරක්ෂක වළල්‍ලේ සිට කිලෝමීටර් විසි ගණනක් කොටි පාලන ප්‍රදේශය වෙත යාමට තිබුණි. එහෙත් ප්‍රශ්නය වූයේ සෘජුවම ඉලක්කය වෙත යාමට අපහසු වීමය.

එයට හේතුව වූයේ මේ වන විට සටන් බිමේ දරුණු ගැටුම් ඇවිළීයාමය. මේජර් ජෙනරාල් ජගත් ඩයස් යටතේ වූ 57 වන සේනාංකය තුනුක්කායිහි කොටි බලකොටුවට ප්‍රවිෂ්ට වීමේ අරමුණින් වව්නිකුලම් ප්‍රදේශයේ ක්‍රියාන්විතයක් අරඹා තිබිණි.

හෙලිකොප්ටර්වලට යාමට අවශ්‍ය නිසා යුද හමුදා කාලතුවක්කු බළකාය මගින් සටන් පෙරමුණ වෙත දිගින් දිගටම ලබා ගත් කාලතුවක්කු වෙඩි සහාය නැවත්වුවහොත් සටන් බිමේ බළඇණිවල ජීවිත අනතුරට පත්වීමේ අවදානමක් ඇති විය. මේ නිසා කාලතුවක්කු ප්‍රහාර නැවැත්වීමට නොහැකි බව සටන් බිමේ නිලධාරීහු පෙන්වා දුන්හ.

මේ වන විට මන්නාරම දෙසින් ඉදිරියට ඇදුණු 58 වන සේනාංකයේ සටන් පැවති ප්‍රදේශයේ දරුණු ගැටුම් නොවූයෙන් මන්නාරම දෙසින් ඉලක්කය සොයා යෑමට ගුවන් නියමුවෝ සැලසුම් කළහ.

මේ අනුව සවස 5.00ට අනුරාධපුර ගුවන් හමුදා කඳවුරෙන් යාමට සියලු දෙනා සූදානම් වූහ. මේ වන විට කොටි පාලන ප්‍රදේශයට රිංගා ඉලක්ක ගත තැන ලබා දීමට ගිය අටේ කණ්ඩායමට අවශ්‍ය කෑමබිම රැගෙන යාමට හා එම කණ්ඩායම් සමග පණිවුඩ හුවමාරු තබා ගැනීමට විශේෂ බළකායේ කපිතාන් ගම්ලත් ගුවන් නිලධාරින් සමග ගමනට එක් විය.

සැරයන් ජයකොඩි ඇතුළු තිදෙනා මුදවා ගැනීමට තිබුණේ බෙල් 212 හෙලිකොප්ටරයකිනි. එහි නියමුවා වූයේ පියසාර ලුතිනන් ප්‍රසන්න ගුණරත්නය. සහායක නියමුවා වූයේ පියාසර ලුතිනන් ආසිරි පතිරගේය. මෙම හෙලිකොප්ටරයේ ගිනි අවි භාරව සිටියේ ගුවන් හමුදාවේ කෝප්‍රල් දිසානායක හා කෝප්‍රල් සංජීවය.

මෙම හෙලිකොප්ටරයේ ආරක්ෂාවට වින්ග් කමාන්ඩර් සම්පත් තුයියකොන්තා යටතේ වූ එම්.අයි. 24 ප්‍රහාරක යානාවක් හා බලඝන නායක තුෂාර වීරරත්න යටතේ වූ එම්.අයි. 24 ප්‍රහාරක යානාවක් සූදානම් කෙරිණි. එහෙත් අවසන් මොහොතේ තුෂාර වීරරත්නගේ හෙලියානය හදිසියේ යාන්ත්‍රික දෝෂයක් නිසා පණ ගැන්වීම අසීරු විය.
එහෙත් මෙහෙයුම අතහැරීමට අකැමැති වූ වින්ග් කමාන්ඩර් තුයියකොන්තා අපි පිටත් වෙමු යැයි අනෙක් නිලධාරින්ට යෝජනා කළේය.

ඒ අනුව ප්‍රසන්න ගුණරත්න හා ආසිරි පතිරගේ බෙල් 212 හෙලිකොප්ටර් යානාවෙන් වින්ග් කමාන්ඩර් සම්පත් තුයියකොන්තාගේ යානාව සමග පිටත් වීමට සූදානම් වූහ.

දෝෂයට ලක්වූ එම්.අයි. 24 ප්‍රහාරක යානාව හදාගෙන ඒමට හැකි වුවහොත් පසුපසින් එන්නැයි බළඝන නායක තුෂාර වීරරත්නට උපදෙස් දුන්නේය.

මේ අනුව පාලම්පිඩ්ඩි දෙසින් කොටි පාලන ප්‍රදේශයට ඇතුළු වූ හෙලිකොප්ටර් යානා දෙක පැයට කිලෝමීටර් එකසිය අසූවක වේගයෙන් ඉදිරියට ඇදෙන්නට විය.

කොටි මිසයිල ප්‍රහාරවලින් බේරීම සඳහා පහළින්ම පියාසර කරන්නට විය. සුළු අවි ප්‍රහාර එල්ල වීමේ අවදානමක් තිබුණත් උපක්‍රමශීලී ලෙස ඝන කැලෑවේ ගස්වල ගෑවෙන නොගෑවෙන තරමට පහළින් පියාසර කරන්නට විය. විවෘත භූමි හමුවන තැන්වලදී අඩි දහයට වඩා පහළට බස්සවා පඳුරුවල ගෑවෙන නොගෑවෙන තරමට ඉදිරියට ඇදුණේය.
එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් යානය මුලින් ද ඊට ආසන්නයෙන්ම බෙල් 212 යානය ද හීයක වේගයෙන් ඉදිරියට ඇදුණේය.

අනුරාධපුරෙන් ඇරඹි ගමන් මග පරයානකුලම් පෙරියමඩු වැව, උයිලන්කුලම් ලෙසින් කොටි බලකොටුවේ සිවිල් ගම්මාන පසු කරමින් හිරු බැස යන අතරේ ඉදිරියට ඇදුණේය.

තුනුක්කායිවලට ඊසාන දෙසින් සැරයන් ජයකොඩි ඇතුළු කණ්ඩායම සිටි ඉලක්කගත තැනට හෙලිකොප්ටර් ළඟා විය. සටන් පැවැති භූමියට ඉහළින් කාලතුවක්කු ප්‍රහාර නිසා යාමට නොහැකි වූයෙන් මෙම නියමුවන්ට කිලෝමීටර් හතළිහක් පමණ දුර ගෙවා කොටි පාලන ප්‍රදේශය වෙත ගොස් කොටි පාලන ප්‍රදේශය තුළින්ම නැගෙනහිරට ඒමට සිදු විය.

ඉලක්කගත තැනට ක්ෂණිකව ළඟා වූ හෙලි යානා දෙකෙන් බෙල් 212 යානය තත්පර ගණනකදී ඉලක්කය වෙත පහත් කළේය. ප්‍රහාරක හෙලි යානය මෙයට ආරක්ෂාව සපයමින් උඩු ගුවනේ රැඳුණේය.

තත්පර ගණනකදී සැරයන් ජයකොඩි, කෝප්‍රල් පතිරණ හා පුෂ්පකුමාර හෙලිකොප්ටරයට නංවාගත් අතර හෙලි යානයෙන් රැගෙන ගිය වියළි කෑම භූමියේ රැඳී සිටි අටේ කණ්ඩායමට ලබා දුණි. එම කණ්ඩායම ගොඩබිම ඔස්සේ හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල වෙත ඒමට නියමිත විය.

සතුරු භූමියේ සිට මුදවාගත් විශේෂ බළකා විරුවන් රැගත් හෙලිකොප්ටර් යානා යළිත් හමුදා පාලන ප්‍රදේශය වෙත පියාසර කරන්නට විය. මෙවර බෙල් 212 යානය ඉදිරියෙන් පියාසර කළ අතර එම්.අයි. 24 හෙලියානය පසුපසින් පියාසර කළේය.

මෙම ගමනේදී උයිලන්කුලම් ප්‍රදේශයේදී කළුකොටි බළකායේ සන්නද්ධ සාමාජිකයන් රැගත් වාහනයකින් පැමිණ බැසගත් කොටි කණ්ඩායම් සුළු අවිවලින් හෙලිකොප්ටර් දෙසට වෙඩි තබන්නට වූහ.

උපරිම වේගයෙන් ඉදිරියට ඇදුණු හෙලිකොප්ටර් වෙත ඉලක්ක ගැනීම අසීරු විය. එහෙත් වෙඩි උණ්ඩ දෙකක් එම්.අයි. 24 යානයේ තටුවලට වැදී තිබිණි.

කොටි ත්‍රස්තයින් පවා නොසිතූ මොහොතක ඉතා රහසිගතව සිදුවූ මෙම ගුවන් මෙහෙයුමේදී කොටින්ට තම මිසයිල වැනි අවි ගෙන්වා ගැනීමට ද කාලයක් නොවීය.

තම ජීවිත පරදුවට තබමින් සතුරු භූමියේ රැඳී සිටි විශේෂ බළකා භටයින් මුදවා ගැනීමට ගිය අභීත ගුවන් නියමුවන් පැය එකකුත් විනාඩි විසි පහක් ඇතුළත සමස්ත මෙහෙයුම නිම කර හමුදා පාලන ප්‍රදේශය වෙත නිරුපද්‍රිතව පැමිණියේය.
සතුරු ප්‍රහාරවලින් පවා යානා බේරාගනිමින් ආරක්ෂිත ලෙස කළ මෙම මෙහෙයුම කොටි බළකොටුවට වැඩිම දුරක් ගිය ගුවන් මෙහෙයුම ද විය.

මෙසේ සතුරු භූමියට ගොස් දැක්වූ වීරත්වය උදෙසා ගුවන් මෙහෙයුමට එක්වූ නිලධාරින්ට වීර වික්‍රම විභූෂණ පදක්කම නිර්දේශ විය.

තවත් මෙහෙයුමක්
ලබන සතියේ

පසුගිය ලිපි
සතුරු අඩවියේ තුවාල වුණු සගයින් මුදා ගන්නට කොටි කටට රිංගා තනිවම කළ සටනක්

කොටි හඬ සුන් කරන්න ඉලක්ක සොයා දුන් දිගු දුර 08 දෙනාගේ මාරාන්තික ගමන

ගුවන් ප්‍රහාර මැද කොටි කඳවුරක ඔත්තු බලමින් ගත කළ දවසක්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com