www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

තාත්තා ජීවතුන් අතර හිටිය නම් මම ඒ9ක් ගන්නවා


2018-04-07 10:33:00 -  6522 යි

පුතෙකුගේ ලෝකයේ තාත්තා වීරයකු වන්නා සේම දියණියකගේ ලෝකයට ඒ තාත්තා රජෙකි. එය හැම දියණියකටම පොදු වූ හැඟීමකි, සිතුවිල්ලකි. සමාධි සිටියේත් එවන් හැඟීමෙනි. ඈ ද පිය රජුගේ ලෝකයේ කිරුළ දරා බොහෝ ආඩම්බරෙන් සතුටෙන් සිටි දැරියක් වූවාය. එදවස තාත්තා ළඟ දැවටෙමින් ඔහුගේ ලොවට ඈ දුන් බලාපොරොත්තුවලින් ඒ තාත්තා ඔහුගේ ලොව සුන්දර කරමින් සිටියේය. ඒත් හදිසියේම ඒ තාත්තාගේ ලෝකයේ සමාධි හිස රන්දා සිටි කිරුළ ලිහී වැටුණේය. ඒ කිරුළේ කෑලි යළි එක්කාසු කර කිරුළක් හෝ කිරුළ දැරූ ලොව යළි තනන්නට බැරි ලෙස සමාධිගේත් තාත්තාගේත් ලෝකය සදාකාලිකව වෙන් කරමිනි.

සමාධි අමන්දා තවමත් පහළොස් හැවිරිදි දැරියකි.ඇගේ එකම බාල සොයුරා සදෙව් ආනන්දයි. අම්මා හලාවත පොලිසියේ කොස්තාපල්වරියක් වන ප‍්‍රියංගිකා කුමුදුනිය. සමාධිගේ තාත්තා පොලිස් සැරයන්වරයකු වූ සරත් හේමචන්ද්‍රයි.

සමාධිට වයස අවුරුදු පහක් පමණ වෙද්දි ප‍්‍රියංගිකා පොලිස් සේවයට නොයා නැවතුණේ එවකට සදෙව් ඉපදෙන්නට සිටි නිසාමත් නොව සමාධිගේ රැුකවරණයට සිටි ඇගේ ආච්චි අම්මා අසනීපව ගමේ ගිය නිසාය. එවක් පටන් ප‍්‍රියංගිකාට රැුකියාවට ගිය කාලයට වඩා සැලකිල්ලක්, කාලයක් සමාධි වෙනුවෙන් වැය කරන්නට පුළුවන් විය. සමාධි කුඩා කාලයේ බම්බලපිටියේ සාන්ත පාවුළු බාලිකා විද්‍යාලයට ගොස් 4 පන්තියේ සිට හලාවත පල්ලම නන්දිමිත‍්‍ර මහා විද්‍යාලයට යන්නට ගත්තාය. කුඩා කල පටන් ඇයට සහජයෙන්ම ඉගෙනීමේ හැකියාවක් තිබුණේය. ඈ හැම විටකම පන්තියේ පස්වැනියා වූවාය. ගණිතය විෂයට දක්ෂ වූ ඇයට යමක් ඇසූ පමණින් එය මතක සිටින විශේෂතාවක් ද විය.
මම ලොකු වෙලා විභාගෙ පාස්වෙලා  ටීචර් කෙනෙක් වෙනවා..

සමාධි පොඩි කාලේ නිතර කීවේ ඒ කතාවයි. පොඩි වයස ගෙවී 10  පන්තියට ආවත් සමාධිගේ මේ අදහස වෙනස් වූයේ නැත.
මම ඉතින් කවදහරි ටීචර් කෙනෙක්නෙ  වෙන්නෙ..
මෑතකාලයේත් ඈ ඒ නොවෙනස්වූ අනාගත බලාපොරොත්තුව ගැන කීවාය.

දුව ගුරුවරියක් වුණාට කමක් නෑ. ගුරුකම ගෑනු ළමයකුට හොඳටම ගැළපෙනවා. හැබැයි ඉතින් හොඳට විභාගෙ පාස්වෙන්න  ඕන මොන රස්සාව ගන්නත්

සමාධිගේ අනාගත බලාපොරොත්තුව ගැන තාත්තා සරත් හේමචන්ද්‍රගේ අදහස වුණේ ඒකය. දියණිය ගුරුවරියක වනවාට ඔහු සතුටු වුණේය. ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගයෙන් ඇයගෙන් හොඳම ප‍්‍රතිඵලත් ඔහු බලාපොරොත්තු වුණේය. ඒත් දරුවන් ළඟ සිට ඔවුන්ගේ ඉගෙනීමට උදව්කරන්නට තරම් වාසනාවක් සැරයන් සරත් හේමචන්ද්‍රට තිබුණේ නැත. 2003 වසරේ කොළඹින් උතුරු නැගෙනහිර පොලිස් රාජකාරී සඳහා ගිය සැරයන් හේමචන්ද්‍ර 2017 වනතුරු සිටියේත් උතුරු නැගෙනහිර සේවයේය. නිවාඩුවට දින කීපයක් ගෙදර රැුඳී සිට යන ඔහු ඉන්පසු ගෙවෙන දිනවල දී  දුරකථනයෙන් දියණිය සේම පුතුද උනන්දු කළේය. විශේෂයෙන් දියණියව උනන්දු කළේ ඇය ඒ වසරේ දෙසැම්බරයේ සාමාන්‍ය පෙළ විභාගයට ලියන නිසාය. සමාධි ඒ වෙනකොටත් බොහෝ මහන්සියෙන් විභාගයට සූදානම් වෙමින් සිටියාය. මහ පාන්දර වෙනකලූත් පාඩම් කළ ඇය යළි පාන්දර හතර හමාරට පහට නැගිට්ටාය. විෂයන් සියල්ලටම කෙසේ හෝ සමාධිව පන්ති යවන්නට සරත් හා ප‍්‍රියංගිකා සැරසුණත් සමාධි තෝරා ගත්තේ විෂයන්  තුනක් සඳහා පන්ති පමණි.

අනෙක් විෂයන් මට අමාරු නෑනෙ.. ටිකක් හරි අමාරු මේ විෂයන් තුන..
කවුරුත් බලාපොරොත්තුවන්නා සේ සමාධිට ඒ අනෙක් විෂයන්ට පන්ති නොයා ඒ සාමාර්ථ ගත හැකි බවට විශ්වාසයක් විය. ඇගේ දක්ෂතා හඳුනන කවුරුත් සමාධිගෙන් බලාපොරොත්තු වූයේ ඒ නවයකි. මාසෙන් මාසය දෙසැම්බර් විභාගයට ළංවෙමින් තිබුණි. සමාධිත් ඒ සඳහා දැනුමින් සන්නද්ධ වෙමින් සිටියාය.

2017 අගෝස්තු නිවාඩුවට පෙර පාසලේ වාර විභාගය පැවැත්වෙමින් තිබුණේය. විෂයන් තුන, හතරකට ලියා ලකුණු ද ලැබෙමින් තිබුණි. ඒ හොඳ ලකුණු ගැන සමාධි අම්මා සමග මෙන්ම දුරකථනයෙන් තාත්තා සමග ද කතා කළාය.

ආසාවෙන් සමාධි ඒ විභාග ප‍්‍රතිඵල කතාකරද්දි මේ කාලයේ සැරයන් සරත් හේමචන්ද්‍ර රාජකාරි කරමින් සිටියේ යාපනේ පොලිසියට අනුයුක්තව යාපනේ මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචේලියන් මහතාට ආරක්ෂාව සපයමිනි. එදා 23 වැනිදා ද යාපනේ උසාවි ගොස් එමින් සිටි මහාධිකරණ විනිසුරුවරයාගේ නිල රථයට ආරක්ෂාව සලසමින් 24330 යතුරු පැදියෙන් සැරයන් හේමචන්ද්‍ර ඔහු සමග යමින් සිටියේය. ඒ වන විට යාපනය නල්ලූර් හන්දියේදී කලහකාරී ලෙස හැසිරෙමින් සිටි  පිරිසක් දැක සැරයන් හේමචන්ද්‍ර බයිසිකලයෙන් බැස ඔවුන් අතරට ගොස් තිබුණේ මහාධිකරණ විනිසුරුවරයාගේ වාහනයට යන්නට මාර්ගයේ ඉඩහසර සලසා දෙන්නටය. ඒත් නොසිතූ ලෙස එහි සිටි චණ්ඩියකු වූ සෙල්වරාසා සැරයන් සරත් හේමචන්ද්‍රගේ පිස්තෝලය උදුරාගෙන තිබූ අතර එහි උණ්ඩයක් සැරයන්වරයාගේ ළය පසාරුකොට ගෙන ගියේ සැරයන් හේමචන්ද්‍ර බිම හෙළමිනි. ඊළඟ වෙඩි උණ්ඩය  විනිසුරුවරයා ඉලක්කකොට ගෙන ආවෙන් ඔහු බේරාගන්නට අනෙක් පොලිස් නිලධාරියා ඉදිරියට පැන තිබූ අතර ඒ වෙඩි ප‍්‍රහාරයෙන් විනිසුරුවරයා බේරුණත් ඉදිරියට පැන්න පොලිස් නිලධාරියාගේ අතට වෙඩිවැදුණේය. තාත්තාගේ සිහිනයට පණ දෙන්නට පාඩම් පොත් සමග සිටි සමාධි දියණියට එදා 2017 වසරේ ජුනි 23 වැනිදා අසන්නට ලැබුණේ ඒ සිහින සියල්ල දැවී හළු වී ගිය පණිවිඩයකි. ඒ ඇගේ ආදරණීය තාත්තා ජීවිතය හැරගොස් සිටින ආරංචියයි.

එතැන් සිට සමාධිගේ ජීවිතය, සිත, සිතුවිලි කණපිට පෙරළුණා සේ විය. ඒ ගැන කියන්නේ සමාධිගෙ අම්මා ප‍්‍රියංගිකාය.

මහත්තයා නැතිවුණ එක එදා වගේම අදටත් හීනයක් වගේ. එදා මහත්තයා නැතිවෙනකොට දුවට විභාගෙට තිබුණෙ හරියටම මාස හයක්. තාත්තා නැතිවුණත් එක්ක දුව හරියට වෙනස් ළමයෙක් වුණා. පළවෙනිම දේ එයා නිශ්ශබ්ද ළමයෙක් වුණා. ඊළඟට එයාට ඉගෙනගන්න තිබ්බ  ඕනකම නැතිවුණා. ඉස්කෝලෙ යන්න කම්මැලි කළා. පන්ති යන්න බෑ කිව්වා. පාඩම් කරන්න පොතක් අතින් ඇල්ලූවේ නෑ.. දුව නොකියා ඇෙඟව්වා තාත්තා නැතුව එයාට විභාගෙ පාස්වෙලා වැඩක් නෑ කියලා වගේ කතාවක්. මං එයාට වටහලා දෙන්න උත්සාහ කළා තාත්තා කොහෙ හරි ඉඳලා බලාගෙන ඇති එයාට පේන්න කොහොම හරි තාත්තගෙ බලාපොරොත්තුව ඉෂ්ට කරමු කියලා.

ඒත් එක්කම හයිකෝට් සර් දරුවො  දෙන්නගෙ අනාගතේ  බාර ගත්තැයින් පස්සේ හයිකෝට් සර්රුත් දුවට තේරුම් කරලා දුන්නා. දුව ඉස්කෝලෙ ගියා. වැඩි උවමනාවක් උනන්දුවක් නැතුව ඉස්කෝලෙ යන දුවගෙ මහා ලොකු වෙනසක් එයාගෙ ටීචර්ලට තේරුණේ  නෑ. මොකද උපන් දක්ෂකමක් එයාට තිබ්බ නිසා. මම ඉස්සර විදිහට දුවව පාඩම් කරන්න උනන්දු කෙරෙව්වා. දුව එක්ක මම නැගිටලා එයා පාඩම් කරනකල් මම ඒ ළඟට වෙලා අවදියෙන් හිටියා. මම දිගටම  එහෙම දුව පිටිපස්සෙන් ඉන්නකොට එයා ටිකක් විතර උනන්දු වුණා.  ඕනකමකින් නෙවේ ඒත් පාඩම් කළා. පන්ති යන්න නම් බෑම කිව්වා. ඉස්සර බස් එකේ පන්ති ගියේ.. පස්සෙ හයිකෝට් සර් රුත් කියලා පන්ති දවස්වලට දුවව ත‍්‍රීවිල් එකෙන් පන්ති එක්ක ගියා. ඒ පන්ති තුනම දුවට හම්බවුණේ නොමිලේ. පන්ති තිබ්බ තැන ඉසුරු සර්රුයි, දුවලට උගන්නපු හේමන්ත,අඛිල,ජීවන් සර්ලයි දුවට නිතරම කිව්වෙ ඔයාට ් නවයක් ගන්න පුළුවන්.

කොහොමහරි ් නවයක් ගන්න කියලා .දුව සර්ලා කියන  දේ ඇහුවා. නොපෙන්නුවාට, නොකිව්වට තාත්තා නැතිවෙච්ච එක එයාට ලොකු කම්පනයක් වෙලා තිබ්බා. තාත්තාගෙ නැතිවීම ගැන එයා ඊටපස්සෙ කවදාවත් කතා කළේ නෑ. අපි කතාකරනවට කැමති වුණෙත් නෑ. හයිකෝට් සර් යාපනේ ඉඳලා ගෙදර යන්නෙ කවද්ද ඒ හැම දවසකම ඇවිත් දරුවො බලලා කතා කරලා යනවා. දරුවන්ට වියහියදම් කරනවා.ඒ සර් කියන දේත් දුව ඇහුවා.

දෙසැම්බර් විභාගෙට මං දුවව යැව්වෙ ත‍්‍රීවීල් එකේ. විභාගෙට ලියලා ඇවිල්ලත් එයා පුරුදු නිශ්ශබ්දතාවයෙන් ගෙදර හිටියා. ඒ  වෙනකොට මමත් ගෙදර නෑනෙ. මහත්තයා නැතිවුණාට පස්සෙ මට ආයෙත් මගෙ රස්සාව ලැබුණා හලාවත පොලිසියට.

විභාග ප‍්‍රතිඵල එනවා කිව්වම නම් දුව ටිකක් කලබල බවක් පෙන්නුවා. එනවා කිව්ව, දවසෙ මුළු ?ම නැගිටලා හිටියෙ. ඊට පහුවදා  එයාගෙ ප‍්‍රතිඵල, ් හයක්, ඊ දෙකක් සහ ක්‍ එකක් විදිහට තියෙනවා දැක්කම එයා එක දෙයයි විභාග ප‍්‍රතිඵල ගැන මාත් එක්ක කිව්වේ.. තාත්තා හිටියානම් මට ්, නවයක්ම ගන්න තිබුණා අම්මේ. කියලා. ඒක දුවට විතරක් නෙවේ  මටත් හිතුණ දෙයක්. ඒත් මට සතුටුයි.. තාත්තා ගැන මහ දුකක් හිතේ තියාගෙන හරි මගෙ දුව මේ තරමට පාස් වුණාට. ඇත්තම කිව්වොත් තාත්තාත් නැතුව ඉගෙනීමට කිසි උනන්දුවක් තිබ්බෙ නැති දුව මේ තරම් පාස්වෙයි කියලා මං හිතුවෙ නෑ. එයා උසස් පෙළ වානිජ අංශයෙන් කරනවා. මේ වෙනකොටනම් ගුරුවරියක් වෙන අදහස අතහැරලා අනාගත බලාපොරොත්තුව වෙනස් කරගෙන  ඉන්නේ

ප‍්‍රියංගිකා දියණියගේ විභාගෙ ප‍්‍රතිඵල කිව්වේ සතුට හා දුක සමව පිරි හැඟීමෙනි. සිය පියාගේ ජීවිතය නරුම මිනිසුන් පිරිසක් උදුරා ගනිද්දී නැතිවුණ පියාගේ ජීවිතය වෙනුවෙන් නිහඬව දුක්වූ සමාධි මනසින් වැටී සිටියදී වුවත් විභාගය ජය ගත්තාය. ඇය කියන්නේ ඒ අම්මාට පින්සිදුවන්නට බවයි.

තාත්තගෙ ලොකු ආසාවක් තිබ්බා මම හොඳටම විභාගෙ පාස්වෙනවා දකින්න. ඒත් මගේ විභාග ප‍්‍රතිඵල දකින්න තාත්තා නෑ කියලා මං දන්න කොට මට හිතුණා මං ඇයි ඉගෙන ගන්නෙ කියලා. මං පාස් වුණත් ප‍්‍රතිඵල දකින්න තාත්තා නෑනෙ කියලා හිතුණා. ඉතින් එතකොට මට ඉගෙනගන්න බෑ කියලමයි මට හිතුණේ. ඒත් අම්මයි හයිකෝට් සර්රුයි මට කිව්වා කොහොමහරි විභාගෙ පාස්වෙන්න කියලා. ඉසුරු සර්රුයි, හේමන්ත සර්රුයි, අකිල සර්රුයි, ජීවන් සර්රුයි කිව්වෙත් කොහොමහරි ් නවයක් ගන්න කියලා. ඒත් මට ගන්න පුළුවන් වුණේ හයයි. ඒත් මං දන්නවා තාත්තා හිටියානම් මට ් නවයක්ම ගන්න තිබුණා. වාණිජ අංශයෙන් උසස්පෙළ කරලා ගණකාධිකාරිවරියක් වෙන එකයි මගේ බලාපොරොත්තුව..

පියා වෙනුවෙන් උපන් සොව තාමත් හිතේ රන්දාගෙන දුක්වන සමාධිගේ පොඩි හිතට එදා එක්වූයේ දරන්නට බැරි අත්දැකීමකි. කෙනෙකුගේ ජීවිතය උදුරාගන්නට පෙර ඒ ජීවිතය නැතිව ගිය කල්හී ජීවත්වන්නවුන් විඳවන විඳවීම නරුම මිනීමරුවන් වටහාගන්නා කාලයක් එනතුරු මේ අත්දැකීම මේ ලංකාවේ සමාධි වන් තවත් දියණිවරුන් විඳිනු ඇත.

බියංකා නානායක්කාර


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com