master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සගයාගේ මළ සිරුර කොටි බළකොටුවෙන් මුදා ගන්නට කළ සටන


2018-04-07 09:12:18 -  1246 යි

කොටි පාලන ප්‍රදේශයේදී කොටි නායකයකු රැගත් කැබ් රථයක් විශේෂ බළකා දිගුදුර විහිදුම් ඒකකයේ ප්‍රහාරයකින් පුපුරා යාමත් සමග කොටි බළකොටුව කූඹි ගුලක් මෙන් ඇවිස්සිණි.
පුනරීන්-මන්නාරම මාර්ගයේ ඇති වූ මෙම පිපිරීමත් සමග සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි කොටින්ගේ සෝදිසි මෙහෙයුම් ද ආරම්භ වී තිබිණි.

මේ සියල්ල මග හරිමින් කොටි බලකොටුවේ සිට එන අතරතුරේදී තුන් වතාවක් සෝදිසි මෙහෙයුමේ නිරත වූ කොටි කණ්ඩායම් සමග ගැටුමකට මුහුණ දෙන්නට සැරයන් ජයකොඩි ඇතුළු අටේ කණ්ඩායමට සිදු විය.
අතරමගදී මාර්ගයක් හරහා පැන ගන්නට ගත් උත්සාහයේදී මෙම කණ්ඩායමේ කෝප්‍රල් චන්දන දිවි පිදුවේය. කොටි බලකොටුවේ මියැදුණත් තම සගයාගේ මළ සිරුර සතුරාට අත්වීමට ඉඩ නොදීම විශේෂ බළකා කුඩා කණ්ඩායම්වල පුරුද්දය. දිවි පරදුවට තබා හෝ එය රැගෙන එන බව දත් මෙම භටයන් නොබියව කොටි බලකොටුවට ගියේ තමන්ගේ සිරුර හෝ රැගෙන එන බවට ඇති විශ්වාසය මතය.

එමෙන්ම සතුරු බිමෙන් පැන ගැනීමට නොහැකි අවස්ථාවල කෙසේ හෝ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා ගොඩ බස්සවා හෝ තමන් බේරා ගන්නා බවට විශේෂ බළකා විරුවන්ට විශ්වාසයක් ද තිබිණි.
සැරයන් ජයකොඩිගේ කණ්ඩායම කෝප්‍රල් චන්දනගේ සිරුර රැගෙන ඒමට ගිය අවස්ථාවේ සැරයන් ජයකොඩිගේ කලව ප්‍රදේශයට ද වෙඩි වැදිණි. එහෙත් සටන අත්නොහළ මෙම කණ්ඩායම කෙසේ හෝ චන්දනගේ සිරුර රැගෙන ඒමට උත්සාහ කළ ද ගැටුම් නිසා නොහැකි විය.
අවසානයේ චන්දනගේ සිරුර ආරක්ෂිත තැනක සඟවා හමුදා ආරක්ෂක වළල්ල වෙත පසුබසිද්දී යළිත් අතරමගදී කොටි කණ්ඩායම් සමග ගැටුම් ඇවිළුණේය.

අවසානයේදී ඉතිරි හත්දෙනාගෙන් තිදෙනකු වෙනම පැත්තකට කැඩී ගිය අතර, ඉතිරි කණ්ඩායම සැරයන් ජයකොඩි, සැරයන් චන්ද්‍රසිරි, කෝප්‍රල් පතිරණ හා කෝප්‍රල් පුෂ්පකුමාරගෙන් සමන්විත විය.
මේ වන විට පණිවුඩ හුවමාරු බිඳ වැටී තිබුණෙන් දෙකට වෙන්වුණු කණ්ඩායමට එකට එක්වීම අපහසු විය. එහෙත් සියලු දෙනාගේම ඉලක්කය වූයේ හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල වෙත යාම නිසා සියලු දෙනා ඒ අරමුණ කරා යාමට සූදානම් වූහ.

නමුත් මේ වන විට සැරයන් ජයකොඩිට ඇවිදගත නොහැකි වීමත්, කෝප්‍රල් පතිරණ විජලන තත්ත්වයට පත්ව සිටීමත් නිසා ඉදිරියට ගමන් ගැනීම අසීරු විය.
අවසානයේදී මෙම දෙදෙනාගේ ආරක්ෂාවට කෝප්‍රල් පුෂ්පකුමාරව තබා තනිවම හමුදා ආරක්ෂක වළල්ල වෙත ගොස් තම සගයන් බේරා ගැනීමට කණ්ඩායමක් රැගෙන ඒමට යාමට සැරයන් චන්ද්‍රසිරි ස්වෙච්ඡාවෙන්ම ඉදිරිපත් විය.
ඒ එන අතරමගදී කොටි ත්‍රස්තයින්ගේ වෙඩි ප්‍රහාරයකට මැදිව අතට වෙඩි ප්‍රහාරයක් එල්ල වුවත් එම වෙඩි ප්‍රහාරය කාගෙනම හමුදා ආරක්ෂක වළල්ල වෙත පැමිණ අවශ්‍ය තොරතුරු ලබා දී තවත් අටේ කණ්ඩායමක් ඉලක්කය වෙත යැවීමට කටයුතු යෙදුවේය.

මේ වන විට හමුදා ආරක්ෂක වළල්‍ලේ අනිත් පසින් කෝප්‍රල් ප්‍රියන්ත ඇතුළු තිදෙනා ද පැමිණියහ.
මෙම සියලු තොරතුරු සමගින් අටේ කණ්ඩායමක් කොටි බලකොටුවේ තම කණ්ඩායම රැඳී සිටින ස්ථානය වෙත යැවීමට තුන්වන විශේෂ බළකා අණදෙන නිලධාරි මේජර් නිශ්ශංක ඊරියගම කටයුතු කළේය.
මේ අතරේ හෙලිකොප්ටර් ගොඩබස්සවා ගුවන් මගින් කොටු වී සිටින තිදෙනා බේරාගැනීමට අණදෙන නිලධාරීහු සැලසුම් කළහ. අටේ කණ්ඩායමක් පිටත් කර හැරියේ හෙලිකොප්ටරයක් ගොඩබැස්සවීමට අවශ්‍ය සුදුසු තැනක් සොයා දීම සඳහාය.

මේ වන විට ගුවන් හමුදා හෙලිකොප්ටර් යවා මුදවා ගැනීමේ රහසිගත මෙහෙයුමක් සැලසුම් කිරීමට නියමිත විය.
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරි ගෲප් කපිතාන් සාගර කොටකදෙණිය විසින් මෙම මෙහෙයුමට යාමට අවශ්‍ය නිලධාරින්ට අනුරාධපුරයට එන්නැයි නියෝග කරන ලදී.

මේ අනුව එම්.අයි. 24 ප්‍රහාරක හෙලිකොප්ටර් භාර අණදෙන නිලධාරි වින්ග් කමාන්ඩර් සම්පත් තුයියකොන්තා සමග නිලධාරින් හයදෙනෙක් හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ සිට අනුරාධපුර කඳවුරට හෙලිකොප්ටරයකින් පැමිණියහ.
මෙම ගමනට අණදෙන නිලධාරියා සමග බලඝන නායක තුෂාර වීරරත්න, පියාසර ලුතිනන්වරුන් වන ජගත් ගුණතිලක, විරාජ් වීරමන්, ප්‍රසන්න ගුණරත්න හා ආසිරි පතිරගේ එක්වී සිටියහ.

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ගිය පසු එතැනින් වව්නියාව ආරක්ෂක සේනා මූලස්ථානයට ගොස් විශේෂ බළකා නිලධාරින් සමග සාකච්ඡා කිරීමට මෙම නිලධාරින්ට උපදෙස් ලැබිණි.
අනුරාධපුරයේ සිට බෙල් 212 හෙලිකොප්ටරයකින් වව්නියාවට පැමිණි මෙම ගුවන් නියමුවෝ වව්නියාවේ මෙහෙයුම් මැදිරියේදී විශේෂ බළකා නිලධාරින් සමග ඉදිරි මෙහෙයුම් සාකච්ඡා කළහ. මෙම මෙහෙයුම සැලසුම් කිරීමට තුන්වන විශේෂ බළකා අණදෙන නිලධාරි මේජර් නිශ්ශංක ඊරියගම, දෙවන අණදෙන නිලධාරි මේජර් කංචන වීරසේකර ඇතුළු නිලධාරීහු එක්ව සිටියහ.

සැරයන් චන්ද්‍රසිරි හමුදා ආරක්ෂක වළල්ලට පැමිණ තිබුණේ කලින් දින රාත්‍රියේදීය. මෙම මෙහෙයුම සැලසුම් කරන විටත් ඉලක්කගත ස්ථානයට කලින් දින පිටත් කළ අටේ කණ්ඩායම ළඟා වෙමින් සිටියහ.
මෙම අටේ කණ්ඩායම සැරයන් ජයකොඩිගේ කණ්ඩායම වෙත ගොස් නිශ්චිත ඉලක්කය ලබා දුන් විගස ගුවන් මෙහෙයුම ඇරඹීමට සැලසුම් කළහ. මෙදින සවස 4.00 වන විට අදාළ අටේ කණ්ඩායම ඉලක්කගත තැනට ගොස් නිශ්චිත තැන ග්‍රිඩ් අංක සිතියම අනුව ලබා දුන්නේය.

ඉතිරි කොටස ලබන සතියට

පසුගිය ලිපි

සතුරු අඩවියේ තුවාල වුණු සගයින් මුදා ගන්නට කොටි කටට රිංගා තනිවම කළ සටනක්

කොටි හඬ සුන් කරන්න ඉලක්ක සොයා දුන් දිගු දුර 08 දෙනාගේ මාරාන්තික ගමන

ගුවන් ප්‍රහාර මැද කොටි කඳවුරක ඔත්තු බලමින් ගත කළ දවසක්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com