master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

හිරුණි දුව බිලිගත් නරුමයන්ට දෙන දඬුවම මොකක්ද?


2018-04-05 11:55:00 -  473 යි

හිරුණි තරුෂිකා අවුරුදු දහතුනක ලස්සන මල් කැකුළක්. ඉගෙන ගත්තෙ තංගල්ල, වීරවිල ගමේ ඉස්කෝ‍ලේ නවය වසරේ. අයියලා දෙන්නකුත්, මල්ලි කෙනකුත් අතරේ පවු‍ලේ එකම කෙල්ල වුණේ හිරුණි. ඒ නිසාම පවු‍ලේ හැමෝම ඇයට හුඟක් ආදරේ කළා. හිරුණිට වයසට වඩා හොඳ පෙනුමක් තිබුණ නිසා ගමේ තරුණයන් හිරුණිගේ රුවට වශීවෙලා හිටියා. ඒත් පුංචි හිරුණි ‍පොත්පත් එක්කම කාලය ගත කළේ අනාගත පැතුම් සිත දරාගෙන.

ඒත් තවත් ටික කලකදී හිරුණිගේ හිතට ආදරයක් ඇතුළු වුණේ ගෙදර කාටවත්ම හොරෙන්. හිරුණිගේ අයියා හමුවෙන්න නිතර ආපු හිච්චා හිරුණිගේ හිතේ මුල්ම ආදර සතිවිල්ල ඇති කළා.

හිච්චාගේ ඇත්තම නම ඒක ‍නෙවෙයි වුණත් ගමේ අය ඔහු හැඳින්වූයේ ඒ නමින්. හිච්චා හැම තිස්සෙම හිරුණිගේ ගෙදර එන්න යන්න ගත්තෙ හිරුණිගේ අයියගේ බයික් එක සල්ලි දීලා ගන්නම ‍නෙවෙයි, හිරුණිගෙ ආදරෙත් උදුර ගන්නයි. ඒක කරගන්න හිච්චට පුළුවන් වුණා.

ඒ වෙනකන්ම අම්මගේ තුරු‍ලේ නිදාගත්ත පුංචි කෙල්ල තනිවම කාමරයක නිදාගන්න අම්මගෙන් අවසර ඉල්ලුවා. අම්මගේ ඇඟේම දැවටෙමින් ‍පොතපත අතේ තියාගෙනම ඉන්න තමන්ගේ දුවගෙ මේ වෙනස්වීම ගැන අම්මා ‍පොඩ්ඩක්වත් සැකයක් හිතුවෙ නැහැ.

හිරුණිගේ තාත්තා මානසික ව්‍යාධියකින් පෙළෙන කෙනකු වූ නිසාම පවුලෙන් වෙන්වෙලා හිටියේ. ඒ නිසා හිරුණිගේ අම්මා හැම තිස්සෙම දුවගේ ආරක්ෂාව ගැන හිතුවා.

මේ අවුරුද්දේ ජනවාරි 10 වැනිදාට එළිවුණේ හිරුණිගේ පවු‍ලේ අයට මූසල දවසක පෙරනිමිති පෙන්වමින්.
දරුවා නවවැනිදා රෑ කිව්වා හෙට ඉස්කෝ‍ලේ යන්නෙ නැහැ අම්මේ කියලා. ඒත් පාන්දර හතරකුත් ගාණට නැගිටලා වෙලාව බැලුවා. මම ඇහුවා ඇයි පුතේ කියලා. ඔළුව කකියනවා කිව්වා. උදේ 10.30ට විතර හිච්චා කියන ළමයා අපේ ගෙදරට ආවා, ලොකු පුතා හම්බවෙන්න. ටික වෙලාවකින් දෙවැනි පුතා විලාප දීගෙන ආවා අම්මේ නංගි වත්ත පහළ කොහොඹ ගහේ එල්ලිලා කියලා. මට අදහගන්න බැරිවුණා.

මෙහෙම කියන්නේ, අඬන්නේ විලාප දෙන්නේ හිරුණිගේ අම්මා. හිරුණි ජීවිතෙන් සමුගන්නකම්ම ගෙදර අයවත් යාළුවොවත් කිසි කෙනෙක් හිරුණිගේ ආදර කතාව දැනගෙන හිටියෙ නැහැ.

දරුවා වත්ත පහළ කොහොඹ ගහේ සාරි ‍පොටකින් එල්ලිලා හිටියා. අපි දැනගෙන හිටියේ නැහැ ඇයි කියලා. අපි සාරි ‍පොට කපලා දරුවව ඉස්පිරිතාලෙට අරගෙන ගියා. යනකොටත් දරුවගේ පපුව වැඩ කරනව මට දැනුණා. ඊට පස්සේ දවස් හතරක් හම්බන්තොට ඉස්පිරිතා‍ලේ දැඩි සත්කාර ඒකකයේ හිටියා. ජනවාරි 4 වැනිදා තමයි මගේ දරුවා මාව දාලා ගියේ. දරුවා ලියුමක් ලියලා තියලා තමයි ජීවිතේ නැති කරගෙන තියෙන්නේ. ඒ ලියුමෙ තිබුණා හිච්චා තවත් යාළුවො දෙන්නෙක් එක්ක දරුවට අතවර කළා කියලා.

තමන්ගේ දරුවකු ගැන අම්මා කෙනෙක්ට අහගෙන ඉන්න බැරි මේ ශෝචනීය කතාව හිරුණිගේ අම්මා දැනගත්තේ හිරුණි ජීවිතේ නැතිකර ගත්ත දවසේ හවස. ඒත් හිරුණි දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරපු වෙලාවෙම ඇගේ ඥාතීන් වීරවිල ‍පොලිසියට හිරුණි ලියපු අන්තිම ලියුම ඉදිරිපත් කළා.

මෙතැන ඉඳලා අපට කරුණු කියන්නේ හිරුණි වෙනුවෙන් අධිකරණය හමුවේ සාධාරණය ඉල්ලන නීතිඥ නිලානි මන්ත්‍රීනායක මහත්මිය.

හිරුණි කියන්නේ බාලවයස්කාර දැරියක්. මේ හිච්චා කියා හඳුන්වන පිරිමි ළමයයි තවත් දෙන්නෙකුයි මේ ගෑනු ළමයා රවට්ටලා ගෙදරින් එළියට අරන් ගිහින් දූෂණය කරලා තියෙනවා. ඒ බව ළමයා අවසානයට ලියපු ලියුමෙන් සනාථ වෙනවා. හිරුණි කොහොඹ ගහේ එල්ලිලා විනාඩි විස්සක් ඇතුළත ඇය ලියපු ලියුම ඥාතීන්ට හමුවෙලා තිබෙනවා. ඔවුන් එය වීරවිල ‍පොලිසියට ඉදිරිපත් කළා. නමුත් වීරවිල ‍පොලිසිය මේ පිළිබඳ අධිකරණ වෛද්‍යවරයා දැනුවත් කළේ නැහැ.

මේ හිච්චා සහ අනෙකුත් සැකකරුවන් ප්‍රදේශයේ අනවසර වැලි ගොඩදාන පිරිසක්. මොවුන් අතේ යහමින් මුදල් ගැවසෙනවා. යම්කිසි හේතුවක් නිසාම හිරුණිගේ මරණය පිළිබඳ පැමිණිල්ලට වීරවිල ‍පොලිසිය ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ නිසාම හිරුණිගේ මරණය වෙනුවෙන් පෙනී සිටින ගුණසෝම වික්‍රමසිංහ, සුනිල් ගුණසේකර සහ පී.ඒ. ජයසිරි යන නීතිඥ මහත්වරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා මේ නඩුව පිළිබඳ පරීක්ෂණ රහස් ‍පොලිසියට පවරන ලෙසයි.

උසාවි නියෝගයකට අනුව දැන් පරීක්ෂණ ඉදිරියට ගෙන යනු ලබන්නේ තංගල්ල ‍පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය. තංගල්ල ‍පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ අධීක්ෂණය යටතේ ළමා හා කාන්තා කාර්යාංශයේ ‍පොලිස් පරීක්ෂක ලක්මාලි කොඩිතුවක්කු මහත්මිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

මම මැරුණේ හිච්චා, සමිත්, ළහිරු නිසයි. හිච්චා මගේ ජීවිතේ විනාශ කළා. සමිත්, ළහිරු දෙන්නත් මගේ ජීවිතේ විනාශ කළා. ඒ අයගෙන් මට ගැලවිල්ලක් තිබුණේ නැහැ. ජීවත්වෙලා හිටියොත් මගේ පවු‍ලේ අයට ලෝකෙට මුහුණ දෙන්න බැරි වෙනවා.

හිරුණි එයාගේ අන්තිම ලියුමේ එහෙම ලිව්වෙ හදවතේ දුක් ගොන්නක් පුරවාගෙන.
හිච්චා හිරුණිගේ අයියාට දුන්න දුරකථන ඇමතුමක් මේ දෙන්නගේ සම්බන්ධය පටන්ගන්න මූලික වෙලා තියෙනවා. මේ ළමයා ලස්සන ගෑනු ළමයෙක්. ඒ නිසාම මේ පිරිමි ළමයි තුන්දෙනා උපක්‍රමිකව මේ අපරාධය සිදුකර ඇති බව පෙනී යනවා. හිරුණි සහ හිච්චා අතර සම්බන්ධයක් තිබූ බවට කිසිදු සාක්ෂියක් ඉතුරු කරලා නැහැ. කිසි කෙනෙක් දන්නෙත් නැහැ.

හිරුණි අවසානයට ලියපු ලියුම සහ අධිකරණ වෛද්‍ය වාර්තාවට අනුව අපි පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. අධිකරණ වෛද්‍ය නිලධාරියා පැහැදිලිව වාර්තාව දීලා තිබෙනවා මෑතකදී සිදුවූ ලිංගික ප්‍රවේශයක් තිබෙන නිසා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකළ යුතු බවට.

අදටත් හිතාගන්න බැරි එකම දේ මේ ගෑනු ළමයා කොහොමද ගෙදරින් එළියට ගියේ කියන එක. ගෑනු ළමයා දුරකථනයක් පාවිච්චි කරලා නැහැ. සැකකාර පිරිමි ළමයා සහ අනෙක් ළමයින්ගේ දුරකථන දත්තවල කිසිදු සැක කටයුතු සංවාදයක් නැහැ. සැකකරුවන් ඉතා සූක්ෂ්ම ලෙස මෙය සැලසුම් කර තිබෙනවා. අපේ එකම පරීක්ෂාව ඩී.එන්.ඒ. වාර්තාවයි.

‍පොලිස් පරීක්ෂණවලදී හිච්චා සහ අනෙකුත් සැකකරුවන්ගේ සාක්ෂි පරස්පරයි. නමුත් හිරුණි සමග සම්බන්ධයක් තිබූ බවට ඔවුන් පිළිගන්නේ නැහැ.

මේ සිද්ධිය ගැන ‍පොලිස් පරීක්ෂක ලක්මාලි කොඩිතුවක්කු මහත්මිය එසේ අදහස් දැක්වූවා.
හඬා වැලපෙමින් හිරුණිගේ මව අපට කරුණු කිව්වේ මේ විදිහටයි.

මොන දේ වුණත් මගේ දරුවා ආයෙත් මගේ ළඟට එන්නෙ නැහැ. නඩුව වෙලාවේදි සැකකරුවන්ගේ පාර්ශ්වයේ අය අපිට තර්ජනය කරනවා. මම කියන්න කැමතියි මටත්, මගේ දරුවා නැතිවුණේ දුප්පත් අපට ඇයි මෙහෙම වෙන්නේ? බලපුළුවන්කාරකමින් වැරැද්ද යටපත් කරන්න හදන්නේ ඇයි? මම ඉල්ලනවා හැමෝගෙන්ම මගේ දරුවගේ මරණය වගේ තවත් දරුවකුට සිදු නොවෙන්න නම් මේ සැකකරුවන්ට නිසි දඬුවම් දෙන්න කියලා.
හිරුණි එයාගේ අවසන් ලියුමෙ මෙහෙම ලිව්වා.

මම මගේ පවු‍ලේ අයට නෑදෑයන්ට ගොඩක් ආදරෙයි. මම ඉස්කෝ‍ලේ ශිෂ්‍ය නායිකාවක් වෙන්න හිටියේ. කවදා හරි ‍පොලිසියට බැඳිලා ජීවිතේ ලස්සන කරගන්න හිටියේ. මගේ හීනේ නැතිවුණා.

හීන ගොන්නක් හිත දරාගෙන හිටි අහිංසක මල් කැකුළක් අකාලයේ පරව ගියේ පාපතරයන් තුන්දෙනකුගේ ගොදුරක් වීමෙන් පසුවයි. ඔබයි, මමයි හිරුණි ගැන කතා කරන අතරතුරෙත් මෙවැනි අපරාධ රැසක් සමාජයේ සිදුවෙනවා. ඒ හුඟක් සිද්ධීන් කාලයේ වැලි තලාවෙන් වැසී යන්නේ මුදල්වල බලයෙන්. අප මෙවන් සිද්ධීන් ඔබට හෙළි කරන්නේ හෙට දිනයේ ඊට මුහුණ දෙන්නේ ඔබේ දරුවා විය හැකි නිසයි.

හිරුණි වගේම අහිංසක බාලවයස්කාර දැරියන් ගොදුරු බවට පත්කර ගැනීමට මාන බලන අපරාධකාරයන් සමාජයේ කොතෙකුත් සිටිය හැකිය. එවන් පාපතරයන්ගෙන් දරුවන් ආරක්ෂා කරගැනීම ‍පොලිසියේ සහ බලධාරීන්ගේ වගකීමක් පමණක්ම නොවේ. එය ඔබේද වගකීමක්.

නෙරංජලා වික්‍රමසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com