master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

උදයංග ලංකාවට දෙන්න ඩුබායි මෙච්චර ඇඹරෙන්නෙ ඇයි?


2018-04-02 10:52:32 -  466 යි

උදයංග වීරතුංගයැයි කී විට දැන් රටේ නොදන්නා අයෙකු නැති තරම්ය. ඒ තරමටම අපේ රටේ නිරන්තරයෙන් කියැවෙන නමක් බවට උදයංග වීරතුංග පත්වී හමාරය. දේශපාලන වේදිකාවේ පවා උදයංගේ නම නොකියැවෙන අවස්ථාවක් නැති තරම්ය. ඇතැම් දේශපාලනඥයන් හීනෙන් පවා කියවන්නේ උදයංගගේ නම විය හැකිය. ඒ තරමටම උදයංගගේ නම මුමුණන දේශපාලනඥයෝ සිටිති.

අපේ රටේ ඇතැමුන්ට අවශ්‍යව ඇත්තේ උදයංගව කුදලාගෙන මෙරටට ගෙනවිත් ඔහු මගින් වෙනත් දෙයක් කරවා ගන්නටය. එය සමාජ භාෂාවෙන් කියතොත් දේශපාලන ගේමකි. ආණ්ඩු පෙරළියත් සමග උදයංග මෙරටට පය නොතබා රටින් රට යමින් කට්ටි පනිමින් සිටින්නේ ඒ ගැන හොඳාකාරවම දන්නා බැවිනි. ඒ ඔහුත් හොඳ ගේම්කාරයකු වන නිසා වන්නට පුළුවන.

උදයංග වීරතුංග ගැන නැවතත් මෙවන් සටහනක් තබන්නට සිදුවන්නේ ඔහුව නැවතත් ඩුබායිහි දී අත්අඩංගුවට ගෙන ඇති බැවිනි. මෙවර ඔහු අත්අඩංගුවට ගන්නේ ඩුබායි ‍පොලිසිය විසින්ය. ඒ පසුගිය 25 වෙනිදාය. ඊට පෙර ඔහුව අත්අඩංගුවට ගන්නේ පෙබරවාරි 04 වෙනිදාය. ඒ ඩුබායි හි ආගමන විගමන බලධාරීන්ය. ඒ ඩුබායි සිට ඇමෙරිකාවට යාමට සූදානම් වන විටදීය. එදා ඔහු අත්අඩංගුවට ගැනීම කන වැකීමත් සමග මෙරට බලධාරීන් ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට ගත්තේ දැඩි උත්සාහයකි. අපේ රටෙන් විශේෂ දූත කණ්ඩායමක් පවා ඔහුව ගෙන්නා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවන් පැවැත්වීමට පවා ඩුබායි  ගියේය. ‍පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, විදෙස් කටයුතු අමාත්‍යාංශය සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේද නිලධාරීන්ගෙන් සැදුම්ලත් එම දූත පිරිසට එදා උදයංග මෙරටට ගෙන්වා ගැනීමට තබා උදයංග කළුද සුදුදැයිවත් දැක බලා ගන්නට ඉඩක් නොවීය. ඒ අපේ රටේ දූත කණ්ඩායම එහි යන විටත් උදයංගව නිදහස් කර යවා තිබුණු බැවිනි.

උදයංගව එසේ ඩුබායි ගුවන්තොටු‍පොළේදි ඩුබායි ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගන්නේ ඔහුට එරෙහිව ජාත්‍යන්තර ‍පොලිසිය මගින් නිකුත් කර ඇති නිල් නිවේදනයකට අනුවය. එකී නිල් නිවේදනය නිකුත් කර ඇත්තේ ඔහු භාවිත කරන මෙරට විදෙස් ගමන් බලපත්‍රය අවලංගු කර ඇති බැවින් සහ මිග් යානා මිලදී ගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වන නඩු විභාගයකට පෙනී නොසිටීම නිසාය. උදයංග වීරතුංගත් ලෝකය කා වතුර බිවූ අයෙකු වූ නිසාම එකී චෝදනාවලට ඩුබායි බලධාරීන්ට කරුණු දක්වමින් නිදහස ලැබූවත් ඇමෙරිකාවට යන්නට නම් ඔහුට ඉඩක් නොවීය. ඒ ඩුබායි බලධාරීන් ඔහු සතුව තිබුණු විදෙස් ගමන් බලපත්‍රය සිය භාරයට ගනිමින් රටින් පිටවීම තහනම් කිරීම නිසාය. උදයංගට එදා නිදහස ලැබෙන්නේද ඔහුගේ ඇඟිලි සටහන් ඇස් සටහන් ද ආරක්ෂක අංශ භාරයට ගැනීමෙන් අනතුරුවය. එහිදී ඔහුගේ ජංගම දුරකථන අංකයද ආරක්ෂක අංශ ලබාගත්තේ තාවකාලිකව නවාතැන් ගෙන සිටින තට්ටු නිවාස සංකීර්ණයේ නිවසින් දැනුම් දීමකින් තොරව ඉවත් නොවන ලෙස නියෝගයක්ද කරමිනි.

ඩුබායි ආගමන විගමන බලධාරීන්ගේ අත්අඩංගුවෙන් එසේ නිදහස ලැබූ උදයංග මෙරට මාධ්‍යයට කතාකර පැවසුවේ තමන් දැන් නිදහස ලබා ඇති බවය. එහෙත් ඒ නිදහස වැඩි කාලයක් ඔහුට භුක්ති විඳීමට ඉඩක් නොවීය. ඔහුට එරෙහිව ජාත්‍යන්තර ‍පොලිසියෙන් රතු නිවේදනයක් ලබා ගන්නා මෙරට බලධාරීන් එය ඩුබායි බලධාරීන් අතට පත්කරන්නේ අධිකරණයෙන් ඔහුට එරෙහිව නිකුත් කළ දුටු තැන අත්අඩංගුවට ගැනීමේ විවෘත වරෙන්තුවක්ද සමගිනි.

එකී වරෙන්තුව ජාත්‍යන්තර ‍පොලිසිය හරහා ඩුබායිහි පිහිටි ජාත්‍යන්තර ‍පොලිස් ශාඛාවට ලැබෙන විට එරට ‍පොලිසිය උදයංගව සොයා ඔහු පදිංචිව සිටි තට්ටු නිවාස සංකීර්ණය වෙත යන විට ඔහු සිටින්නේ අතුරුදන්වය. ජංගම දුරකථනය පවා ඒ වන විට තිබෙන්නේ අක්‍රියවය. ඒ ගැන සැකයක් ඇතිකර ගන්නා ඩුබායි ‍පොලිසිය උදයංග පස්සෙන් පන්නන්නට ගත් බව සඳහන්ය. දින ගණනාවකින් පසුව උදයංගව 25 වෙනිදා අත්අඩංගුවට ගත්තද එරට බලධාරීන් ඒ ගැන වචනයක්වත් මෙරටට දැනුම් දුන්නේ නැත.

ඒ වන විට උදයංග සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීමට එරට නීතිඥ සමාගමක සහාය පවා විදේශ කටයුතු අමාත්‍යාංශය ලබාගෙන තිබුණේය. ඒ එක්සත් එමීර් රාජ්‍යයේ පිහිටි අපේ රටේ තානාපති කාර්යාලය හරහාය. උදයංගව අත්අඩංගුවට ගැනීම පිටුපස ඒ අයද සිටියෝය. උදයංග අත්අඩංගුවට ගත් සැණින් ඒ බව මෙරට බලධාරීන් දැනුවත් කරන්නේ එම නීතිඥ සමාගම විසිනි.

ඒත් සමගින් අපේ රටේ බලධාරීහු උදයංගව මෙරටට ලබාගැනීමට රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් දියත් කළහ. එසේ වුවත් ඔවුන් කිසිදු විටෙක උදයංගව අත්අඩංගුවට ගත් බවට කිසිදු නිල දැනුම් දීමක් අපේ රටට කරන්නට සූදානමක් නොවීය. ජාත්‍යන්තර ‍පොලිසිය මගින් උදයංගගේ අත්අඩංගුවට ගැනීම තහවුරු කර ගැනීමට උත්සාහයක් ගන්නේ ඉන් අනතුරුවය. දින ගණනාවකට පසුව ජාත්‍යන්තර ‍පොලිසියෙන් ඊට පිළිතුරක් ලැබෙන්නේ ඉකුත් 27 වෙනිදාය. ඒ උදයංගව අත්අඩංගුවට ගෙන ඇති බවය.

ඒ යැයි කියා උදයංගව අපේ රටට භාරදෙනවා යැයි ඩුබායි බලධාරීන් පවසන්නේ නැත. උදයංගත් තමාගේ පැත්තෙන් එරට ‍පොලිසියට මේ වන විටත් කරුණු දක්වා හමාරය. එබැවින් දැන් ඩුබායි බලධාරීන්ට උදයංගව මෙරටට භාරදෙනවාද නැතිනම් නිදහස් කරනවාදැයි කියා තීරණයක් ගැනීමට නොහැකිව දෙලොවක් අතර තනිවී හමාරය. ඒ අතර උදයංග වෙනුවෙන් රුසියාවද පෙනී සිටින බවට තහවුරු නොවූ තොරතුරුද වාර්තා වන්නට ගත්තේය. ඒ උදයංගට රුසියාව සමග ඇති රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධකම් බලවත් නිසාය. මේ තත්ත්වය මත නැවතත් උදයංග නිදහස් වීමේ ප්‍රතිශතය ඉහළ ගොස් හමාරය. එහෙත් මෙරට බලධාරීන් දැඩි උත්සාහයක නිරතවන්නේ උදයංගව කෙසේ හෝ මෙරටට ගෙන්වාගෙන මිග් යානා මිලදී ගැනීම් සම්බන්ධයේ වූ නඩුවට ඉදිරිපත් කිරීමටය.

ගයාන් කුමාර වීරසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com