master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සතුරු අඩවියේ තුවාල වුණු සගයින් මුදා ගන්නට කොටි කටට රිංගා තනිවම කළ සටනක්


2018-04-02 10:27:04 -  2453 යි

හමුදා සේනාංක තුනක් වන්නි කොටි බලකොටුව ආක්‍රමණය කරමින් තිබිණි. ඒ 2008 ජුනි මාසයේය.
බ්‍රිගේඩියර් ෂවේන්ද්‍ර සිල්වා යටතේ වූ 58 වන සේනාංකය යෝධ වැව දෙසින් ඉදිරියට ඇදිණි. මේජර් ජෙනරාල් ජගත් ඩයස් යටතේ වන 57 වන සේනාංකය තම්පනේ දෙසින් ද මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත යටතේ වූ 59 වන සේනාංකය වැලිඔය දෙසින් ද ඉදිරියට ඇදෙමින් තිබිණි.

යුද හමුදා විශේෂ බළකායේ දිගු දුර විහිදුම් ඒකකය වෙත පැවරුණේ කොටි බලකොටුවේ වූ ප්‍රධාන ඉලක්ක සොයා ගොස් පහර දීමය. කොටි බලකොටු අතරට රිංගා කොටි නායකයින් ගමන් ගන්නා වාහන, කොටින්ගේ කාලතුවක්කු ස්ථාන ගත කර ඇති ස්ථාන ඇතුළු මර්මස්ථාන වෙත අබිරහස් ප්‍රහාර එල්ල කරන්නට හැකි වූයේ දිගුදුර විහිදුම් බළකායේ විරුවන් කළ කැප කිරීම් නිසාය. මේ ප්‍රහාර නිසාම කොටි නායකයන් භීතියෙන් ඇළලී ගොස් සිටියේය.

මෙවර ඉලක්කය ද සුවිශේෂී එකක් විය. දින දාහතරක ක්‍රියාන්විතයක් සඳහා සැරයන් ජයකොඩි යටතේ සුවිශේෂී පුහුණුව ලත් විශේෂ බළකා අටේ කණ්ඩායමක් සූදානම් විය. මෙහෙයුමට අවශ්‍ය කෑම බිම, අවි ආයුධ, ක්‍ලේමෝ බෝම්බවලින් සන්නද්ධ වූ මෙම කණ්ඩායම කොටි ආරක්ෂක වළල්‍ලේ තෝරා ගත් තැනකින් කොටි බළකොටුව තුළට හොර රහසේ රිංගා ගත්හ.

සැබැවින්ම මෙම සෙබළුන් පාවෙන අවි ගබඩා මෙන් විය. ඕනෑම අවස්ථාවකට මුහුණදීමට හැකි සියලු දෙයින් මොවුන් අංග සම්පූර්ණ විය. කිලෝග්‍රෑම් හතළිහකට වඩා වැඩි බරක් දරාගෙන කොටින්ගේ ආරක්ෂක වළල්ල තුළින් උපක්‍රමශීලීව ඇතුළට රිංගන්නට වූහ.

පුනරීන්-මන්නාරම මාර්ගයේ කිලෝමීටර් විස්සකට එහායින් වූ ඉලක්කයක් සොයා ක්‍රම ක්‍රමයෙන් මෙම පිරිස ඉදිරියට පැමිණෙන්නට වූහ.

ඉලක්කය සොයා පැමිණි මෙම කණ්ඩායම මාර්ගයක් අසලදී ක්‍ලේමෝ බෝම්බයක් පුපුරුවා හැර ඉලක්කය සපුරා ගැනීමට සූදානම් වූහ. මේ වන විට කොටි බළකොටුවට රිංගා දසවැනි දිනය උදා විය. මෙදින දවස පුරාම කණ්ඩායමේ දෙනෙත් යොමුව තිබුණේ මාර්ගය දිගේ පැමිණීමට නියමිත කොටි නායකයකුගේ වාහනයක් වෙතය. වේලාව සවස 5.00ට පමණ විය. මේ වන විට ඉලක්කය සපුරා ගැනීම සඳහා ක්‍ලේමෝ බෝම්බ සියල්ල සකස් කර තිබිණි.

කරන්නට තිබුණේ ඉලක්කය තහවුරු කළ විගස ස්විචය ඔබා ක්‍ලේමෝ බෝම්බ වැල පුපුරුවා හැරීමය. හරියටම සවස 5.30ට පමණ කැබ් රථය ඉලක්කය වෙත පැමිණෙමින් තිබිණි. මාර්ගය දිගේ පැමිණි කැබ් රථය ගැන මාර්ගය අසල ඉලක්කය තහවුරු කිරීමට සිටි විශේෂ බළකා සගයාගෙන් ලද සංඥාවක් සමග බෝම්බ වැල පුපුරුවා හැරිණි.
කැබ් රථය පුපුරුවා හැරීමත් සමග සැරයන් ජයකොඩි ඇතුළු කණ්ඩායම යළිත් උපක්‍රමශීලී ලෙස පසුබසින්නට වූහ.

පසුබසිමින් සිටි මෙම අටේ කණ්ඩායම පාලම්පිඩ්ඩි මාර්ගය රාත්‍රි කාලයේදීම පැන ගෙන හමුදා පාලන ප්‍රදේශයට එන්නට උත්සාහය කළ ද කොටි ත්‍රස්තවාදී කණ්ඩායමක් මාර්ගය ආවරණය කරමින් නොසිතූ මොහොතක ප්‍රහාරයක් එල්ල කළහ.

සතුරාගේ ප්‍රහාරවලට තමන් සතු උපරිම වෙඩි බලය යොදවා ප්‍රතිප්‍රහාර එල්ල කරමින්ම මෙම කණ්ඩායම එතැනින් පැන ගත්හ. විශේෂ බළකා විරුවන්ගේ වෙඩි බලයට ත්‍රස්තවාදීන්ට මුහුණ දීම අසීරු විය.

මෙම බාධකය පැනගත් කණ්ඩායම ටික දුරක් ඉදිරියට එද්දී තම කණ්ඩායමේ එක් සගයකු අඩු බව තේරුම් ගියේය. කෙතරම් ප්‍රහාර එල්ල වුවත් තම සගයකු සතුරු භූමියේ දමා නොයාම දිගු දුර මෙහෙයුම් කණ්ඩායම්වල පුරුද්දය.
කෝප්‍රල් චන්දන තම කණ්ඩායමේ නොමැති බව දැනගත් සැරයන් ජයකොඩිගේ කණ්ඩායම නැවතත් සතුරු ප්‍රහාරය එල්ල වූ තැන වෙත ළඟා වූහ. යළිත් සතුරු ප්‍රහාරයක් මෙම කණ්ඩායමට එල්ල වුවද අධිෂ්ඨානයෙන් තම අරමුණ කරා ගිය මෙම අටේ කණ්ඩායම සතුරාට ප්‍රතිප්‍රහාර එල්ල කරමින්ම තම සගයා සොයන්නට වූහ.

මෙම කණ්ඩායම පාලම්පිඩ්ඩි මාර්ගය පැනගත් ප්‍රදේශය පීරද්දී වෙඩි වැදී බිම වැටී සිටි චන්දනව හමු විය. තුඹසක් අසල වැටී සිටි කෝප්‍රල් චන්දනගේ පපුවට වෙඩි පහරක් වැදී තිබිණි. මේ වන විටත් කොටි ත්‍රස්තයන් හා විශේෂ බළකා භටයින් අතර වෙඩි හුවමාරුව සිදුවිණි.

වෙඩි වැදී වැටී සිටි චන්දනගේ අවසන් හුස්ම ‍පොද වැටී ඇතැයි තේරුණ ද තම සගයා කෙසේ හෝ ප්‍රහාරය මැද්දේ රැගෙන යාමට සිතා ගත් ජයකොඩි චන්දනගේ සිරුර ඔසවා ගෙන යාමට උත්සාහ කරද්දීම යළිත් වෙඩි ප්‍රහාරයක් එල්ල විණි. එයින් නික්මුණු සතුරු උණ්ඩයක් ජයකොඩිගේ කලව දෙසට වැදී තුවාල විය. මේ නිසා චන්දනව ඔසවාගෙන පසුබැසීම අසීරු විය.

සටන් පැවති ප්‍රදේශයේදීම චන්දනගේ සිරුර ආරක්ෂිතව හංගා නැවත පැමිණ රැගෙන යාමට සිතූ මෙම කණ්ඩායම චන්දනගේ ගමන් මල්‍ලේ වූ සියලු අවි ආයුධ තමන් අතට ගෙන සිරුර පඳුරක් අස්සේ සතුරාට නොපෙනෙන්නට සැඟවූයේය. සිරුර සැඟවූ තැන ජී.පී.එස්. යන්ත්‍රයේ ලකුණු කර ගත්තේය.

මීළඟට ඉතිරි වූ හත්දෙනා යළිත් හමුදා පාලන ප්‍රදේශයට පසුබසින්නට වූහ. මේ වන විට කොටි ත්‍රස්තයන් කඩි ගුලක් මෙන් ඇවිස්සී සෝදිසි මෙහෙයුම් කරන්නට වූහ. කොටි ත්‍රස්තයන් කැලෑ පීරද්දී හත්දෙනාගේ කණ්ඩායම පසුබසින්නට වූහ.

මේ වන විට සැරයන් ජයකොඩිගේ කලවට එල්ල වූ ප්‍රහාරයෙන් අධික ලෙස රුධිරය වහනය වන්නට විය. ජයකොඩිට ඇවිද ගැනීම ද අසීරු විය. මෙම කාලසීමාව දැඩි පෑවිල්ලක් තිබූ නිසා මෙම කණ්ඩායමේ පතිරණට විජලන තත්ත්වයක් ඇති විය.

අතරමගදී කොටි ත්‍රස්තයන්ගේ තවත් සෝදිසි මෙහෙයුමකට මෙම කණ්ඩායම මැදි විය. එහිදී එල්ල වූ ප්‍රහාරයෙන් හත්දෙනාගේ කණ්ඩායම දෙපැත්තකට කැඩී ගියේය. සැරයන් ජයකොඩි, සැරයන් චන්ද්‍රසිරි, කෝප්‍රල් පතිරණ හා පුෂ්පකුමාර එක් කණ්ඩායමකට බෙදිණි.

කෝප්‍රල් ප්‍රියන්ත ඇතුළු අනෙක් තිදෙනා තවත් පැත්තකට ගමන් කරන්නට වූහ. මේ වන විට පණිවුඩ හුවමාරු යන්ත්‍ර ක්‍රියාත්මක නොවීම නිසා මෙම කණ්ඩායම් දෙකට යළි එක්වීමට නොහැකි විය. කෙසේ නමුත් අවසාන ඉලක්කය වූ හමුදා ඉදිරි ආරක්ෂක වළල්ල වෙත යාමේ අදිටන මොවුන්ට විය.

සිද්ධිය වී දෙවැනි දිනයේ කොටි ත්‍රස්තයන් තම ආරක්ෂක වළල්ල දෙසින් සෝදිසි මෙහෙයුම් ඇරඹීය.
මේ සමග සැරයන් ජයකොඩිගේ හතරේ කණ්ඩායම තවත් අසීරු අභියෝගයකට මුහුණ දුන්හ.

මෙම කණ්ඩායම රැඳී සිටි තැන එක පැත්තකින් විවෘත භූමියක් විය. අනෙක් පසින් කැලෑ කොටසක් විය. සෝදිසි මෙහෙයුමක් කරමින් ඉදිරියට ආ කොටි ත්‍රස්තයන් මෙම හතරේ කණ්ඩායම සිටි පඳුරු සහිත ප්‍රදේශයට ඉතාම ආසන්නයට පැමිණෙමින් සිටියහ.

මේ වන විට ජයකොඩි හා පතිරණ ඇවිද ගැනීමට අසීරු තත්ත්වයක සිටියහ.
මෙතැන හතර දෙනා හිටියොත් හතර දෙනාම කොටු වෙනවා. අපි දෙන්නා මෙතැන ඉන්නම්. ඔය දෙන්නා පැන ගන්න යැයි සැරයන් ජයකොඩි හා පතිරණ අනෙක් සගයන් දෙදෙනාට කීවේය. එහෙත් එකට සිටි සගයන් දමා යාම සැරයන් චන්ද්‍රසිරි හා පුෂ්පකුමාර ප්‍රතික්ෂේප කළේය.

මෙතැන හිටියොත් හතර දෙනාම මැරෙනවා. ඔය දෙන්නා ඉක්මනට මෙතැනින් යන්න. ෆයර් එකක් ගියොත් අපිව බලන්න එපා. අපි මරාගෙන මැරෙනවා යැයි කියූ සැරයන් ජයකොඩි හා පතිරණ තම ගමන් මලු තුළ වූ අත් බෝම්බ දෙකක් ද අත්වලට ගත්තේය. ඒ යම් හෙයකින් සතුරාට කොටු වුවහොත් පුපුරුවාගෙන මරාගෙන මැරීමටය.
එතැනින් පසු බැසගත් චන්ද්‍රසිරි හා පුෂ්පකුමාර එහාට වන්නට සැඟවී සතුරාගෙන් තම සගයන් දෙදෙනා බේරාගැනීමට සැලසුම් කළහ.

මේ අතරේ සෝදිසි මෙහෙයුමේ නිරතව ආ කොටි ත්‍රස්තයන් ජයකොඩි හා පතිරණ සිටි පඳුර ළඟටම ආවද ඔවුන්ව නිරීක්ෂණය නොවීය. පරිසරයට ආවේණික අයුරින් කැලෑ ඇඳුම්වලින් වෙස් වළාගෙන සිටි මෙම දෙදෙනාව හඳුනා ගත නොහැකි විය.

ටික වේලාවක් ගත වූ පසුව ශබ්දයක් නොවූයෙන් චන්ද්‍රසිරි හා පුෂ්පකුමාර යළිත් තම සගයන් සිටි දෙසට ළං වූහ. සතුරා එතැනින් නික්ම ගොස් සිටි නිසා මෙම සිව්දෙනා යළිත් එකට එක් වූහ. මෙම මෙහෙයුමට පැමිණි අටේ කණ්ඩායම සතු පණිවුඩ හුවමාරු යන්ත්‍රය තිබුණේ කෝප්‍රල් ප්‍රියන්ත සන්තකයේය. ප්‍රියන්තගේ කණ්ඩායමට වූ දෙයක් නොවූ නිසා හමුදා ආරක්ෂක වළල්ල සමග පණිවුඩ හුවමාරු කර සහායට කණ්ඩායමක්වත් ගෙන්වා ගැනීමට විදිහක් නොවීය.

දෙදෙනකුට ගමන් ගත නොහැකි තත්ත්වයේ වූ නිසා සෝදිසි මෙහෙයුම් වන සතුරු භූමියෙන් පසුබැසීම ද අසීරු විය.
හරි මම තනියම අපේ ලයින් එකට ගිහින් අපේ ටීම් එකක් අරන් එන්නම්. යැයි කියා සැරයන් චන්ද්‍රසිරි ඉදිරිපත් විය.
හරි ඔයා ලයින් එකට යන්න. අපි මේ 24, 25 (ජුනි) බලනවා. එතැනින් එහාට ආයේ එන්නෙ නැහැ කියලා හිතනවා. බැරි වෙලාවත් කොටින්ට කොටු වුණොත් අපි ජීවිතේ නැති කර ගන්නවා. නැතිනම් අපි මෙතැනම ඉන්නවා. යැයි සැරයන් ජයකොඩි හා පතිරණ තම සගයාට කීය. මෙම දෙදෙනාගේ ආරක්ෂාවට පුෂ්පකුමාර එහි රැඳුණේය.

තම සගයන් බේරාගැනීම සඳහා සහායක කණ්ඩායමක් රැගෙන ඒමේ උදාර අරමුණෙන් කොටි බලකොටුව දෙසින් හමුදා ආරක්ෂක වළල්ල දෙසට ගමන් ගත් චන්ද්‍රසිරි නැවතත් සතුරු ප්‍රහාරයකට මැදි වූයේය. ඒ තවත් මාර්ගයක් හරහා පැනීමට ගිය මොහොතේදීය.

මෙහිදී තම දකුණු අතට එල්ල වූ වෙඩි ප්‍රහාරයත් කාගෙනම ඉතිරි දුර ගෙවාගෙන ඉදිරියට ආ මෙම නිර්භීත භටයා හමුදා ආරක්ෂක වළල්ල තුළට රිංගා ගත්තේය. එසැණින් තම නිලධාරින් දැනුවත් කර කොටි බලකොටුවේ රැඳී සිටින ඉතිරි සගයන් මුදා ගැනීමට අවශ්‍ය තොරතුරු ලබා දුන්නේය.

මෙදිනම සැරයන් ජයකොඩිගේ කණ්ඩායමෙන් කැඩී ගිය කෝප්‍රල් ප්‍රියන්ත ඇතුළු තිදෙනා හමුදා ආරක්ෂක වළල්ල වෙත ළඟා වූහ.

මීළඟට ඉතිරිව තිබුණේ සැරයන් ජයකොඩි, කෝප්‍රල් පතිරණ හා පුෂ්පකුමාර මුදා ගැනීමේ අභියෝගය ය. කොටි පාලන ප්‍රදේශයේ දිගින් දිගටම කොටි ත්‍රස්තයන් කැලඹීමක් මෙන් සෝදිසි මෙහෙයුම් අරඹා තිබුණු නිසා ගුවන් මගින් ගොස් මෙම කණ්ඩායම මුදා ගැනීමට තීරණය විය.

කොටු වූ සගයන් තිදෙනා මුදාගත් මෙහෙයුම
ලබන සතියට

පසුගිය ලිපි
කොටි හඬ සුන් කරන්න ඉලක්ක සොයා දුන් දිගු දුර 08 දෙනාගේ මාරාන්තික ගමන

ගුවන් ප්‍රහාර මැද කොටි කඳවුරක ඔත්තු බලමින් ගත කළ දවසක්

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com