master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඩුබායි ඉඳන් ‍පොලිසිය හොල්ලන මධුෂ්ට දෙන බෙහෙත පොලිස් කමාන්ඩෝ ලොක්කා කියයි


2018-03-25 10:26:23 -  3610 යි

දිනෙන් දින හිස ඔසවන පාතාල ලෝකයේ ලෙයට ලෙය පළිගන්නා ඝාතන රැල්ලක් රට පුරා ව්‍යාප්ත වීමත් සමග රටම පාතාල භීෂණයෙන් වෙළීගොස් හමාරය. ‍පොලිස් දිනය සමරන දිනයේත් රාජ්‍ය ඔත්තු සේවාවේ ‍පොලිස් කොස්තාපල්වරයකුද වෙඩි කන්නේ එවන් භීෂණයක් පැවතියදීය. ඉඩම් ආරවුලක් මූලික වුවද, මෙයද පාතාල ක්‍රියා අතරේ වූ සිදුවීමකි.

එම භීෂණය අතරේ ඩුබායි හි රැඳී සිටිමින් මෙරට පාතාලයේ ගෝඩ් ෆාදර් වන්නට වෙර දරන දකුණේ පාතාල නායක මාකඳුරේ මධුෂ් ‍පොලිස් නිලධාරින්ට අභියෝග කරමින් මරණ තර්ජන කරන්නටද වූයේ ය. ‍පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ ලොක්කන්ට පවා අභියෝග කරමින් මාකඳුරේ මධුෂ් මෙසේ තර්ජනය කරන්නට පටන් ගත්තේ තමාගේ ළඟම සාමාජිකයන් කොටුකරන මොහොතේ ය.

ආසන්නතම සිද්ධිය වාර්තා වන්නේ කටුවන ‍පොලිසියෙනි. කඹුරුපිටිය, ගතාර ප්‍රදේශයේ වූ මාකඳුරේ මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවසේ සිටියදී මධුෂ්ගේ පාතාලයේ සාමාජිකයන් සිව් දෙනකු කඹුරුපිටිය ‍පොලිසියට කොටුවන්නේ ඉකුත් 17 දාය. කඹුරුපිටිය ‍පොලිස් ස්ථානාධිපති ඕ. යූ. ජයශාන්ත මහතාට ලද ඔත්තුවක් මත මෙකී පාතාලයන් සිව් දෙනා කොටු කර ගත්තේ ය.

මෙම සිව් දෙනා ගතාරට ගෙන්වා තිබුණේ මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවස ඉදිරිපිටට පැමිණි මධුෂ්ගේ ඥාතියකු හට අඩෝ මම කාටවත් බය නැහැ. මධුෂ්ටත් බය නැහැ කියපන් යැයි බිමත්ව තර්ජනය කළ වයස්ගත පුද්ගලයකු ඝාතනය කිරීමටය. ඝාතනයට අවශ්‍ය ගිනි අවිය ලැබෙනතුරු ඝාතකයන් සිව්දෙනා පුංචි අම්මාගේ නිවසේ රැඳී සිටිද්දී බිමත්ව හැසිරුණු පුද්ගලයා වෙරි හිඳුණු පසුව ඔහු පැමිණ සමාව ගත් නිසා ජීවත්ව සිටීමේ වාසනාව උදා විය.

කෙසේ වුවද ඝාතනයට පැමිණි සිව්දෙනා එක්වරම කඹුරුපිටිය ‍පොලිසියට කොටුවීමත් සමග කොළඹ අලුත්කඩේ උසාවිය ළඟදී හිස පමණක් හමු වූ පාතාලයේ සමයං කල්ලියේ කොස් මල්ලිගේ කඳ කොටස අඟුණකොළපැලැස්සේ කෙසෙල් කොටුවක වළ දමා තිබියදී පසුදින (18) සොයා ගැනෙන්නේ මොවුන්ගේ තොරතුරු මතය. කොස් මල්ලිගේ ඝාතන අබිරහස අහම්බයක් මෙන් මොවුන්ගෙන් හෙළිවන අතර මෙකී පාතාලයන් සිව්දෙනා අතර සියඹලාණ්ඩුව උසාවියේ දී බන්ධනාගාර ග්‍රහණයෙන් මිදී වෙඩි කා පලාගිය යුද හමුදා කමාන්ඩෝ බළකායට අයත් පැනගිය හමුදා සෙබළකුද වූයේ ය. කොස් මල්ලිව ගස් බැඳ වෙඩි තබා ඝාතනය කර ගෙල කඳින් වෙන් කරන්නට මෙම කමාන්ඩෝ සෙබළා යොදාගත් බව විමර්ශකයන් අනාවරණය කරන්නේය.Untitled-12

මාකඳුරේ මධුෂ්ගේ නියමයෙන් ඉකුත් 07 දා සිදු කළ කොස් මල්ලිගේ ඝාතනයෙන් දින දහයක් යද්දී සියලු ඝාතනවල සුලමුල හෙළිවෙමින් මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවසින්ම ඝාතනයට සම්බන්ධ ඔහුගේ සාමාජිකයන් සිව් දෙනකු කොටුවීමෙන් පසු මධුෂ් වියරු වැටෙන්නේ ය. ඒ, මධුෂ් කරන පාතාල ඝාතනවලදී සාක්ෂියක්වත් සොයාගත නොහැකි ලෙස සැලසුම් කළද මෙවර ‍පොලිසිය ඉක්මන් වීමෙන් සියල්ල හෙළිවීම මතය. තම සගයන් සිව්දෙනා කොටු වූ වහාම මාකඳුරේ මධුෂ් මුලින්ම තර්ජනය කරන්නේ පුංචි අම්මාගේ නිවස අසල පදිංචි කටුවන ‍පොලිසියේ සේවය කරන සැරයන් සුනිල්ටය. සුනිල් දුන් ඔත්තුවක් නිසා තම සගයන් කොටු වන්නට ඇතැයි මධුෂ් දැඩිව විශ්වාස කළේ ය.

උඹ තමයි මගේ එවුන් අල්ලන්න ඉන්ෆොමේෂන් දීලා තියෙන්නෙ. මම උඹවත් මරනවා. උඹේ පවු‍ලේ ඔක්කෝම මරනවා. වයසට ගියත් උඹ ඉන්න තැනකට හොයාගෙන ඇවිල්ලා මරනවා යැයි මාකඳුරේ මධුෂ් ඩුබායි සිට සැරයන් සුනිල්ගේ දුරකථනයට කතා කර දුරකථන ඇමතුම් හතරකින් විටින් විට තර්ජනය කළේ ය.

තමුසෙ බයික් එකෙන්නෙ වැඩට එන්නෙ. මම එන පාරත් දන්නවා යැයි තර්ජනය කර තිබිණි. මෙයින් පසුව සැරයන් සුනිල් කඹුරුපිටිය බලා පිටත් වූ පසුව කටුවන ‍පොලිසියේ දුරකථනයට කතා කර සුනිල් සාජන් ඔත්තුවක් දුන්න කියලා මරන්නයි ලෑස්ති වෙන්නෙ. පරිස්සම් වෙන්න කියන්න යැයි ඩුබායි සිට මධුෂ් වෙනත් අයකු මෙන් කතා කර සැරයන්වරයා සිටින තැන දැන ගන්නට කතා කර තිබිණි.

වහාම මේ සම්බන්ධව තංගල්ල ‍පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතා දැනුම්වත් කර ‍පොලිසි සැරයන්වරයාගේ නිවසට ආරක්ෂාවට ‍පොලිස් කණ්ඩායමක් කඹුරුපිටිය ‍පොලිසියෙන් යැවීමට කටුවන ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක අනුර සුසන්ත පියවර ගත්තේය.

තංගල්ල විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ලෙසින් දකුණේ පාතාලය මර්දනයට සක්‍රිය දායකත්වය දෙමින් පාතාලය භීතියට පත් කළ දක්ෂ නිලධාරියකු ලෙස ‍පොලිස් පරීක්ෂක අනුර දේශප්‍රිය සුසන්ත ප්‍රසිද්ධය.
පාතාලයේ හැසිරීම ගැන දන්නා මෙකී නිලධාරියාගේ මැදිහත් වීමෙන් වහාම ‍පොලිස් සැරයන්වරයා හා පවු‍ලේ අය ආරක්ෂිත ස්ථානයක රඳවන්නේ මාකඳුරේ මධුෂ් යන යන තැන සොයමින් කතා කරන්නට වූ නිසාය.

සැරයන් සුනිල් කඹුරුපිටිය ‍පොලිසියට එදිනම ගිය මොහොතේ මම දන්නවා උඹ දැන් ඉන්නෙ කඹුරුපිටිය ‍පොලිසියේ කියලා. දීපන් ඔය ‍පෝන් එක කඹුරුපිටිය ඕ.අයි.සී.ට කියමින් මාකඳුරේ මධුෂ් යළිත් තර්ජනය කර සිටියේ ය. මේ අතරේ තම සාමාජිකයන් කොටු වීම නිසා ‍පොලිසිය සමග උරණ වී සිටි මධුෂ්, දකුණේ ‍පොලිස් ලොක්කන්ගේ දුරකථනවලට පවා ඩුබායි සිට ඇමතුම් ලබා ගෙන තිබුණේය. මාකඳුරේ මධුෂ් සමස්ත ‍පොලිස් දෙපාර්තමේන්තුවටම අභියෝග කර ඇතැයි අනාවරණය වන්නේ මෙම සිද්ධියත් සමගය. ‍පොලිසියේ ඉහළ ලොක්කෙකුගේ අසම්මත වැඩ ගැන පාතාල කණ්ඩායම් යොදවා සොයාගෙන ඩුබායි සිටි මධුෂ් කතාකර බියගන්වා ඇත්තේ පාතාල මර්දනය ගැන කතා නොකරන තැනටය.

මාකඳුරේ මධුෂ් ‍පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ සිට පහළට තෝරාගත් චරිත වෙත බලපෑම් කරන්නට පටන් ගත්තේ මෑතක පටන්ය.

දකුණු පාතාලයේ ඉතිහාසය දෙස බලද්දී පාතාලය අතින් ‍පොලිස් නිලධාරින් දෙදෙනකු ඝාතනය වන්නේ දකුණේ පාතාලයට පණ පෙවූ එස්.ටී.එෆ්. නඳුන්ගේ නායකත්වයෙනි.

නඳුන් යටතේ ඉහළට එන කොස්ගොඩ සුජී මෙම අපරාධයට කණ්ඩායම් රැගෙන ගියේය. ඒ 2007 ජනවාරි 18 දාය. අම්බලන්ගොඩ වසන්තා ජුවලරි ආයතනය කොල්ල කා යන අතරේ මාර්ග රාජකාරියේ නියුතුව සිටි ‍පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු සුජීගේ කණ්ඩායම අතින් ඝාතනය වන්නේ මංකොල්ලකරුවන් කොටුකරන්නට යද්දීය.

මෙම ඝාතනයට සම්බන්ධ වූ සුජීගේ කල්ලියේ සිව් දෙනකු ‍පොලිසිය පසුව කළ මෙහෙයුමකදී මරා දැමූවද මෙම කොල්ලයේ මහ මොළකරුවන් වූ කොස්ගොඩ සුජී ඇතුළු පිරිසක් එස්.ටී.එෆ්. නඳුන් විසින් බේරාගන්නේ එවකට ඇල්පිටියේ ‍පොලිස් අධිකාරීව සිටි දූෂිත නිලධාරියකුට මරුටි කාරයක් තෑගි දෙමිනි. මාකඳුරේ මධුෂ් සමග පාතාලයේ ගෝඩ් ෆාදර් වෙන්නට ඩුබායි සිට කරට කර තරග කරන කොස්ගොඩ සුජී ‍පොලිස් නිලධාරින් දෙදෙනකුගේ ඝාතන චෝදනාවන් ලැබ බේරීයන්නේ ‍පොලිස් ලොක්කෙකු අල්ලසට යට වූ නිසාය. කොස්ගොඩ පාතාලය මගින් මෙම සිද්ධියෙන් වසරකට පසුව අම්බලන්ගොඩ වසන්තා ජුවලරි හිමිකරු ඝාතනය කරන්නේ ඔවුන්ට තිබූ බලය නිසාය.
මේ වන විට කොස්ගොඩ සුජී නිහඬව සිටියද පසුගිය කාලයේ අම්බලන්ගොඩ මූලස්ථාන ‍පොලිස් පරීක්ෂකව සිටි ප්‍රධාන ‍පොලිස් පරීක්ෂකමහින්ද විල්ලෝලආරච්චි මහතාව ඝාතනය කරන බවට ප්‍රසිද්ධියේ කියා සිටියේ සුජීගේ මෙහෙයුම්වලට ඔහු බාධාවක් වූ නිසාවෙනි. අම්බලන්ගොඩ සිට කොස්ගොඩ සුජීගේ අපරාධ රැල්ලට එරෙහිව සටන් කළ නිසා මෙකී ‍පොලිස් නිලධාරියා මෙන්ම ‍පොලිස් විශේෂ කාර්ය බළකායේ ‍පොලිස් පරීක්ෂක කැලුම් සංගීත්ට ද මරණ තර්ජන එල්ල වූයේ ය. කෙසේ වුවද ‍පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශය සමග හැප්පීමට නොහැකි බවට සුජී දැනගත් නිසා එම පාතාල මෙහෙයුම අතරමග නතර වූයේය. කොස්ගොඩ සුජිගේ පාතාලයට ඔත්තු දෙන ‍පොලිස් නිලධාරින්ද ‍පොලිස් ස්ථාන තුළම ඔත්තුකරුවන් ලෙස කටයුතු කිරීම හමුවේ දකුණේ සුජීගේ කණ්ඩායමට එරෙහි පාතාල මෙහෙයුම් අසීරු වූයේ ය.

සුජීගෙන් පසුව මාකඳුරේ මධුෂ් ‍පොලිසියට එරෙහිව තර්ජනය කරන්නට වූ ප්‍රධාන පාතාල සාමාජිකයා ය.
මාකඳුරේ මධුෂ් මීට ඉහත දී ඌරුබොක්ක ‍පොලිස් ස්ථානාධිපතිව සිටි ‍පොලිස් පරීක්ෂක එච්. ටී. එන්. තුෂාර මහතා ඝාතනය කරන්නට සැලසුම් කරන බව රාජ්‍ය ඔත්තු සේවාව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අනතුරු හැඟෙව්වේ මීට පෙරාතුවය. කඹුරුපිටියේ කැටයම් චින්තක ‍පොලිස් විශේෂ කාර්ය බළකා මෙහෙයුමකින් ඝාතනය වීම, 2007 දී මධුෂ්ගේ කණ්ඩායමක් කළ රුපියල් කෝටි දෙකක මංකොල්ලයක් හා මධුෂ්ගේ කල්ලියේ කප්පම් ගැනීම්වලට එරෙහිවීම නිසා ‍පොලිස් පරීක්ෂක තුෂාරට මධුෂ් කල්ලියේ ජීවිත තර්ජන එල්ල වී තිබුණ බව ‍පොලිස් මූලස්ථානයට වාර්තා වී තිබුණේය.

කඹුරුපිටියේ දී 2013 නොවැම්බරයේ දී ‍පොලිස් කොස්තාපල් සුනිල් හා බිරිඳ ඝාතනය කරන්නේ මධුෂ්ගේ කල්ලියේ සාමාජිකයකු වූ කැටයම් චින්තකය. කැටයම් චින්තක මීට ඉහතදීත් විශ්‍රාමික ‍පොලිස් සැරයන්වරයකුත් ඝාතනය කර හිරේ ගිය මිනීමරුවකුද වූයේ ය.

මධුෂ්ගේ කල්ලිය හා සම්බන්ධ වූ කැටයම් චින්තක අතින් කොස්තාපල් සුනිල් ඝාතනය වූ පසුව එම ඝාතනයේ තවත් සැකකරුවකු වූ එස්. එෆ්. අමිත් අත්අඩංගුවට ගැනීමත් සමග ‍පොලිස් පරීක්ෂක අනුර සුසන්තට පාතාල තර්ජන එල්ල වන්නේ තංගල්ල දිසා අපරාධ ඒකකයට නායකත්වය දෙමින් කළ පාතාල මර්දන නිසාය.

මේ අයුරෙන්ම බූවැලිආරේ සරත් ‍පොලිසිය අතින් ඝාතනය වීම සම්බන්ධවද ‍පොලිස් පරීක්ෂක සුසන්තට පාතාල තර්ජන එල්ල වී තිබුණු බව බුද්ධි අංශ වාර්තා කර තිබුණේය.

දකුණේ පාතාලයේ පාලංකඩ හීනා යොදවා පාතාල මර්දනයේ නිරත ‍පොලිස් පරීක්ෂක  සුසන්තව හා ‍පොලිස් විශේෂ කාර්ය බළකා පාතාල මර්දන ඒකකයේ ‍පොලිස් පරීක්ෂක කැලුම් සංගීත් ඝාතනය කරන්නට දකුණේ පාතාලය කළ මෙහෙයුමක්ද පසුගිය කාල සීමාවල අනාවරණය වී තිබුණේ ය.

මාකඳුරේ මධුෂ්ගේ පාතාලය මෙන්ම ඔහුගේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වය වූ කඩුවෙල රණා‍ලේ සමයං ද නවගමුව ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා ඝාතනය කරන්නට වු සැලැස්මක්ද සමයං මියගිය පසුව අනාවරණය විය.

‍පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා සිය මවගේ අවමංගල්‍යයට නිවාඩු ගොස් නැවත රාජකාරියට එන දිනයේ දී අතරමගදී ඝාතනය කරන්නට සමයංගේ කල්ලිය සැලුසුම් කර තිබුණේ ය.

කෙසේ වුවද ‍පොලිස් විශේෂ කාර්ය බළකා පාතාල මර්දන ඒකකයේ පාතාල මර්දනයට නම් දිනූ නිලධාරියකු වූ බැවින් ‍පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වාට එරෙහි ප්‍රහාරයට යාමට කඩුවෙල සමයංගේ ඝාතකයන් බියට පත් වීම නිසා පාතාලයට එම ඉලක්කය වැරදී තිබුණේය. කඩුවෙල සමයං මාකඳුරේ මධුෂ්ගේ හා අංගොඩ ලොක්කාගේ මෙහෙයුමකින් මරණයට පත්වීමෙන් පසුව කරළියට පැමිණි ඌරුජුවා ඇතුළු සමයංගේ ඉතිරි සගයන්ද සමයංගේ ඉලක්කය ගැනීමට උත්සාහ ගෙන ඇතැයි අනාවරණය වීමෙන් පසුව කඩුවෙල මහෙස්ත්‍රාත් ප්‍රසන්න ද අල්විස් මහතාගේ නියෝග මත රහස් ‍පොලිසියට විමර්ශන භාරකර තිබුණේ ය.

සමයං මරුමුවට පත් වූ පසුව බන්ධනාගාරගතව සිටින යුද හමුදාවෙන් ඉවත් කළ කපිතාන්වරයකුගේ සහාය මැද නවගමුව ‍පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව ප්‍රහාරයක් එල්ල කරන්නට පාතාලය අරඇඳ තිබුණද එයද ව්‍යර්ථ වී තිබුණේය.

එස්.ටී.එෆ්. පාතාල මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක ඊ.එස්. ධර්මප්‍රිය ද පාතාල ඒකකවලට කරදරයක් වූයෙන් ඔහුවද පාතාලයේ ඉලක්කයක් වී ඇතැයි ‍පොලිස් බුද්ධි අංශ අනාවරණය කර තිබිණි. කෙසේ වුවද එම ඒකකයට බිය නිසා පාතාල කණ්ඩායම් ඉලක්ක වෙත යාම අතහැර තිබුණේය.  මේ ආකාරයට පාතාල කල්ලි විවිධ ඉලක්ක සොයා යන්නට වෙර දැරූවද, මෑත කාලයේ යම්තාක් දුරට හෝ පාතාලයේ ඉලක්ක හරිගියේ මාකඳුරේ මධුෂ්ගේ මෙහෙයවීමෙන් පිළියන්දලදී එල්ල කළ ප්‍රහාරයය. ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නමක් දිනා සිටි ‍පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු කණ්ඩායම කුඩු වැටලීමක ඔත්තුවක් මත පිළියන්දලට ගෙන්වා වෙල් යායක් අසලදී මුළු ‍පොලිස් කණ්ඩායම අහවර කරන්නට මධුෂ් ඩුබායි සිට සැලසුම් කර තිබුණේ ය. කෙසේ වුවද අවසානයේ එම ඉලක්කය පිළියන්දල නගරයේ දී ක්‍රියාත්මක වන්නේ ‍පොලිස් කොස්තාපල්වරයකුගේ ජීවිතයද අහිමි කරමිනි.

‍පොලිස් පරීක්ෂක රංගජීව වෙඩි පහරින් බරපතළ තුවාල ලබා ජීවිතය බේරාගෙන යළි සේවයට වාර්තා කරන්නේ මධුෂ්ට එරෙහිව දැල එලන මෙහෙයුම අරඹමිනි. රංගජීව මෙන්ම මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාට තර්ජනය කරන්නේ ද මධුෂ්ගේ කණ්ඩායම් පසුපස හඹා යද්දීය. ත්‍රස්ත විමර්ශන ඒකකයේ කොස්තාපල් දාස් ගුප්තාට තර්ජනය කරන්නේ ද මධුෂ්ය.

මේ අයුරින් පාතාලය විවිධ අවස්ථාවල ‍පොලිසිය ඉලක්ක කර වෙඩි තබන්නට, ඝාතන සැලසුම් යොදන්නට මෙන්ම තර්ජනය කරන්නටද වූයේ ය.

පාතාලය මෙතරම් වර්ධනය වන්නට හේතුව වූයේ ද මත්කුඩු ජාවාරම මුල් කරගෙනය. මත්ද්‍රව්‍ය හා කුඩු ජාවාරම හරහා පාතාල කණ්ඩායම් වෙතින් ගලාඑන අසීමිත මුදල් කන්දරාව පාතාලය සෑම අතින් ‍පෝෂණය කරන්නේය. පාතාල කල්ලි ලෙයට ලෙය පළිගන්නා සටන අද ඊයේ ඇරඹුණක්ද නොවන්නේය. නමුදු දැන් මරාගන්නේ මත්ද්‍රව්‍ය ජාලයේ බලය ලබා ගැනීම උදෙසාය. ‍පොලිසියට තර්ජන හා ප්‍රහාර එල්ල වන්නේ ද මෙකී කුඩු මාෆියාව නිසාය. පාතාල කණ්ඩායම් පසුපස සිටින කුඩු මාෆියාවේ තෝරුන්, මෝරුන් අසීමිතව ඒ සඳහා මුදල් වියදම් කරන්නේය. බුද්ධි අංශ දැන් සොයා යන්නේ පාතාල නායකයන් පසුපස සිටින මෙකී අදිසි හස්ත පසුපසය.

රජයට මේ තර්ජනයට මුහුණ දෙන්නට ජාතික සැලැස්මක් නොමැත. විවිධ දේශපාලනඥයන් ඡන්දයට මැර බලය යොදවන්නට තම ජයග්‍රහණ කරා යන්නට පාතාල ලොව සහාය පතන්නට වීම මීට හේතුවය.

පසුගිය රජය සමයේ හිටපු ආරක්ෂක ‍ලේකම් ගෝඨාභය රාජපක්ෂ පාතාල මර්දනය වෙනුවෙන් ජු තීන්දු තීරණ ගැනීම නිසාත්, හිටපු ‍පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා තම නිලධාරින් වෙනුවෙන් පෙනී සිටීම නිසාත් පාතාල මර්දනය නිසි ක්‍රමවේදයකට ක්‍රියාත්මක වූයේ ය.

දකුණේ පාතාලයේ කොස්ගොඩ සුජී, මාකඳුරේ මධුෂ්, මුස්ලිම් පාතාලයේ කරලියට එන්නට වෙර දරන නායකයා වන බයියා මෙන්ම කෙසෙල්වත්තේ දිනුක, ඇතුළු පාතාල ප්‍රබලයන් සියලු දෙනා ඩුබායි රටට පැන එරටේ සැඟවී අපරාධ මෙහෙයවන්නට වූයෙත් පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ පාතාල මර්දනයට බිය නිසාය.

දැන් පාතාලය රඟන්නේ ඩුබායි හා බන්ධනාගාරය තුළ සිටය. බන්ධනාගාර තුළ සිට රටේ අපරාධ හා කුඩු ජාවාරමෙන් සියයට අනූවක් පමණ ක්‍රියාත්මකය. තිස් වසරක් තිස්සේ රටම වෙලාගත් රුදුරු කොටි ත්‍රස්තවාදය අවසන් කළ හමුදාවක් සිටින රටක මැ‍ලේසියාව ඇතුළු පිටරටවල කොටි ජාත්‍යන්තර ජාලය මෙහෙය වූ කුමරන් පත්මනාදන් (කේ.පී) ඇතුළු කොටි බලකණු බුද්ධි මෙහෙයුම් මගින් කොටුකළ රටක පාතාලය මර්දනය කරන්නට නොහැකි වීම බරපතළ ගැටලුවකි.

මීට හේතුව මානව හිමිකම් පෙරට දමා අපරාධ කරුවන්ට රටේ ජනතාවගේ මානව හිමිකම් කඩකරමින් අපරාධ රැල්ලක් මෙහෙයවන්නට ඉඩ ලබා දීමය.

මානව හිමිකම්වලට මුවා වී බුද්ධි මෙහෙයුම් කළ නිලධාරින් හා පාතාල මර්දන මෙහෙයුම්වල නිරත වූ දක්ෂ නිලධාරින්ව හිරේ දමන්නට වත්මන් රජය පත් වූ දා පටන් සිදු වූ ක්‍රියාකාරකම් හමුවේ දක්ෂ නිලධාරින් අද රාජකාරිවලින් බැහැරව ඇත.

ඒ රට වෙනුවෙන් ජීවිත අවදානමක් ගත්තා තමන්ව බේරාගන්නට ඉහළ නිලධාරින් හෝ දේශපාලන බලාධිකාරිය ඉදිරිපත් නොවීම නිසාය. ‍පොලිසිය තුළින්ම පාතාලයට ඔත්තු හා තොරතුරු යන වග මාකඳුරේ මධුෂ් මෙම සතියේ කඹුරුපිටිය සිද්ධියෙන්ද පෙන්වා දුන්නේය. මීට පෙරද එවැනි දේ සිදුවිය. පාතාලයේ මුදල්වලට හා අනෙකුත් වරදානවලට පාතාලයට ඔත්තු දෙන ‍පොලිස් ලොක්කන් හා සොක්කන්ද සිටින වග පැහැදිලිය. ඔවුන් මේ කරන්නේ රටේ අපරාධ රැල්ලකට ආ වැඩීමකි.

ඕනෑම රජයක් යටතේ නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක වනවා නම් පාතාලයට එරෙහිව මරාගෙන මැරෙන්නට වුවද දක්ෂ නිලධාරින් රටේ තවමත් සිටින්නේය. උසාවිය හා නීතිපති දෙපාර්තමේන්තුවෙන් එන ප්‍රශ්නවලදී අපි වෙනුවෙන් පෙනී සිටිනවා නම් අපට පාතාලයේ ඕනෑම කෙනෙක් මර්දනය කරන්න පුළුවන්. අපිට හරි නියෝග දෙනවා නම් අපි වෙනුවෙන් වගකීම ගන්නවා නම් ඩුබායිවලට ගිහිල්ලා වුණත් ඔය පාතාලයට ගහලා එන්න දක්ෂ නිලධාරින් අප සතුව ඉන්නවා යැයි පාතාල මර්දනයේ නිරත නිලධාරීහු පෙන්වා දෙති.

ඇත්තටම අද ඔවුන් පාතාල ක්‍රියාකාරකම් දෙස බලා සිටින්නේ දැඩි කලකිරීමෙනි. ඒ ඔවුන්ගේ ඇස් පනාපිටම මිනීමරද්දී පාතාලය මර්දනය කරන්නට නිසි නියෝග නොමැති කමිනි. රටේ නිතියට පාතාලයෙන් මෙතරම් අභියෝග එල්ල වුවද, බලධාරින් නිහඬය. පාතාලයට එරෙහිව ‍පොලිස් කමාන්ඩෝ බළකායට (ඉඊජ්) නායකත්වය දෙන ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතිෆ් මහතා තම කණ්ඩායම් පමණක් තනි සටනක යොදා ඇත්තේය.

මාකඳුරේ මධුෂ් කියන පාතාලයා ඩුබායි ඉඳන් ‍පොලිසියට කළ තර්ජනයේ අභියෝගය මම භාර ගන්නවා. මධුෂ්ට අපි ඉක්මනට ඒ අභියෝගය ඔප්පු කරලා පෙන්වනවා යැයි එම්.ආර්. ලතිෆ් මහතා අභියෝග කරන්නේය. පාතාලයට එරෙහිව ජුවම අභියෝග කරන්නට කොන්දක් ඇති නිලධාරියකු ලෙස දේශපාලන බලාධිකාරිය ඉදිරියේ කෙළින් කතා කරන්නේද ඔහු පමණය.

පාතාලයේ අභියෝගය රජය ජයගන්නේ කෙසේ දැයි දැන් කවුරුත් බලා සිටින කාරණයය.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com