master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඩුබායි ඉඳන් මධුෂ් කොස්මල්ලි මරවපු මෙහෙයුමේ මුල මැද අග


2018-03-25 10:11:51 -  1125 යි

ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස පාතාලය හිස ඔසවා හමාරය. පාතාල මර්දන ‍පොලිස් අංශ සඳහන් කරන ආකාරයට අනුව නාවල නිහාල්ගෙන් පසුව පාතාලයේ ගෝඩ් ෆාදර් බවට පත්ව සිටින්නේ මාකඳුරේ මධුෂ්ය. අද වන විට පාතාලයේ වැඩි බලයක් අත්පත් කරගෙන සිටින්නේද ඔහුය. දැවැන්ත දේශපාලන සම්බන්ධකමක් ඇතිව ‍පොලිසියට පවා අභියෝග කරමින් ඔහු සියලු පාතාල මෙහෙයැවීම් සිදුකරන්නේ ඩුබායිහි රැඳෙමිනි.

පාතාලය පමණක් නොව, මෙරට මත්කුඩු ජාවාරමේ වැඩි කොටසද මේ වන විට හිමිකරගෙන සිටින්නේ මධුෂ්ය. මධුෂ්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය බවට පත්ව ඇත්තේයැයි කියැවෙන්නේද මත්කුඩු ජාවාරමය. ඒ තුළින් ඔහු උපයාගනු ලබන මුදල් ඔහු මෙරට ව්‍යාපාරවල ආයෝජනය කර තිබිමද විශේෂිතය. බුද්ධි අංශ සඳහන් කරන ආකාරයට අනුව ඔහු රට වටේම ඉඩම් මිලදී ගෙන ඒවා කට්ටි කිරීමේ ව්‍යාපාරයකට පවා මේ වන විට අත ගසා හමාරය. පසුගිය පෙබරවාරි 16 වෙනිදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසලදී ඝාතනය වූ ව්‍යාපාරිකයෙකු වන මොහොමඩ් රිස්ඛාන්ද මධුෂ්ගේ කළු සල්ලි සුදු කළ ව්‍යාපාරිකයන් අතර සිටියෙකු බව අනාවරණය වී හමාරය. එම ව්‍යාපාරිකයා විසින් පවත්වාගෙන ගියේ යැයි කියනු ලබන වාහන කුලී ආයතනයට මධුෂ් ආයෝජනය කර ඇතැයි සඳහන් වන මුදල රුපියල් කෝටි 15 කි. එකී වාහන කුලී ආයතනයේ රාගම පිහිටි කාර්යාලය පවා විවෘත කරන්නට යන්නේ රටේ අගමැතිවරයා ප්‍රමුඛ මැති ඇමතිවරුන්ය.

පසුගිය පළාත් පාලන මැතිවරණයට පාතාලයට සම්බන්ධ බොහෝ දෙනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂ රැසකින්ම ඉදිරිපත් වී සිටියෝය. මේ වන එංගලන්තයේ රැඳී සිටින මාළිගාවත්තේ ලාල් පීරිස්ගේ පුතා මැතිවරණයට ඉල්ලීමට සූදානම් වූයේ එජාපයෙන් කොළඹ මහා නගර සභාවටය. ලාල් පීරිස් පාතාලයට හා මත්කුඩු ජාවාරමට සම්බන්ධ අයෙකු බව කියමින් පුතාගේ නම අවසානයේදී අපේක්ෂක ලැයිස්තුවෙන් කපා දැමීමට එජාපයේ බලධාරීන් පියවර ගත්තද මධුෂ් වැලිගම ප්‍රාදේශීය සභාවට ඉදිරිපත් කළ ඔහුගේ ගෝලයා වූ ලසන්තව ලැයිස්තුවෙන් කපා දැමීමට එජාප බලධාරීන් පියවර ගත්තේ නැත. ඒ මධුෂ්ගේ බලය හමුවේ දේශපාලනඥයන් පවා මේ වන විට දණින් වැටෙන බැවිනි.

මැතිවරණයෙන් මධුෂ්ගේ ගෝලයා පරාජයට පත්වූවත් දේශපාලන බලධාරීන් උත්සාහයක නිරත වූයේ ඔහුව ලැයිස්තුවෙන් ප්‍රාදේශීය සභාවට පත්කරන්නටය. එකී ගෝලයා ‍පොලිස් විශේෂ කාර්ය බළකායට ටී 56 අවියක් සමග හසුවන්නේ ඔය අතරතුරදීය. ඒ අවස්ථාවේදී ඔහුව නිදහස් කර යවන ලෙසට පවා ‍පොලිසියට බලපෑම් එල්ලවන්නට වූයේද ප්‍රබලම ඇමතිවරයෙකුගෙනි.

මධුෂ්ට එරෙහිව අදටත් ජාත්‍යන්තර ‍පොලිසිය හරහා රතු වරෙන්තුවක්වත් ගැනීමට ‍පොලිසියට හැකියාවක් ලැබි නැත්තේ ඔහුට ඇති දැවැන්ත දේශපාලන සම්බන්ධකම් නිසාය. මධුෂ්ගේ පාතාල ක්‍රියාකාරකම් මැඬලීමට නිසි බලය නොමැතිව ‍පොලිසිය අසරණව සිටින විට මධුෂ් පසුගිය 07 වෙනිදා වැඩ පෙන්වන්නේ තමන්ගේ ව්‍යාපාරික මිතුරා වූ රිස්ඛාන්ව ඝාතනය කිරීමට සම්බන්ධ වූ කොස් මල්ලී නමැති පාතාල සාමාජිකයාගේ හිස අලුත්කඩේ ප්‍රදේශයට ගෙනැවිත් දමමිනි. කළු පැහැති ‍පොලිතින් උර කිහිපයක දැමූ එම හිස කාගේදැයි හඳුනා ගැනීමට මුලින් ‍පොලිසියට හැකියාවක් නොවූවත් එය කොස් මල්ලීගේ යැයි අනුමාන කරමින් තහවුරු කරගන්නේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන්ය. ඒ රිස්ඛාන්ගේ ඝාතනයට කොස් මල්ලීව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයමින් සිටි බැවිනි.

කොස් මල්ලී නමැත්තා අංගොඩ ‍පොලිසිය හංදියේ කොස් මැල්ලුම් කැපීමේ ව්‍යාපාරයක නිරත වූවෙකි. සිය සහෝදරයා සමග ඔහු ත්‍රිරෝද රථයකින් කොස් රැගෙනවිත් ඒවා මැල්ලුම්වලට කපා අලෙවි කරමින් ජීවත් වූයේ දැහැමි වෙළෙඳාමක නිරතව සිටින්නෙකු ලෙසිනි. ගෙවල් දොරවල් පවා ඔහු ගොඩනැගුවේ කොස් මැල්ලුම් කපා එතරම් දියුණුවක් අත්පත් කරගැනීමට හැකියාවක් තිබේදැයි ප්‍රශ්නාර්ථයක් ඇති කරමිනි. කොස් මැල්ලුමට මුවා වී ඔහු සමයං නමැති පාතාල කල්ලියට සම්බන්ධ වෙමින් නීති විරෝධී ව්‍යාපාර කටයුතුවල නිරතව සිට ඇතැයි හෙළිවන්නේ අංගොඩ ලොක්කා නමැති පාතාල කල්ලි නායකයාගේ ගෝලයකු බව කියන සුරංග කුමාර නොහොත් රත්තරං නමැත්තාව කැලණිමුල්‍ලේදී පසුගිය වසරේ ජනවාරි 05 වෙනිදා වෙඩි තබා ඝාතනය කිරීමත් සමගිනි. එකී ඝාතනයේ සැලසුම්කරුවකු ලෙස ‍පොලිස් අත්අඩංගුවට පත්වන කොස් මල්ලී බන්ධනාගාර ගතව ඇප මත පැමිණි පසුව ඔහුගේ නිවසට පහරදී සහෝදරයාව කපාකොටා දමන්නේ අංගොඩ ලොක්කාගේ ගෝලබාලයින්ය. ඒත් සමගම ගේ දොර අතහැර කොස් මල්ලීගේ මුළු පවුලම අංගොඩින් අතුරුදන් වන්නේ ජීවිතාරක්ෂාව පතාය. නැවතත් කොස් මල්ලී මතුවන්නේ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේදීය. ඒ කඳ නැති හිසක් ලෙසිණි.

ඒ වන විටත් කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශකයින් සිටියේ රිස්ඛාන්ගේ ඝාතනය ගැන බොහෝ තොරතුරු හෙළිකරගෙනය. රිස්ඛාන් ඝාතනය පිටුපස සිටියේ සමයංගේ කල්ලියේ සාමාජිකයන්ය. අතුරුගිරියේ රූපලාවණ්‍යාගාරයක් තුළදී අංගොඩ ලොක්කාගේ හොඳම ගෝලයකු වූ බණ්ඩාට වෙඩි තබා මරා දැමීමට සැකපිට බන්ධනාගාරගතව සිටින ගොත අසංක, රිස්ඛාන්ගේ ඝාතනය සැලසුම් කර ඇති බව කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශකයෝ සොයා ගත්තෝය. රිස්ඛාන් ඝාතනයට යන කුලී ඝාතකයාට ගමන් කිරීමට යතුරුපැදිකරු සහ යතුරුපැදිය සොයා දෙන්නේ කොස් මල්ලීය. කොස් මල්ලීගේ හිස අලුත්කඩෙන් මතු වන්නේ මේ සියල්ල අනාවරණය කරගත් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්, ඔහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදීය.

කොස් මල්ලීගේ හිස හමුවීමත් සමග කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මුහුණ දුන් උභතෝකෝටික ගැටලුව වූයේ ඔහුගේ කඳ සොයාගන්නේ කෙසේද යන්නයි. මුළු කොළඹම පීරා හිස නැති මළකඳක් සොයා දින ගණනාවක් කොළඹ අපරාධ කොටඨාසයේ විමර්ශකයන් වෙහෙසුණද ඉන් පලක් නොවුණු තැන, කඳ වෙනුවට කොස් මල්ලීට ඒ අපරාධය කළ උන් ගැන සොයන්නට ගන්නේය. ඒ ඝාතකයින් අනාවරණය කරගෙන ඔවුන්ගේ මාර්ගයෙන් කඳ සොයා ගැනීමටය.

මෙහිදී කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන්ගේ විශේෂ අවධානයට ලක්වන්නේ කොස් මල්ලීගේ අනියම් බිරිඳ ගැනය. ඇය ගැන තොරතුරු හෙළිවන්නේ කොස් මල්ලීගේ ජංගම දුරකථන අංකය විශ්‍ලේෂණය කිරීමේදීය. ඇය කොළඹ රාත්‍රි සමාජ ශාලාවක සේවිකාවකි. එකල ඇය කුලියට නවාතැන්ගෙන සිට ඇත්තේ අංගොඩ පැත්තේය. කොස් මල්ලී සහ ඇය අතර අනියම් සම්බන්ධයක් හට ගන්නේ එහිදීය.

මේ වන විට ඇය පදිංචිව සිටින්නේ ඇඹිලිපිටියේය. රිස්ඛාන්ගේ ඝාතනයෙන් පසුව කොස් මල්ලී ඇඹිලිපිටිය පැත්තේ කරක්ගසා ඇති බව දුරකතන විශ්‍ලේෂණයේදී හඳුනා ගැනීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් යන්නේ ඇඹිලිපිටියටය. ඒ කොස් මල්ලීගේ අනියම් බිරිඳව සොයාගෙනය.

මුලින් ඇය ‍පොලිස් විමර්ශකයන් නොමග යවමින් කොස් මල්ලීව හඳුනන්නේ වත් නැති බව කීවත් පසුව සියල්ල හෙළිකරන්නට වූයේ කොස් මල්ලීගේ ඉරණම විසඳුණු ආකාරය ගැන පවා පැහැදිලි චිත්‍රයක් ද සපයමිනි. ඇගේ ඒ හෙළිදරව්වට අනුව රිස්ඛාන්ගේ ඝාතනයෙන් පසුව කොස් මල්ලී ‍පොලිසියෙන් බේරීමට පැන ගන්නේ ඇඹිලිපිටියටය. ඇගේ නිවසට යන ඔහු දින දෙක තුනක්ම එහි නවාතැන් ගත්තේය. ඒ පැත්තෙන් තමාට නවාතැන් ගැනීමට කුලී නිවසක් සොයා දෙන ලෙස ඔහු ඇගෙන් ඉල්ලීමක්ද එහිදී කළාය. ඇය ඒ ඉල්ලීම ඉටුකර දෙන්නට භාර කරන්නේ සිය ඥාති සහෝදරයෙකු වෙතය. එම ඥාතියා කොස් මල්ලීවද හොඳින් දැන හඳුනාගෙන සිටියෙකි. කොස් මල්ලී පාතාලයේ වැඩකරුවෙකු බවද ඔහු දැන සිටියේය. සැඟවී සිටින්නට කුලී නිවසක් සොයා දෙන තුරු කොස් මල්ලී ඇඹිලිපිටියේ සිය අනියම් බිරිඳගේ නිවසේ වැඩි කාලයක් ගත නොකළේය. ඔහු ‍පොතුවිල් බලා ගියේ දින කිහිපයක් එහි සැඟවී සිටින්නටය.

සිය ව්‍යාපාරික සගයාට වෙඩි තබා මරා දැමීමෙන් වියරු වැටී සිටි මධුෂ්, ඩුබායි සිට සිය ගෝලබාලයින් මෙන්ම ‍පොලිසියේ ඔත්තුකරුවන් මගින්ද ඝාතකයන් කවුරුන්දැයි ඒ වන විටත් සිටියේ සොයමිනි. කොස් මල්ලී ගැන ඔහුට තොරතුරු ලැබෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. අංගොඩ ලොක්කාද දැන් සිටින්නේ මධුෂ් ළඟය. කොස් මල්ලීට ඇඹිලිපිටිය පැත්තේ අනියම් බිරිඳක සිටින බව අංගොඩ ලොක්කා දැන සිටියේය. ඒ බව අංගොඩ ලොක්කා මධුෂ්ගේ කන තැබිමෙන් පසු ඔහු ඒ ගැන සොයා බැලීමේ වගකීම පවරන්නේ තමන්ගේ අතිජාත මිත්‍රයෙකු වන ලොකු අයියාටය.
ලොකු අයියා අඟුණකොළපැලැස්සේ මුරවැඩිහේනේ ගෝඨාභය ගමේ පදිංචිකරුවෙකි. මධුෂ්ට පියෙකු වැනිය. මධුෂ් වෙනුවෙන් සිය ජීවිතය පිදීමට පවා සූදානම්ව සිටින්නෙකි. ලොකු අයියාට ඇඹිලිපිටිය පැත්තේ පැත්තේ සම්බන්ධකම් බොහෝය. ඔහු සිය සම්බන්ධකම් ඔස්සේ කොස් මල්ලීගේ අනියම් බිරිඳ ගැන සොයා බැලුවේය. බැලින්නම් ඇගේ ඥාති සහෝදරයා, ලොකු අයියා දන්නා කියන අයෙකි. ලොකු අයියා ඔහුව සිය ග්‍රහණයට ගත්තේය.

අලුත් කඩේ උසාවිය ගාව වෙඩි තිබ්බ එකට මිනිහව ‍පොලිසිය හොයනව කියල තමයි නංගිලාගේ ගෙදරට ඇවිල්ල හිටියෙ. මිනිහ හැංගෙන්න තැනක් හොයනව. මටත් කිව්වා තැනක් හොයල දෙන්න කියල. ඥාති සහෝදරයා ලොකු අයියාට කීවේය.

ඉන් එහාට සියල්ල සිදුවන්නේ මධුෂ්ගේ සැලසුමකට අනුවය. එහි පළමු පියවර වන්නේ සැඟව සිටීමට හොඳ නිවසක් ඇති බවට අනියම් බිරිඳගේ ඥාති සහෝදරයාගෙන් ‍පොතුවිල්හි රැඳී සිටි කොස් මල්ලීට දුරකතන ඇමතුමක් යාමය. එම ඇමතුමට අනුව කොස් මල්ලී ඇඹිලිපිටියට එන්නේ ඉකුත් 06 වෙනිදාය. අනියම් බිරිඳගේ ඥාති සහෝදරයා කොස් මල්ලීව ත්‍රිරෝද රථයක නංවාගෙන එදා සවස කෙළින්ම යන්නේ අඟුණකොළපැලැස්සේ ගෝඨාභය ගමේ පිහිටි ලොකු අයියාගේ නිවසටය. ඒ වන විට එම නිවසේ තවත් දෙතුන් දෙනෙක්ම රැඳී සිටියෝය. ඒ අය සිටින්නේ මත්පැන් සාදයක් පවත්වමිණි. ඒ සාදයට කොස් මල්ලීවද එක්කර ගන්නට ඔවුහු අමතක නොකළහ. සිය කාර්යය අවසන් කරමින් කොස් මල්ලීගේ අනියම් බිරිඳගේ ඥාතියා ඒත් එක්කම එතැනින් ඇඹිලිපිටිය බලා පිටව යන්නේ ලොකු අයියාගේ දැනුම් දීමකට අනුවය. මත්පැන් සාදය එදා මැදියම් රැය වන තුරුම පැවතුණේය. ඒ යම් සැලසුමකට අනුවය.

දැන් හොඳටම රෑ වුණා. අපි යමු බෝඩිමට සැලසුමේ උච්චතම අවස්ථාව ක්‍රියාවට නගමින් ලොකු අයියා කොස් මල්ලීව ඔවුන් මත්පැන් සාදය පවත්වමින් සිටි නිවසින් පිටතට රැගෙන යන්නට සූදානම් වන්නේ එසේය.

කොස් මල්ලී සිතන්නේ මේ තමාව රැගෙන යන්නට සූදානම් වන්නේ නවාතැන් ‍පොලට බවය. ඒ නිසාම ඔහු තමන්ගෙ ගමන් මල්ලත් අතට ගෙන ලොකු අයියා ඇතුළු කණ්ඩායම පෙරටු කරගෙන නිවසින් එළියට බැස්සෙ මත්පැන් සාදයට නැවතීමේ තිත තබමිනි.

විදුලි පන්දම් එළියේ ආධාරයෙන් ඔවුන් ගමන් කරන්නට වූයේ වෙල් යායක් මැදිනි. මඳ දුරක් ගමන් කළ ඔවුන් නතර වෙන්නෙ ගස් ලබු වගා බිමකය.

අපි ඉන්ට් එකෙන්, රිස්ඛාන්ව මැරුවෙ උඹ කියල අපි දන්නව. දැන් ඉතින් යටත් වෙයන් ලොකු අයියා සමග සිටියෙක් එසේ පවසමින් කොස් මල්ලීව සිය ග්‍රහණයට ගත්තේය. ඒත් එක්කම ඔහුගේ දෑත් පිටුපසට තබා ලණු ‍පොටකින් ගැටගසන්නේ අනෙකාය.

අනතුරුව ඔහුව අසල පිහිටි ‍පොල් ගසකට හේත්තු කර පහරවල් කිහිපයක් එල්ල කළේය. බුද්ධි අංශයේ ‍පොලිස් නිලධාරීන් ලෙස ඔවුන් කළ ඒ රඟපෑමට කොස් මල්ලීද සිටියේ ඒ වන විට හසුවීය. ඒ නිසාම ඔහු පැනගන්නට වත් එතරම් උනන්දුවක් නොදැක්වීය.

කොස් මල්ලීව ‍පොල් ගසට හේත්තු කර සිටින අතර තුර ලොකු අයියා සිය ජංගම දුරකතනයෙන් කොස් මල්ලීගේ ඡායාරූපයක් ගත්තේය. එම ඡායාරූපය ඔහු යවන්නේ ඩුබායිහි සිටින මධුෂ්ගේ ජංගම දුරකතනයටය. කොස් මල්ලීව නමින් දැන සිටියාට මධුෂ් ඔහුව රූපයෙන් දැන හඳුනාගෙන නොසියේය. එබැවින් ඔහුව හඳුනා ගැනීම පැවරෙන්නේ ඔහු සමග ඩුබායිහි රැඳී සිටින අංගොඩ ලොක්කාට සහ ලඩියාටය. ඔවුන් දෙදෙනා අංගොඩ ජීවත් වූවන් බැවින් ඡායාරූපය දුටු සැණින් ඒ කොස් මල්ලී බව හඳුනා ගත්තේය.

ඊළඟ ක්‍රියාන්විතය ආරම්භ වන්නේ අනතුරුවය. මධුෂ් සහ අංගොඩ ලොක්කා වට්ස්ඇප් තාක්ෂණයෙන් ලොකු අයියාගේ ජංගම දුරකතනයට ඇමතුමක් ගත්තේය. රිස්ඛාන්ගේ ඝාතනය ගැන ඔහුගෙන් ප්‍රශ්න කරන්නට ගත්තේය.
අනේ මධුෂ් අයියේ මාව මරන්න එපා. ආයිමත් මම අයියට විරුද්ධව වැඩ කරන්නෙ නැහැ. කොස් මල්ලී කඳුළු වගුරවමින් සිය ජීවිතය යදින්නට ගත්තේය.

ඔබේසේකරපුරදී මගේ සහෝදරයවත් මරන්න තෝ ඔත්තු බලල තිබ්බ. එහිදී මධුෂ් යක්ෂාවේෂයෙන් ඔහුට කියන්නට වූයේ 2005 වසරේදී රාජගිරිය ඕබේසේකර පුරදී ඝාතනය වන හර්ෂ යසස් ගැන මතකයට නගමිනි. හර්ෂ යසස් දුරින් මධූෂ්ගේ ඥාතියෙකි. මධුෂ්ගේ දකුණු අත බඳු ඔහුව ඝාතනය කෙරෙන්නේ සමයංගේ සැලසුමකට අනුවය. එම ඝාතනයට සම්බන්ධ වූ බොහෝ දෙනෙකු මේ වන විට සිටින්නේ වළපල්ලට ගොසිණි. ඉතිරිව ඇත්තේ දෙතුන් දෙනෙකු පමණි. පසුගිය දා බොරැල්ල කොටා පාරේදි මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වන්නේද එම ඝාතනයට සම්බන්ධ වූවෙකි.

මධුෂ්ට මෙන්ම අංගොඩ ලොක්කාටද කොස් මල්ලී සමග විසඳා ගන්නට ප්‍රශ්න රාශියක්ම තිබුණේය. අංගොඩ ලොක්කාගේ හොඳම ගෝලයෙකු වූ රත්තරන්ව මරන්නට පවා සමයංට ඔත්තු දී තිබුණේ කොස් මල්ලීය. අංගොඩ ලොක්කා ඒවා කොස් මල්ලීට මතක් කර දෙන්නට එහිදී අමතක නොකළේය.

තව ටිකකින් කොළඹින් කට්ටියක් එයි. ඕකව මරල ඔළුව ඒ අයට දෙන්න. මධුෂ් දුරකතන ඇමතුම විසන්ධි කරන්නේ ලොකු අයියාට ඒ උපදෙස දෙමිනි.

මරණය අත්වන බව දැනගත් කොස් මල්ලීද තමාව මරා දමන තෙක් බලා නොසිට අඳුරේම පැන යන්නට උත්සාහයක් ගත්තේය. ඒ උත්සාහය ව්‍යර්ථ වන්නේ පැනයන්නට ගිය ඔහු ගස් ලබු වගා බිමේදී වෙඩි ප්‍රහාරයකට ලක්වීමෙනි. ඔහුට එසේ වෙඩි තබන්නේ වෙන කිසිවෙකුත් නොව, මධුෂ්ගේ කුලී ඝාතකයෙකි. ඔහු නමින් අමිලය. මිනිස් ඝාතන මංකොල්ලකෑම් ඇතුළු අපරාධ 54 කට චෝදනා ලැබූවෙකු වන ඔහු සියඹලාණ්ඩුවේදී පසුගිය වසරේ දෙසැම්බර් 12 වෙනිදා බන්ධනාගාර අත්අඩංගුවෙන් පැන ගිය අයෙකි. පැන යන විට බන්ධනාගාර නිලධාරීන් තැබූ වෙඩිල්ලකින් තුවාල ලබා සිටි ඔහුව සඟවාගෙන වෙදකම් කර ඇත්තේ ලොකු අයියාය. ඔහු පසුගිය කාලය පුරාම සිටියේ ලොකු අයියාගේ රැකවරණයේය.

පැයක් හමාරක් යන විට මධුෂ් කී කොළඹ කණ්ඩායම එහි එන විට සියල්ල සිදුවී හමාරය. කළ යුතුව තිබුණේ කොස් මල්ලීගේ හිස කඳින් වෙන්කර කොළඹින් පැමිණි කණ්ඩායමට භාරදීමය. කණ්ඩායමක් කීවාද එහි සිටියේ දෙදෙනෙකු පමණි. ඔවුන් එන්නේ මෝටර් රථයකිණි. ඔවුන් කළු පැහැති ෂොපින් උර කිහිපයක්ද රැගෙන විත් තිබුණේ හිස දමාගැනීමටය. එයින් එක් උරයක් අතට ගන්නා අමිල මළ සිරුර අසලට ගොස් කොස් මල්ලීගේ හිස කඳින් වෙන් කරන්නේ පිහියකින් කපාය. එම හිස ‍පොලිතින් උරයේ බහා මෝටර් රථයෙන් පැමිණි අය අත තබන්නේද අමිලය. එම හිස තවත් උර කිහිපයක දමාගන්නා ඔවුන් මෝටර් රථයේ ඩිකියට දමාගෙන පිටව යන්නේ කොළඹ බලාය. ඒ අය කවුරුන්දැයි ලොකු අයියා හෝ ඔහු සමග සිටි ගෝලයින් කිසිවෙකු දැන සිටියේ නැත. ඔවුන් කවුරුන්දැයි දන්නේ මධුෂ් සහ අංගොඩ ලොක්කා පමණි. අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ආසන්නයේ තිබි 07 වෙනිදා හමුවන්නේ අඟුණකොළපැලැස්සේ ගෝඨාභය ගමෙන් රැගෙන ගිය කොස් මල්ලිගේ හිසය.

එසේ කොස් මල්ලීගේ හිස අළුත්කඩේ අතහැර යන විට කඳ කොටස ගිනි තබා විනාශ කිරීමට ලොකු අයියා උත්සාහයක නිරත වූයේය. ඒ ටයර් සහ ‍පොල්කටු දමා ගිනි තබමිණි. එහෙත් එය එතරම් සාර්ථක නොවීය. අනතුරුව කොස් මල්ලීගේ අඩක් පිලිස්සුණු මළ සිරුර වගා බිමට යාබදව ඇති පතල් වළකට දමා වැසීමට ලොකු අයියා වග බලාගත්තේ කිසිවෙකුටත් සැකයක් ඇති නොවන ලෙසිණි. කුඹුරු යායකටද මැදිව පිහිටි එම පතල් වළ දින තුනක් තිස්සේ පස් දමමින් වසන්නට වූයේ ඒ ආසන්නයේම තවත් වළක් කපා එම වළෙන් ගොඩ දමන පස්වලිනි.

කොස් මල්ලීගේ කඳ කොටස සොයමින් සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ විමර්ශකයන් ඒ වන විට කොස් මල්ලීගේ ඝාතනයේ බොහෝ තොරතුරු අනාවරණය කරගන සිටියත් ලොකු අයියා ඇතුළු කණ්ඩායම අල්ලා ගැනීමට කිසිසේත්ම ඉඩක් නොවීය. ඒ කල්තියාම ඒ ගැන මධුෂ්ගේ කන වැකී තිබිම නිසා ලොකු අයියා ඇතුළු පිරිස අඟුණකොල පැලැස්සෙන් පන්නා තිබුණු බැවිණි.

කඹුරුපිටියේ පිහිටි මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවසේ සැකකටයුතු පිරිසක් රැඳී සිටින බවට කඹුරුපිටිය ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ඕ.යූ. ජයශාන්තට තොරතුරක් ලැබෙන්නේ ඔය අතරතුරදීය. ඔහු වහාම ක්‍රියාත්මක වෙමින් එම නිවසේ සිටි සිව් දෙනෙක් අත්අඩංගුවට ගන්නේ සැකපිටය. මේ අය මධුෂ්ට සම්බන්ධකම් ඇති අය බව වටහාගත් ‍පොලිස් ස්ථානාධිපතිවරයා වහාම දුරකථන ඇමතුමක් ගන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ‍පොලිස් අධිකාරී නිශාන්ත සොයිසාටය. ඒ මධුෂ් සම්බන්ධයෙන් සියලු විමර්ශන පවත්වන ප්‍රධානියා වන්නේ ඔහු වන බැවිණි.

වහාම ක්‍රියාත්මක වන නිශාන්ත සොයිසා විශේෂ ‍පොලිස් කණ්ඩායමක් කඹුරුපිටියට යවන්නේ අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරන්නටය. ඒ අය අතර කොස් මල්ලීගේ ඝාතනයට සම්බන්ධ වූවන් දෙදෙනෙකුම සිටින බව හෙළිවන්නේ එහිදීය. එක් අයෙකු අමිලය. අනිකා රාළහාමි නමැත්තෙකි. කොස් මල්ලීගේ දෑත් බැඳ පහර දෙන්නේ ඔහුය. ලොකු අයියා ඒ අය අතර නොවීය. මොවුන් සිව් දෙනා එදා මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවසට වී සිටින්නේ මධුෂ්ගෙන් දුරකන ඇමතුමක් ලැබෙන තුරුය. ඒ ඝාතන කොන්ත්‍රාත්තුවකටය. ‍පොලිසිය විශ්වාස කරන්නේ බොහෝ විට එම ප්‍රහාරය මැණික් ව්‍යාපාරිකයෙකු ඉලක්ක කරගනිමින් එල්ලකරන්නට නියමිතව තිබුණු බවය. ඒ, එම ව්‍යාපාරිකයා මධුෂ්ට කප්පම් දීම ප්‍රතික්‍ෂේප කර ඇති බැවිනි.

මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවසින් අල්ලාගත් අමිලත් රාළහාමිත් ‍පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ කොස් මල්ලීගේ ඝාතනයේ සියල්ල වමාරන්නට ගත්තෝය. ඒ ඔස්සේ කොස් මල්ලීගේ මළ සිරුර ගොඩගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය වග බලාගන්නා විට මධුෂ්ගේ මත්කුඩු ජාලයේ කොළඹ නියෝජිතයෙකු ආමර් වීදියේදී වෙඩි තබා ඝාතනය වන්නේ මෝටර් රථයක් තුළදීය. වසර 11ක්ම බන්ධනාගාරගතව සිට ඇති ඔහු බන්ධනාගාරයේදී මධුෂ්ගේ හොඳම ගෝලයෙකු වජිර නමැත්තා සමග ගැටුමක් ඇති කරගෙන ඇති බවද සඳහන්ය. මෑතකදී මීගමුව කුරණ ප්‍රදේශයේදී ‍පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි ප්‍රහාරයකට ලක්ව තුවාල ලබන්නේ වජිරය.

ආමර් වීදියේ වෙඩි තැබිමෙන් පැය කිහිපයකට පසු අතුරුගිරියේදී සමයංගේ ගෝලයෙකුද වෙඩි තබා ඝාතනය වී තුබුණේය. මේ සියලු ඝාතනයන් සමග කියැවෙන නමක් බවට පත්ව ඇත්තේ මාකඳුරේ මධුෂ්ය.

ගයාන් කුමාර වීරසිංහ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com