master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සිංහලයට බයේ සුද්දා පූජා කළ පල්ලියේ පන්සල බළපිටිය නායක පන්සල


2018-03-24 09:05:28 -  622 යි

වීරවරයින්ගේ නගරය කියලා හඳුන්වන බළපිටිය නගරය දක්ශිණ දේශයේ ඉතිහාස කතාවලදී ප‍්‍රධාන තැනක් ගන්නවා. රාවණා රජ කාලේ අංගම් පොර උගන්නන්න ගොඩ බැස්ස යක්ෂ සේනාවක් හිටියා කියලා සඳහන් වෙන බළපිටිය ඒ කාලේ හැඳින්නුවේ වැලිතොට කියලා. අතිශය රණකාමී මේ යක්ෂ සේනාව ලංකාවේ අංගම්පොරවලට ප‍්‍රසිද්ධ අනෙකුත් නගරවලට බෙදිලා ගියාට පස්සෙ කොටසක් බළපිටියේම නතරවෙලා. අන්න ඒ නතරවෙලා හිටිය පිරිසගෙන් පැවැත එන අඟම්පුඩි පරම්පරාවේ මිනිස්සු අදටත් බළපිටියෙ ජීවත් වෙනවා.

පසුකාලීනව දඹදෙණිය යුගයේදී දේවපතිරාජ ඇමැති විසින් කේරළ හමුදාවන්ට එරෙහි යුද සංවිධානය කළ නිසා බලයෙන් පිරුණු පිටිය, එහෙමත් නැත්නම් බළපිටිය කියලා මේ ප‍්‍රදේශයට අද භාවිත වෙන නම් ව්‍යවහාරයට එකතුවුණා. පෘතුගීසි ආක‍්‍රමණය සිදු වෙන වෙලාවෙදි දළදා වහන්සේ සැඟවූ කොත්ව විහාරයත් අයත් වෙන්නේ මේ බළපිටිය ප‍්‍රදේශයට. ඒ වගේම පුරාවිද්‍යාත්මක වැදගත් සංරක්ෂිත ස්ථාන කීපයකුත් බළපිටිය අවට පිහිටලා තියෙනවා.

අද කියන්න යන්නේ කලින් දවසක ගෙදර යන ගමන් දැකපු අපූරු පන්සලකට ගිය ගමනක් ගැන. බළපිටිය ශ‍්‍රී පුෂ්පාරාම විහාරය එහෙමත් නැත්නම් බළපිටිය නායක පන්සල පිහිටලා තියෙන්නෙ බළපිටිය බස් නැවතුමේ ඉඳන් ටිකක් කොළඹ පැත්තට වෙන්න. ගෙදර ඉඳන් කොළඹ එනගමන් මේ පන්සලට ගොඩ වැදිලා බලලා යන්න හිතුන නිසා මුලින්ම ඒ පැත්තෙ යාළුවෙක්ට කතා කරලා බැලූවා හරියටම විස්තරයක් දැනගන්න පුළුවන්ද කියලා. මට ඉන්නෙත් ගොඩක් සංචාරේ ප‍්‍රිය යාළුවෝ නිසා විස්තර කියපු ගමන් මාත් එක්ක යන්න එන්නත් කැමති වුණා. බළපිටිය බස් නැවතුමට ඇවිත් එතනින් ටිකක් දුර කොළඹ පැත්තට එනකොට දකුණු අත පැත්තෙ නායක පන්සල කියලා තොරණක් එක්ක පන්සල තියෙන්නෙ පාර අයිනෙම නිසා හොයාගන්න අපහසුවක් නෑ.

පන්සලට ඇතුළු වුණ ගමන් පේන්නේ පල්ලියක්. දකින  ඕන කෙනෙක්ට හිතෙන්නෙ පන්සලක් ඇතුළේ පල්ලියක් තියෙනවා කියලා. වම් අත පැත්තේ අමුතු හැඩයක් තියෙන බුදු ගෙයක් එක්කම පන්සලේ ගොඩනැගිලිවල සෑහෙන අමුත්තක් තියෙනවා කියලා අපිට හිතුණා. කෝකටත් වාහනේ හෙවණක නවත්තලා අපි මුලින්ම පල්ලිය වගේ ගොඩනැගිල්ල ඇතුළට ගියා. පල්ලිය වගේ ගොඩනැගිල්ල බු.ව 2414 දී ඉදිකරා කියලත් ඉහළ කොටසේ ඉදිරිපසින් සටහන් කරලා තියෙනවා.

ක‍්‍රිස්තියානි පල්ලියක වගේ විශාල උස් වහලයක් වගේම ගොතික් ගෘහ නිර්මාණ ශිල්පයට අදාළ අමුතු නිල් පාට දොරවල් හතරක් ගොඩනැගිල්ල ඉදිරිපසින් තිබුණා. දැනට පන්සලේ ධර්ම ශාලාව විදියට යොදාගන්නේ මේ ශාලාව කියලා අපිට හිතුණේ දහම් පාසල් ඩෙස් පුටු පන්තිවලට වෙන් කරල තියෙන විදිය දැක්කම.

පරණ කඩදාසි මල් සැරසිලිවලින් ඒ ශාලාව සරසල තිබුණා. දේවස්ථානයක අල්තාරය තියෙන්න  ඕන තැන ඉඳන් දෙපැත්තට කැටයම් කරපු ලී පඩිපෙළක් ශාලාවේ ඉහළ බැල්කනි දෙකට තියෙනවා . කාලෙකින් කිසි කෙනෙක් පාවිච්චියට අරගෙන නැති මේ පඩිපෙළ දිගේ ඉහළට නගින්න පුළුවන් වුණත් සමහර තැන්වල ලී දිරලා තිබුණ නිසා අඩිය තියද්දී පරිස්සම් වෙන්න වුණා පහළට නොවැටී ඉන්න. පඩිපෙළ ඉහළින් අවසාන වෙන්නෙත් ඉහළ තියෙන බුදු පිළිම කිහිපයක් අසලින්. ඒ එක්කම ඇතුළු බිත්තිවලටත් අපූරු දේව රූප කීපයක් ඇතුළත් කරලා තිබුණා. ලී තට්ටුව තැනින් තැන කැඩිලා නිසා අපි තවත් එතන ඇවිදින්නෙ නැතුව පහළට බැස්සා.

ඊළඟට අපි ගියේ බුදු ගෙයක් කියලා හිතෙන ගොඩනැගිල්ලට. ලංකාවේ දකින්න තියෙන සාමාන්‍ය පන්සල්වලට වඩා මෙතැන බුදුගේ සුවිශේෂයි. තනි සුදුපාටින් පිටින් පේන බුදුගේ ඇතුළ බොහොම අලංකාර පිළිම හතරක් සිව් දිශාවෙන් පිහිටලා තිබුණා. ඒ වගේම තැනින් තැන පිළිමවල ජාතක කතා, බුදු සිරිතේ අවස්ථා කැටයම් කරලා තිබුණා. ඒ අතර ඇතුළු බිත්තිවල දේව රූප සිතුවම් කරලා තිබුණා. බුදු ගේ වටේට ඇවිදගෙන ආයෙත් එළියට යන්න ආව අපි දෙපැත්තට ඉහළට තියෙන පඩිපෙළක් දැක්කෙ එතකොට. ඒ එක්කම දේව රූපවලට අමතරව මිනිස් පිළිමයක් තියෙනවා . ඒ ලත්තුවාහන්දි සරදියෙල් සිල්වා මුදලිතුමාගේ පිළිමයක්. එතුමා තමයි මේ විහාර මන්දිරේ හැදුවේ කියලා ඊට පහළින් පුවරුවක සටහන් වෙනවා.

පඩිපෙළ දිගේ ඉහළට ගිය අපිට විහාර ගේ පිටතින් තියෙන පොඩි කුටි කීපයකුත් දකින්න ලැබුණා. ඒ කුටිවලත් බුදු සසුනේ විශේෂ අවස්ථා පිළිම නෙළලා තිබුනත් නඩත්තු කටයුතු නිසි ආකාරයෙන් නොවෙන නිසා ඒවා ඒතරම් හොඳ තත්ත්වයක තිබුණේ නෑ. විහාර ගේ ඉහළ මාලයත් අපූරු කැටයම්වලින් පිරිලා තිබුණා. බොහෝ දුරට මේ කැටයම් සමාන වෙන්නේ තායිලන්තය වැනි රටවල පන්සල්වල තියෙන කැටයම්වලට. ඒ කියන්නෙ පෘතුගීසි ආභාෂය තියෙන ගොඩනැගිල්ල වගේම තවත් විදෙස් ආභාෂයක් මේ පන්සලට ලැබිලා තියෙනවා.

එතැනින් පහළට ඇවිත් එළියේ තිබුණ චෛත්‍යය ඇතුළට යන්නත් අපි අමතක කළේ නෑ. කොහොමත් පන්සලේ ගොඩනැගිලි අමුතුයි කියලා අපි මුලින්ම හිතුවා වගේම ඒක එහෙම තමයි. චෛත්‍යයක් ඇතුළෙත් ඇවිදින්න පුළුවන් වෙන්න හදල තියෙන්නේ සිව් දිශාවට බුදු පිළිම හදලා තිබුණා. එහෙම බැලූවම පන්සල් භූමිය ඇතුළේ බුදු පිළිම දහයකට වඩා තියෙනවා.

එතැනින් එළියට ආව අපිට පන්සලේ අතවැසියෙක්ට කතා කරන්න අවස්ථාව ලැබුණේ හදිසියේ ආව අමුත්තෝ කවුද කියලා බලන්න ඇවිත් හිටිය නිසා. පන්සලේ තියෙන මේ අමුතු ගෘහ නිර්මාණ ශිල්පයට හේතුව වගේම පන්සලේ අතීතය ගැනත් අහන්න අපි අමතක කළේ නෑ.

නෝනා මේ පන්සල මුලින් පල්ලියක් කියලා තමයි පෘතුගීසි කාලෙ හදලා තියෙන්නේ. කොහොමත් මේ පළාත්වල අය ටිකක් වස නිසා බෞද්ධ ගමක පල්ලියක් හදනවට විරුද්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ පන්සලට පූජා කරලා තියෙන්නෙ.

එතකොට කොහොමද මේ බුදුගේ මෙහෙම අමුතු හැඬේකට හදලා තියෙන්නෙ?
ආ, ඒ මුදලිතුමා තමන්ගේ බලය පෙන්නන්න පිටරටින් මිනිස්සු ගෙනැත් මේක හදවපු නිසා. හැබැයි ඉතින්  ඕවා ඔක්කෝම කටින් කට එන ඒවා මිසක් කොහේවත් ලියලා නෑ. අවුරුදු 130ක් විතර පරණයි කියලා කියනවා පන්සල. හදපු කෙනෙක් කවුරුත් හරියට දන්නේ නැහැ. කප්පින වලව්වේ හාමු මහත්තයා, විජේසේකර වලව්වේ උදවිය එහෙමත් එකතුවෙලා මේවා හදල කියලා කියනවා. කොස්මෝ විජේසේකර මුදලි මහත්තය හරි නම් කැප්පෙටිපොළ දිසාවෙගේත් මාමා කෙනෙක් වෙනවා. අද පොඩි නම විතරයි ඉන්නේ. ලොකු හාමුදුරුවෝ හිටියා නම් වැඩිපුර විස්තර අහගන්න තිබුණා.

එහෙම කියපු ඒ මහත්මයා ආයෙත් ආවාස ගේ පැත්තට ගියේ අපිට බෝධිය පැත්තට යන්න ඉඩ දීලා. ඊට එහා පැත්තෙ විෂ්ණු දේවාලයකුත් තිබුණා. වටපිටාවේ තවත් ටිකක් වෙලා ඇවිදපු අපි පල්ලියක් වගේ පන්සලෙන් සමු අරන් කොළඹ එන්න පිටත් වුණා. ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ චූලගණ්ඨි මහානිකායේ නිකාය මූලස්ථානය විදියට සැලකෙන නිසා වැලිතර නායක පන්සල කියලා කියන්නෙත් මේ පන්සලටමයි. වීරවරයින්ගේ බිම පහුකරගෙන යන ගමනක මේ පන්සලටත් ගොඩවැදිලා ගියොත් ඒක අපූරු අත්දැකීමක් වේවි.

ප්‍රතිභා මධුෂානි





  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com