www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

නැති වූ දරු සොවින් වනපෙතේ සරණා යක්කුරුලු ආත්මය


2018-03-24 08:45:56 -  793 යි

වැව් තෙරට ඔබ්බෙන් පිහිටි ලඳු පෙදෙසින් ගීතවත් සිවුරුවම් හඬක් නැගෙයි. මම ඒ හඬ පිළිබඳව විපරම් කළෙමි. දුරුත්තේ හීතල අහවර කරමින් රජයන හිරුකැන් මිලිනව යනු දැක, ඒ බැව් ශෝකී ගී තනුවකට නගා ගයන වන පුතු කවුද? අතු ඉතින් සිඳී නග්න වූ කටු පිල ගසක මුදුන් අතු අගිස්සෙහි හිඳ විරහ ගී කියමින් හිරු බැස යාම දෙස බලා ඉන්නේ විහඟ ‍පෝතකයෙක්. වනාතෙන් චර නැගෙන වළි කුකුළු, හබන් කුකුළු, ‍පොල්කිචි, දෙමළිචි, බට්ටිචි, පිනේලිව් ආදි නෙක විධ පක්ෂීන්ගේ පසුබිම් ගී ගායනා අතරේ ගෝනකුගේ ටං ගෑම කෙසේ නම් මුසු කරන්නද?

මම ගෝන ටං ගෑම දෙස හැරී බැලුයෙමි. වනාතෙන් මතු වූ අඟ ගෝනෙකු එක් වනම නතර ව හිඳිමින් අවට විපරමක යෙදෙයි. රජකුට ඔටුන්නක් හා සමාන, තමන්ගේ විසල් අං තට්ටුව ප්‍රදර්ශනය කරමින්ම ඔහු වැව්තෙර වටා විපරම් බැලුම් හෙළයි. ඒ තමාගේ එදිරිවාදියාගේ සපැමිණීමට කාලය එළැඹ ඇති බැව් හොඳින්ම දන්නා හින්දාද. වැව වටාම ප්‍රදේශය සුරක්ෂිත බැව් පසක් කරගත් අනතුරුව රාජකීය ලීලාවෙන් සිව් පා කුර තදින් ‍පොළොවේ ගටමින් දියවර කරා ළං වී සිය සා පවස නිවා ගිනිත්ම වනාතෙන් එක්වරම නැඟි රුදුරු දිවි ගෙරවුම, ගෝනාගේ දිය බිම එතෙකින්ම හමාර කිරීමට සමත් වුණු හැඩයි. ගෝනා වහ වහා වැව් තෙරින් මෑත්ව වනාතට වැදුණා. රාත්‍රියේදී තම වසමේ හක්කලන් කරනා තල්ගහදිගන දිවියාගේ තරම කෙබඳුදැයි වන වාසීහු හොඳාකාරම දන්නවා.

දිරා ගිය වීර කොටයක් මතට වී බැස යන හිරුගේ සුන්දරත්වය විඳිමින්ම පසු වූ කලූ දිවි ගෙරවුමින් තම දහැන බිඳ ගත් හැඩයි.

මහත්තයෝ කොටියා නේද?
හේ මගෙන් අසයි. කොටය මත හිඳ සිටින කලුත්, කළුවර සළු පිළි ‍පොරවා ගැනීමට තතනන වනාතත් මළ හිරු රැසින් බබළන රන් දියවරත් ඒකාත්මිකව පරිසරයට අනුගතව ඇත්තා සේය.
ඔව් කලූ තල්ගහදිගන දිවියා වැවට බහින්ට එන හැඩයි
රාත්‍රිය වන පෙතට අඬ ගසයි.

සවස් කරේදී වැව් තෙර පැවැති මිහිරියාව සිත් සේ විඳගත් කලූ තල්ගහදිගන සංචාරක නිවහන දෙසට ඇදෙනු මම බලා සිටියෙමි. ඒ මීට මොහොතකට පෙරදී එක් කළ දර කොටන්වලට ගිනිලා කදිම ගිනි මැලයක් දල්වන අටියෙනුයි. ඇත්තටම රාත්‍රිය තුළදී වන පෙතේ ගෙවනා ජීවිතය තුළ රජයන පාළුව, තනිකම මකා ගැනීමට දල්වන ගිනි මැලයෙන් මනා පිටිවහළක් ලැබෙතැයි මා සඳහන් කළහොත් ඔබද එයට එකඟ වනු නියතය.

වැව ඉහත්තාව දෙසින් සඳ නැග එනු පෙනේ. මමද ගිනි මැලය අබියස වූ කොටයක් මත හිඳ ගතිමි. ගිනි මැලය බුර, බුරා නැඟෙයි. ස්වකීය බලය එක් තැන් කර ගනිමින් නිකුත් කරන ආලෝක පුංජය හමුවේ එළිය වුණු කවාකාර වපසරිය විනා ඉන් ඔබ දිස්වනුයේ කාලවර්ණ බහු රූප ඡායා මාත්‍රයන් විතරයි. ගිනි මැලය අභියස පැදුර එළා ගත් මම බැඳි දෑත් මත හිස තබා ගනිමින් සැතපුණෙමි.

හූහූහූහූහූ. හූ හූහූහිහ්හිහ්.. හුහ්හුහ්කෑහැඩ ක්හැඩ හූහී.
අපගේ කූඩාරම අබියස යෝධ පලු ගස මුදුනතින් වර නැඟී එන අව්‍යක්ත රාවයට මා තිගැස්සිණ. ගිනි මැලය අබියස ඇණ බා හිඳ සිටි කලූද ක්ෂණිකව ඉන් මෑත් වී මා අබියසට පැමිණියේ බියෙනි. අතැති විදුලි පන්දම පලු ගස මුදුනට එල්ල කළා. ගසේ අත්තක ලැග සිටි විසල් බකමූණෙක්, විදුලි පන්දමට දෙනෙත් පාමින් තටු විහිදාගෙන, කට අයා ගෙන රකුස් බැල්මක් හෙළයි.

මහත්තයෝ යක් කුරුල්ලා නේද? බියපත් කලූ මගෙන් අසයි.
අත්තටු විහිදා ගත් බස්සා වලිග පෙඳි විදහා ගනිමින්ම නර්තනශීලීව අත්ත මත ඔබමොබ පනිමින් පෙරට වඩා සිහින්, නමුදු තිව්‍ර බිහිසුණු හූ හඬක් යළිදු නැගීමට අර අඳියි. එයද අහවර වූයේ රළු කැස්සකිනි. වටපිටාවේ රජයන ගන අඳුර හා සමඟ යක් කුරුලු අෙදා්නාව මුහු වූ කලා නිර්මාණය වූ වටපිටාව කෙලෙසක නම් විස්තර කරන්නද?

යමු නේද කූඩාරමට කූඩාරමට වැදෙමින් කලූ පවසයි. මමත් ඔහු පසුපස යමින් කූඩාරමට ඇතුළු වුණේ යක්කුරරුල්ලාගේ හඬ නැගීම ගැන සිතමින්. අප කූඩාරමට ගොඩවුණා විතරයි ආයෙත් යක් කුරුලු අදෝනාව පලු ගස මුදුනින් වරින් වර ඇහෙන්නට වුණා. ඒත් එක්කම බොහෝ ඈතින් වැවේ එගොඩ ඉහත්තාව දෙසින්ද ගැඹුරු හූ තැබිමක් ඇහුණා. එයට පිළිතුරු දීපු අප ඉසව්වේ හුන් යක් කුරුල්ලා බස බස සරින් තම දිගු අත් තටු සලමින් කූඩාරමට ඉහළින් ගියා.

කූඩාරමේ මුදුන් කණුවේ එල්ලා ඇති ලන්තෑරුම් එළියෙන්, කලූගේ මුහුණේ රැඳී ඇති භීතියේ ලකුණු කදිමට පෙනෙයි.
වන ගත දිවියේ භයංකරත්වයේ ප්‍රතිමූර්තියක් බඳු යක් කුරුල්ලාගේ අදෝනාව වනයට ආගන්තුක අයට බිය ගෙන දෙයි. ඒත් ඒ හඬ වනයට සුපුරුදුයි. යක් කුරුල්ලා වශයෙන් වන නම පටබැඳි මෙකී පක්ෂියා සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබන්නේ උලමා කියලයි. කුරුලු ලොවේදී උකුසු බකමූණා වශයෙන්ද හඳුන්වන මේ පක්ෂියා මාමුහුණු කුලයට අයත් මෙරට ලොකුම කුරල්ලාද වෙයි. ගෙල මිරිකීමේදී කාන්තාවක් නගනා මර ළතෝනි හඬට බොහෝ සේ සමානකමක් පානා අදෝනාව ඇසීමට හැකිවෙන්නේ බොහෝ විට රැයකදීයි. දහවල් කාලයේ වනයේ අඳුර රජයන තැනක ලැග සිට රාත්‍රී සමයේදී වනය පුරා පියාසරයි. බියකරු විලාපය වැඩිමනත්ම තීව්‍ර සේ නගනුයේ අභිජනන සමයේදීය. අප්‍රේල් සහ මැයි අතරතුර මාසය උල‍ලේනිය ගේ ප්‍රකට විලාපය වනපෙතේ නින්නාද වන සමය වශයෙන් හැඳින්විය හැකිය.

 සඳමාල්  රශ්මි ශ්‍රී බුද්ධික



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 13 =       

New Page 1

  2014 by www.eethalayanews.com