master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පාතාලය ‍පොලිසියට ඉහළින්ද?


2018-03-22 09:32:18 -  11335 යි

වැඩිකල් යන්නට මත්තෙන් අපේ රට චිකාගෝ නුවරක් බවට පත්වනු ඇති බවට ඉඟි මේ වන විට පළවෙමින් ඇත. ඒ වෙන කිසිවක් නිසා නොව. ‍පොලිසිය මෛත්‍රී භාවනාවේ නිරතව සිටින විට පාතාලය පෙර නොවූ විරූ ලෙස වැඩ පටන්ගෙන ඇති බැවිනි. සොත්ති උපාලිලා, ගෝනවල සුනිල්ලාගෙන් අඩිතාලම දැමූ දේශපාලනය හා බද්ධ වුණු වර්තමානයේ ක්‍රියාත්මක පාතාලය දැන් ‍පොලිසියට පවා අභියෝග එල්ල කිරීමේ තැනට පත්ව ඇත. ඊතලය ඊයේ සිය ප්‍රධාන ප්‍රවෘත්තියෙන් පවා රටට අවධාරණය කර ඇත්තේ ඒ ගැනය.

මේ වන විට රටම හොල්ලන ‍පොලිසියට අභියෝගයක්ව ඇති පාතාලයේ ගෝඩ් ෆාදර් බවට පත්ව සිටින්නේ මාකඳුරේ මධුෂ්ය. ඉහළපෙළේ දේශපාලනඥයන් රැසක්ද ඉතා ළඟින් ඇසුරු කරන ඔහුට ඉකුත් පළාත් පාලන මැතිවරණයේදී සිය ගෝලයින් පවා අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කරන්නට පවා බලයක් තිබුණි. දැන් මෙරට මත්කුඩු ජාලයේ වැඩි බලය අත්කරගෙන සිටින්නේද මධුෂ් බව ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය පවා හෙළිකරගෙන හමාරය. ඔහු මෙරට පාතාලය මෙන්ම මත්කුඩු ජාවාරම මෙහෙයවන්නේත් ඩුබායි සිටය.

කියැවෙන ආකාරයට අනුව මාකඳුරේ මධුෂ් අපරාධ ලෝකයේ අත්‍පොත් තබා ඇත්තේ බන්ධනාගාරයෙනි. දක්ෂිණ සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ඩැනී හිත්තැටියගේ මධුෂ් විසින් ඝාතනය කරවන්නේද බන්ධනාගාරයේ සිටය. අපරාධ ලෝකයේ වැඩ්ඩෙක් ලෙස මධුෂ් කරළියට එන්නේ එම ඝාතනයත් සමගිනි. මාකඳුරේ මධුෂ් එල්.ටී.ටී.ඊ ය සමග එක්වෙමින්  මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාව සිටියදී ඔහුවද ඝාතනය කිරීමට මාන බැලූවෙකි.

ඊට අමතරව ඔහු එකල ආරක්ෂක ‍ලේකම්වරයාව සිටි ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමටද සැලසුම් සකස්කර තිබුණි. මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට පවා ඔහු එකල පිඹුරුපත් සකස්කරන්නේ බන්ධනාගාරයේ රැඳෙමිනි. ඒ දෙ‍පොළ ඝාතනය කිරීමට ඔහු සැලසුම් කරන්නේ පාතාලයට එරෙහිව ගෙනගිය වැඩපිළිවෙළට එරෙහිවය.

ආණ්ඩු පෙරළියත් සමග බන්ධනාගාරයෙන් එළියට එන මධුෂ් වැඩි කාලයක් මෙරට රැඳී සිටියේ නැත. ලෝකයේ ඕනෑම රටක අපරාධකරුවකුට ආරක්ෂිතව රැඳී සිටීමට හැකි නිජබිම වන ඩුබායි රට ඔහු සැඟවී සිටින්නට තෝරා ගත්තේය. දැන් ඔහු සියලු අපරාධ මෙහෙයවන්නේ එහි සිටය. මෙයට පෙර පිටරටක සිට පාතාලය මෙහෙයවූ කල්ලි නායකයෙක් වී නම් ඔහු නාවල නිහාල් පමණි. එකල ඔහුද පාතාලයේ ගෝඩ් ෆාදර් වරයෙකි. ඔහු මෙරට පාතාලය මෙහෙයවූයේ ඉතාලියේ සිටය.

මාකඳුරේ මධුෂ් ඩුබායි සිට වැඩ ඇල්ලුවේ කළුතරදී බන්ධනාගාර බස් රථයකට ප්‍රහාරයක් එල්ලකරමින් පාතාල කල්ලි නායකයකු වූ සමයං ඇතුළු හත්දෙනකු ඝාතනය කරමිනි.

මධුෂ් එතැනින් සීමා වූයේ නැත. ඔහුගේ මත්කුඩු ජාවාරම පස්සේ ඉව අල්ලමින් සිටි ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ ‍පොලිස් පරීක්ෂක රංගජීවද පිළියන්දලදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ ගත්තේය. එහිදී රංගජීවගේ දිවි ගැලවුණත් ‍පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ වෙනත් නිලධාරියෙක් සහ මහමග සිටි අහිංසක දැරියක් මිය ගියහ.

ඒ ගැන පරීක්ෂණ පවත්වන ‍පොලිස් නිලධාරීන්ට පවා මධූෂ් තර්ජනය කර තිබුණි. එසේ තර්ජනයට ලක්වූවන් අතර මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරාද සිටී. කළුතර ප්‍රහාරය ගැන තොරතුරු සොයමින් සිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සැරයන් දාස් ගුප්තාටද මධුෂ්ගෙන් තර්ජනයක් ආවේය. ඒ නිකම්ම නිකම් තර්ජනයක් නම් නොවේ. මරණීය තර්ජනයකි.

ඒත් එක්කම ‍පොලිසියේ ලොකු මහත්වරු කිහිප දෙනෙක් රැස්වී මධුෂ්ට එරෙහිව අවි අමෝරන්නට ‍පොලිස් මූලස්ථානයේ රහස් සාකච්ඡාවක නිරත වූහ. එම සාකච්ඡාව නිමවනවාත් සමග එහි සිටි ‍පොලිසියේ ඉහළම නිලධාරියකුට ඇමතුමක් ලැබෙන්නේ මධූෂ්ගෙනි. එය නිකම්ම නිකම් ඇමතුමක් නොව. අභියෝගයකි. ඒ පුළුවන්නම් තමාට එරෙහිව කරන්නට හැකි ඕනෑම දෙයක් කරන ලෙසය. දැන් ඒ තර්ජනයෙන් වසරකට වැඩි කාලයක්ම ගෙවී ගොස් හමාරය. ‍පොලිසියට මධුෂ්ගේ  කෙස් ගහකටවත් අතක් තියන්නට හැකියාවක් ලැබි නැත. මධූෂ්ගේ අභියෝගයට මුහුණ දෙනවා වෙනුවට ‍පොලිස් ලොක්කෝ භාවනා කරමින් සිටියදී දැන් මධුෂ් මුළු රටේම පාතාල බලය අල්ලමින් සිටින්නේ ඉවක් බවක් නොමැතිවය. ඒ සිය අණට අකීකරු වන ප්‍රතිවාදී පාතාල සාමාජිකයන් මහ දවාලයේ අමු අමුවේ මරා දමමිනි. මේ තත්ත්වය මත පාතාලයට එරෙහිව පසුගිය කාලයේ අවි අමෝරූ  ‍පොලිස් නිලධාරීන් පවා දැන්  සිටින්නේ අවි පහත හෙළාය. ඒ ඉහළ ‍පොලිස් නිලධාරීන්ගෙන් මෙන්ම නීතියෙන් පවා ඔවුන්ට  රැකවරණයක් නොමැති තත්ත්වයක් දැන් උද්ගත වී ඇති බැවිනි. මාකඳුරේ මධුෂ්ට රට චිකාගෝ නුවරක් කිරීමට ඉඩ ලැබි ඇතැයි චෝදනා කළ හැක්කේ ඒ නිසාය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com