master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මධුෂ්ගෙන් ඩුබායි සිට පොලිසියට මරණ තර්ජන


2018-03-21 14:12:30 -  4264 යි

පාතාල නායක ඩුබායි මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවසේ සැඟවී සිටියදී මධුෂ්ගේ ගෝලයන් සිව් දෙනකු කොටු කළ ‍පොලිස් මෙහෙයුමට ඔත්තුව දුන් බවට සැකකොට කඹුරුපිටිය ගතාර ප්‍රදේශයේ පිහිටි එම නිවෙසට යාබද නිවසේ පදිංචි ‍පොලිස් සැරයන්වරයකු පවුල් පිටින් මරාදමන බවට මාකඳුරේ මධුෂ් දුරකථන මගින් ඩුබායි සිට කළ මරණ තර්ජනයක් පිළිබඳව ‍පොලිස් පරීක්ෂණ ඇරඹී තිබේ.

මෙම සිද්ධියට මුහුණ පෑ කටුවන ‍පොලිසියේ සේවයේ නිරත ‍පොලිස් සැරයන් සිල්වාගේ පවු‍ලේ සාමාජිකයන් ආරක්ෂාව පතා ඔවුන් පදිංචි නිවසින් තාවකාලිකව ඉවත් කිරීමට ද මේ වන විට කටයතු යොදා ඇතැයි ‍‍‍ජ්‍යෙෂ්ඨ ‍පොලිස් නිලධාරියකු රිවිරට අනාවරණය කළේය.

උඹ තමයි මගේ එවුන් අල්ලන්න ඉන්ෆොමේෂන් දීලා තියෙන්නේ. මම උඹවත් මරනවා. උඹේ පවු‍ලේ ඔක්කොම මරනවා. වයසට ගියත් උඹ ඉන්න තැනකට හොයාගෙන ඇවිල්ලා මරනවා. යැයි මාකඳුරේ මධුෂ් ඩුබායි සිට ලබාදුන් දුරකථන ඇමතුම් කිහිපයකින් ‍පොලිස් සැරයන්වරයාට තර්ජනය කර ඇත.

මාකඳුරේ මධුෂ් අවස්ථා කීපයකදීම ‍පොලිස් සැරයන්වරයාගේ ජංගම දුරකථනයට හා කටුවන ‍පොලිසියේ දුරකථනයට ඩුබායි සිට කතා කර මෙසේ තර්ජනය කර තිබේ.

කඹුරුපිටියේ ගතාර ප්‍රදේශයේ පිහිටි මාකඳුරේ මධුෂ්ගේ පුංචි අම්මාගේ නිවසේ සිටියදී පාතාල සාමාජිකයන් සිව් දෙනකු ඉකුත් 17 දා අත්අඩංගුවට ගත්තේ කඹුරුපිටිය ‍පොලිසියේ ස්ථානාධිපති ඕ.යූ. ජයශාන්ත මහතාට ලද තොරතුරක් මතය.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඉකුත් 07 දා අලුත්කඩේ උසාවිය අසලදී සොයාගත් සමයංගේ පාතාල කල්ලියට අයත් කොස් මල්ලී හෙවත් ශාන්ත කුමාරගේ ගෙල කොටසට අයත් කඳ කොටස අඟුණකොළපැලැස්සේ කෙසෙල් ඉඩමක වළදමා තිබියදී පසු දිනම (18) සොයා ගැනීමට හැකි විය.

පදලංගල, කුට්ටිගල, සියඹලාණ්ඩුව, බුද්දම හා ගතාර ප්‍රදේශයේ පදිංචි මෙම පාතාලයින් සතුව තිබි ඔවුන් පැමිණි වාහනයට සවිකිරීමට ගෙනැවිත් තිබූ ව්‍යාජ අංක තහඩු දෙකක් ද සොයාගෙන තිබිණි.

මෙම අත්අඩංගුවට ගැනීම සිදු වුණු දිනයේම මාකඳුරේ මධුෂ් විසින් ‍පොලිස් සැරයන් සුනිල්ට කතා කර සිව් වතාවක් තර්ජනය කර තිබේ. ‍පොලිස් සැරයන්වරයා කටුවන ‍පොලිසියේ සිට කඹුරුපිටිය ‍පොලිසිය බලා රාජකාරියකට පිටත් කර යැවූ අවස්ථාවේත් කඹුරුපිටිය ‍පොලිසියේ සිටියදීම මාකඳුරේ මධුෂ් විසින් කතාකර ඇත.

මම දන්නවා උඹ දැන් ඉන්නේ කඹුරුපිටිය ‍පොලිසියේ කියලා. දීපන් ඔය ෆෝන් එක කඹුරුපිටිය ඕ.අයි.සි.ට. කියමින් මාකඳුරේ මධුෂ් යළිත් තර්ජනය කර ඇත.

තමුසේ බයික් එකෙන්නේ වැඩට එන්නේ. මම එන පාරත් දන්නවා. යැයි ද මාකඳුරේ මධුෂ් තර්ජනාත්මක දුරකථන ඇමතුම්වලින් දන්වා ඇතැයි ‍පොලිස් ‍පොත්වල මේ සම්බන්ධව සටහන් යොදා ඇත.

මෙම තර්ජනය හේතුවෙන් ‍පොලිස් සැරයන්වරයාගේ පවු‍ලේ අය ආරක්ෂාව පතා ආරක්ෂිත තැනක රැඳවීමට තංගල්ල ‍පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් මහතාගේ නියෝග මත කටයුතු යොදා ඇත. මේ සම්බන්ධව ‍පොලිස් දෙපාර්තමේන්තුවේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ භාර නියෝජ්‍ය ‍පොලිස්පති කමල් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ද විමර්ශන ඇරඹී ඇත.

මාකඳුරේ මධුෂ් මෙම ‍පොලිස් නිලධාරියා යන එන තැන් හා කඹුරුපිටිය ‍පොලිසියට පැමිණි මොහොත පවා සොයාගෙන දුරකථන ඇමතුම් දී ඇති බවත්, මධුෂ්ගේ ඔත්තුකරුවන් යොදවා එම කටයුතු කරගෙන යන බවත් අනාවරණය වී ඇත.

මාකඳුරේ මධුෂ් විසින් මීට පෙර තම කණ්ඩායම්වලට එරෙහිව විමර්ශන කළ ‍පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ ‍පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට පිළියන්දලදී වෙඩිතබා ඝාතනය කිරීමට උත්සාහ කළ අතර මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප ‍පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා හා ත්‍රස්ත විමර්ශන ඒකකයේ ‍පොලිස් කොස්තාපල් දාස් ගුප්තාට මරණ තර්ජනය කිරීම සම්බන්ධව ද විමර්ශන සිදු කෙරිණි.

කළුතර එතනමඩලදී පාතාල නායක සමයං ඇතුළු කණ්ඩායමක් රැගත් බන්ධනාගාර බස් රථයට පහරදී පාතාලයින් හා බන්ධනාගාර නිලධාරීන් ඝාතනය කිරීම ඇතුළු ඝාතන රැසකට චෝදනා එල්ල වූ මාකඳුරේ මධුෂ්ට දැනට ජාත්‍යන්තර ‍පොලිසියේ නිල් නිවේදනය නිකුත් කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com