master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ඉන්දියන් හමුදාවටත් බැරිවුණු ප්‍රභාගේ වන්ෆෝ බේස් සුන් කරන්න මහසෝන් බළකායෙන් ගිය මාරාන්තික ගමනක්


2018-03-19 11:22:31 -  2434 යි

කොටි හඬ සුන් කරන්න ඉලක්ක සොයා දුන් දිගු දුර 08 දෙනාගේ මාරාන්තික ගමන
ගුවන් ප්‍රහාර මැද කොටි කඳවුරක ඔත්තු බලමින් ගත කළ දවසක්

හමුදා පාලන ප්‍රදේශයෙන් රහසිගතව කොටි පාලන ප්‍රදේශය වෙත රිංගා ගත් මොහොතේ පටන් ගතවන සෑම තත්ත්පරයක්ම මොවුන්ට වැදගත් ය. ඒ කොයි මොහොතේ හෝ සතුරා මුහුණට මුහුණ ගැටීමට ඉඩ ඇති නිසා ය. එහෙත් ඉලක්කය වෙත යනතෙක් සතුරා මගහැර යෑමට තරම් ඔවුන් උපක්‍රමශීලී හා වේගවත් ය.

කොටින්ගේ මරඋගුල්, බෝම්බ ඇට වූ භූමිය තුළින් මේවා මගහරිමින් යෑමට ද මෙම භට කණ්ඩායම්වලට ඇත්තේ සහජ දක්ෂතාවකි. කොටි පාලන ප්‍රදේශයේ කිලෝමීටර් හැත්තෑවක්, අසූවක් ඇතුළට එක් මෙහෙයුමක දී රිංගා ඉලක්ක සොයා ගැනීමට මොවුන්ට පුහුණුව තුළින්ම හැකියාවක් ඇත්තේ ය.

කිලෝග්‍රෑම් තිස්පහක් පමණ වූ මෙහෙයුමට අවශ්‍ය අවි ආයුධ කෑම සමග වතුර ලීටර් දහයක්වත් රැගෙන කොටි බල ප්‍රදේශ පීරන මෙම ප්‍රහාරකයෝ අඩුම තරමේ දිනකට කිලෝ මීටර් දහයක්වත් ගමන් කරති. සතුරු භූමියේ කෙරෙන එක් මෙහෙයුමකට පියවර ලක්ෂයක්වත් තැබිය යුතු ය.

ඉලක්කය අනුව ගෙනයන අවි ආයුධ ද වෙනස් වන්නේ ය. ආර්. පී. ජී., එල්. එම්. ජී, එම්. පී. එම්.ජී සයිලන්සර් යෙදූ අවි ඇතුළු සුවිශේෂී අවි ආයුධ මෙහෙයුමට අනුව යොදා ගත්හ. මෙම ප්‍රහාරක කණ්ඩායම් තම ඉලක්ක ලබා ගැනීමට වැඩිපුරම යොදා ගන්නේ ක්‍ලේමෝ බෝම්බ ය. ඒ කොටි නායකයින් ගමන් ගන්නා වාහන වෙත පහරදීමට ය.

මෙම අබිරහස් ප්‍රහාරවල බිහිසුණු බව හරියට මහසෝනා ගැහුවා වගේ යැයි ගම්මුන් අතර කියැවෙන කියමන සනාථ කරන්නකි. සතුරු බලකොටුව තුළ මහසෝනෙකු මෙන් අබිරහස් ප්‍රහාර එල්ල කළ මෙම ප්‍රහාරකයින් යුද හමුදාව සතුව සිටින සුවිශේෂීම ප්‍රහාරක කණ්ඩායම වන, දිගුදුර විහිදුම් ඒකකයට (LRRP) අයත් සුවිශේෂී පුද්ගලයෝ වූහ. මොවුන්ගේ එක් අයෙකුට අනෙක් සෙබළුන් කිහිප දෙනකු ගේ හැකියාවක් ලබා දී ඇත්තේ පුහුණුව තුළින්ම ය.

මෙම සුවිශේෂී භට පිරිස්වලට ලබාදී ඇති පුහුණුව නිසාම ඔවුන්ගේ වෙඩිබලයට මුහුණදීමට කොටි ත්‍රස්තයන්ට සිතන්නටවත් නොහැක. තමන්ගේ ගිනි අවියෙන් නිකුත්වන එක උණ්ඩයක්වත් අපතේ යවන්නට ඔව්හු කැමැති නොවෙති. අවියෙන් පිටවන හැම උණ්ඩයක්ම සතුරාගේ සිරුරට කිඳා බස්සවන්නට තරම් වූ සුවිශේෂී අවි පුහුණුවක් මෙම ප්‍රහාරක කණ්ඩායමට ලබාදෙන්නේ ය.

දිගුදුර විහිදුම් ඒකකය ආරම්භයට මුලපිරුවේ 1995 දීය. විශේෂ බළකායේ ආරම්භයේ පටන් එහි සිටි දක්ෂ නිලධාරින් කිහිපදෙනකුගේ මැදිහත්වීමෙන් මෙවැනි ප්‍රහාරක කණ්ඩායමක් බිහිවන්නේ සියලුදෙනාගේ මහන්සියේ ප්‍රතිඵලයක් ලෙසිනි.

පරන්තන් ප්‍රදේශයේ දී එක්වුණු නිලධාරින් කිහිපදෙනකු විසින් දෙවන විශේෂ බළකායේ සුවිශේෂ දක්ෂතා දැක් වූ පනස් හතරදෙනකු මූලික වටයේ දී තෝරා ගත්තේ ය. එතැනින් පසුව කළ අතිදුෂ්කර පුහුණුවීම්වල ප්‍රතිඵලයක් ලෙසින් දිගුදුර විහිදුම් ඒකකයට දහඅට දෙනකුගෙන් යුත් දක්ෂයින් පිරිසක් ඉතිරිවිණි.

වීරවිල කඳවුරේ පැවති කැලෑබද සටන් ක්‍රම ගැන පුහුණුවීම් කළ මෙම කණ්ඩායමට කිලිනොච්චියේ දී ගිනිඅවි භාවිතය සම්බන්ධව විශේෂ පුහුණුවීම් ලැබිණි. කුඩා ඔය කඳවුරේ දී ඇමෙරිකානු රේන්ජර්ස් පුහුණුව ලබා දී තිබිණි.

මේ වන විට සාමාන්‍ය හමුදා පුහුණුවකට වඩා සම්ප්‍රදායෙන් එහා ගිය ගරිල්ලා ත්‍රස්තවාදීන්ට මුහුණදීමට හැකි සුවිශේෂී සටන් ක්‍රම මෙන්ම දැඩි අසීරුතා මැද මහවනයේ නොනැසී සිටීමට හැකි කටුක පුහුණුවීමක් ද මොවුන්ට ලැබුණේ ය. ඕනෑම පරිසරයකට හුරු කරවීම ද මෙහිදී සිදුවිණි.

වයස අවුරුදු විසි ගණන්වල තරුණයින්ගෙන් සමන්විත වූ පුහුණු කණ්ඩායමට එක් වූ දහඅටදෙනා භාරව සිටිනු ලැබුවේද කෝප්‍රල්වරුන් හා ලාන්ස් කෝප්‍රල්වරුන් පුහුණුව අවසන් වීමට පෙර මෙය දොළහේ කණ්ඩායම් තුනක් දක්වා වර්ධනය කරගත හැකි විය. එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්‍ලේ ප්‍රභාකරන් මේ වන විට වාසස්ථානය ලෙස තෝරා ගෙන තිබුණේ වැලිඔය වන්ෆෝ බේස් කඳවුරු සංකීර්ණය ය.

මුලතිව් සහ වනාන්තරය තුළ පිහිටි දැඩි ආරක්ෂිත කලාපයක් වූ මෙම ප්‍රදේශය අත්පත් කර ගැනීමට ඉන්දීය සාම සාධක හමුදාවලට පවා අසීරු විය. නිත්‍යකායකුලම් වැව ආශ්‍රිතව ඇති වූ සටන්වල දී තම සෙබළුන්ට ඇති වූ හානිය නිසාම අතරමග දී සටන අතහරින්නට ඉන්දීය සාම සාධක හමුදාවට ද සිදුවිණි.

භූමියේ පිහිටීම අනුව මෙම ප්‍රදේශයට ඇතුළු වීම අසීරු විය. කෙසේ වෙතත් මෙම අභියෝගය නොබියව භාරගත් සුවිශේෂී පිරිසක් බිහිවෙමින් සිටියහ.

ඕනෑම අවස්ථාවකට මුහුණදීමට හැකි අයුරින් මෙම කණ්ඩායමට දැඩි පුහුණුවීමක් ලබා දී තිබුණි. ඔවුන්ගේ පුහුණුවෙන් පසුව මුලින්ම පැවරුණේ වැලිඔය වන්ෆෝ බේස් කඳවුරු ප්‍රදේශය නිරීක්ෂණය කර බුද්ධි තොරතුරු එක්රැස් කිරීම ය.
සෝලෝගේ හා ග්‍රෑන්ඩ් ගේ යටතේ දොළහේ කණ්ඩායම් තුනක් මේ සඳහා පුහුණුව ලබා දී අවසන්ව සිටියහ. ඉතාම රහසිතව ක්‍රියාත්මක වූ මෙම කණ්ඩායම ගැන දැන සිටියේ සුළු නිලධාරින් පිරිසක් පමණි. ඔවුන්ගේ නම් ගම් පවා රහසක් වූ අතර අන්වර්ථ නම්වලින් පමණක් හඳුන්වනු ලැබිය. වැලිඔය ඉදිරි ආරක්ෂක වළල්‍ලේ තෝරාගත් තැන් කිහිපයකින් උපක්‍රමශීලීව රිංගාගත් මෙම කණ්ඩායම් තුනේ භටයින් කොටි බලකොටුවේ කිලෝමීටර් හැට හැත්තෑවක් ඇතුළට රිංගා බුද්ධි තොරතුරු රැස්කරන්නට වූහ.

ප්‍රභාකරන්ගේ අඩවියේ හොල්මන් කරන්නට වූ මෙම කණ්ඩායම්වලට භූමිය තුළ දී උපායශීලී ලෙස කටයුතු කළ නිසා කොටින්ගේ අධි ආරක්ෂිත කලාපය තමන්ගේ බල ප්‍රදේශ මෙන් දැනෙන්නට විය. ඒ තරමටම ඔවුන් භූමියට හා පරිසරයට හුරුවන්නට විය. අත්‍යවශ්‍ය මොහොතක හැරෙන්නට ගසක කොළයකවත් වෙනසක් නොකරන්නට වග බලාගත්හ.

පරිසරයට අනුගතවන අයුරෙන් ප්‍රදේශයේ ජීවත් වූ ඔවුනට ආවේණික සුවිශේෂී ආහාර ද ලබාදී තිබිණි. අනෙකුත් භටයින්ට වඩා සුවිශේෂී කාර්යභාරයක් පැවති නිසාම මොවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ද ලැබුණේ ය.

මේ වන විට මෙම කණ්ඩායම කිලෝමීටර් අසූවක් පමණ ඇතුළට පැමිණි සිටියහ. මෙම කණ්ඩායම් දිනකට අවම තරමේ කිලෝමීටර් දහයක්වත් පියවර ගණනින් ඉදිරියට යති. මේ අනුව ප්‍රදේශයේ සමස්ත බුද්ධි තොරතුරු එක්රැස් කර ගනිමින් මාස ගණනක් තිස්සේ කොටි අඩවියේ හොල්මන් කළ සුවිශේෂී කණ්ඩායමට පළමු ඉලක්කය ගැනීමට යාමට අවසර ලැබිණි.

කොටි හඬ සුන් කරන්න ඉලක්ක සොයා දුන් දිගු දුර 08 දෙනාගේ මාරාන්තික ගමන

ගුවන් ප්‍රහාර මැද කොටි කඳවුරක ඔත්තු බලමින් ගත කළ දවසක්

ලබන සතියට
තිස්ස රවීන්ද්‍ර පෙරේරා

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com