master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ගුවන් ප්‍රහාර මැද කොටි කඳවුරක ඔත්තු බලමින් ගත කළ දවසක්


2018-03-14 08:06:24 -  1273 යි

කොටි හඬ සුන් කරන්න ඉලක්ක සොයා දුන් දිගු දුර 08 දෙනාගේ මාරාන්තික ගමන

නැවත ගමන ඇරඹුණේ උදෑසන 6.30 ට පමණය. නැදුන්කර්නි මුලතිව් මාර්ගය අසලට පැමිණි භට පිරිසට මීළඟට තිබුණේ මෙම බාධකය පැන ගැනීම ය. මෙම මාර්ගවල කොටින්ගේ ක්‍රියාකාරකම් සිදුවන්නේ උදෑසන 8.00 ට පමණය. එය අත්දැකීමෙන්ම දන්නා නිසා ඊට කලින් මෙතැනින් පැන ගැනීමට සැලසුම් කළේ ය. පැය භාගයක් පමණ නැදුන්කර්නි මුලතිව් මාර්ගය නිරීක්ෂණය කළ කෝප්‍රල් විජේරත්න යටතේ වූ භට කණ්ඩායම එම මාර්ගය ද පැන ගත්හ.

මෙයින් පසුව තිබුණේ අදාළ ඉලක්කය වෙත යෑමය. කෝප්‍රල් සිල්වා යටතේ හතර දෙනකුගේ කණ්ඩායමක් ලැගුම් ගන්නා තැනක් තෝරා එතැන නැවැත්වීය. සියලු දෙනාගේ ගමන්මලුත් එතැන තබා තම අවි සමග විමර්ශන මුර සංචාරයක නිරත වීමට කෝප්‍රල් විජේරත්න ඇතුළු සිව් දෙනකු කටයුතු කළහ.

සිව් දෙසටම කිලෝ මීටර් දෙක තුන යමින් දහවල් 12.00 පමණ වනතුරු විමර්ශන මුරයක නිරත වූහ. තමන් සිටිනා තැන බලාගත හැකි ජී. පී. එස්. යන්ත්‍රද උපයෝගී කර ගනිමින් සම්පූර්ණ ප්‍රදේශයම ආවරණය වන පරිදි කිලෝ මීටර් දහයක් පමණ විමර්ශන මුරයේ නිරත කණ්ඩායම තොරතුරු එක්රැස් කරන්නට වූහ.

ලැගුම්ගත් තැන සිට කිලෝ මීටර් පහක් පමණ දුරක් ඇවිද යද්දී කඳු සහිත භූමියක් මෙම කණ්ඩායමට නිරීක්ෂණය විය. තවදුරටත් ළං වී නිරීක්ෂණය කිරීමේ දී වටේට කඳුපෙළක් සහිතව මැදි වූ තැනිතලාවක් ද දක්නට ලැබිණි.

දුරදක්නයකින් නිරීක්ෂණය කිරීමේ දී කඳුපෙළ මැද වූ තැනිතලාවේ ඉදිකර ඇති ඇන්ටනාව දර්ශනය විය. මෙය ඈතින් දකින්නට වූ බව මීට පෙර මෙම ප්‍රදේශයට පැමිණි කණ්ඩායම කියා සිටිය ද එය තිබෙන්නේ කොතැනද යන්න තහවුරු කරගෙන නොතිබිණි. ඒ අවශ්‍ය මොහොතේ දී ඉහළට ඔසවා යළිත් දුරස්ථ පාලකයකින් (රිමෝට්) එය පහළට බෑමට හැකි අයුරින් සකස් කර තිබු එකක් නිසා ය.

මෙය ගුවන් ප්‍රහාරවලින් බේරා ගැනීමට අවශ්‍ය නිසා මෙවන් ආරක්ෂිත උපක්‍රම යොදවා තිබිණි. කොටි නායකයන්ට මෙය සැබැවින්ම අත්‍යවශ්‍ය රැකගත යුතුවම තිබූ දෙයක් වූයෙන් මෙවැනි ආරක්ෂක උපක්‍රම යොදා තිබිණ. මෙය කොටින්ගේ කොටිහඬ (Voice Of Tiger) ගුවන් විදුලි විකාශනය කළ සම්ප්‍රේෂණ කුලුනය. මෙම සම්ප්‍රේෂණ කුලුන ගුවන් මගින් නිරික්ෂණය විය හැකි නිසා අවශ්‍ය නොමැති අවස්ථාවල දුරස්ථ පාලක මගින් පහතට බෑමට කොටි ත්‍රස්තයන් කටයුතු කළහ.

කොටිහඬ ගුවන්විදුලිය කොටින්ගේ හදවත බඳු වූයේ මෙම කාල සීමාවේ කොටින්ගේ ප්‍රචාරක ජාලය ඊළම ව්‍යාප්ත කිරීමට යොදා ගත් ප්‍රබල අවියක් වීම නිසා ය. කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය යෙදෙන නොවැම්බර් කොටි මහා වීර සතියට කොටි නායකයාගේ මහා වීර දේශනය නමින් හඳුන්වන වාර්ෂික කතාව ප්‍රචාරය කළේ ද කොටිහඬ මගිනි. යුද්ධයක දී භාවිත කරන මනෝමූල මෙහෙයුම් (Psy Ops) උපරිමයෙන් යොදාගනිමින් ඊළම වෙනුවෙන් කරන සටනට තරුණ පිරිස් බඳවා ගන්නටත්, අරමුදල් රැස් කර ගැනීමටත් කොටි නායකයන් කොටි හඬ ගුවන්විදුලිය මගින් තම වැඩසටහන් විකාශනය කරන්නට ද වූහ.

මෙම සම්ප්‍රේෂණ කටයුතු කළ ඇන්ටෙනාව නිරීක්ෂණය කර ගත් ජී.පී. එස්. යන්ත්‍රයෙන් තැන ලකුණු කරගෙන තමා ඉතිරි සගයන් සිව් දෙනා සිටි තැනට පසු බැස්සහ. යළිත් එතැන දී තම ගමන්මලු ඇතුළු සියල්ලෙන් සංවිධානය වී සම්ප්‍රේෂණ කුලුන ළඟටම යෑමට ගමන් ඇරඹූහ. මෙවර සම්ප්‍රේෂණ කුලුනට කිලෝ මීටර් දෙකක් තරම් ළඟට ගොස් එය වටේට අංශක තුන්සිය හැටම ආවරණය වන පරිද්දෙන් සතුරාගේ ආරක්ෂක විධි විධාන යොදා ඇති තොරතුරු රැස්කර ගත්තේ ය. සතුරු කඳවුරු හා සතුරු බංකර් පිහිටා ඇති තැන් පවා සලකුණු කරගෙන තම මූලස්ථානය වෙත පණිවුඩ හුවමාරු යන්ත්‍ර මගින් දැනුම් දීමෙන් මෙම කණ්ඩායමේ මූලික ඉලක්කය අවසන් කිරීමට කෝප්‍රල් විජේරත්න යටතේ වූ කණ්ඩායම කටයුතු කළහ.

මෙහි ඇති කඳුගැට පාමුල කොටින්ගේ බංකර් ඉදිකර තිබිණි. කඳුගැටයෙන් කඳුගැටයට බංකර් ඉදිකර තිබිමට අමතරව ගස් උඩ තැනූ කොටි අට්ටාල ද එහි විය.

කොටි හඬ සම්ප්‍රේෂණ කුලුන ආසන්නයේම වූ කන්දක තිබූ කොටින්ගේ නිරීක්ෂණ කුටියට කිලෝ මීටර් විස්සක් පමණ ඈත වන දේ පවා නිරීක්ෂණය විය. ජනකපුර, වැලිඔය, හමුදා පාලන ප්‍රදේශයේ යන එන වාහන පවා මෙම කන්දට නිරීක්ෂණය වූයේ ය. කොටි පාලන ප්‍රදේශයට ඇතුළු වීමෙන් පසුව හමුවන ප්‍රධානම බාධකයක් වන තන්තිමුරුප්පු වැවේ විවෘත භූමි ප්‍රදේශය දහවල් කාලයේ පසුකරන ඕනෑම අයකුව මෙම නිරීක්ෂණ කුටියේ දුරදක්නා යොමාගෙන සිටින කොටි ත්‍රස්තයන්ට නිරීක්ෂණය වන්නේ ය. කොටින්ගේ මේ සියලු ආරක්ෂක විධිවිධාන තහවුරු කරගන්නට හැකි වූයේ නිරීක්ෂණ මුරයේ නිරත වූ මොහොතේ ය.

කොටි පාලන ප්‍රදේශයට රිංගා ගැනීමේ දී දින, පැය ගණන් එකම තැන රැඳී සිට උපක්‍රමශීලීව රාත්‍රී කාලයට ගමන් කිරීමට සිදු වූයේ ද කොටින්ගේ මෙවැනි ආරක්ෂක උපක්‍රමවලින් බේරී යෑමට ය.

මෙහි දී අටේ කණ්ඩායම මගින් ලබාගත් දත්ත සියල්ල ගුවන් හමුදාවට ලබා දී කොටි සම්ප්‍රේෂණ කුලුන වෙත ප්‍රහාර එල්ල කිරිමට ඉලක්කය ලබා දුනි.

කිලෝ මීටර් දහනවයක් පමණ කොටි පාලන ප්‍රදේශය ඇතුළට වන්නට ඉදිකර තිබු කොටි සම්ප්‍රේෂණ කුලුනේ සියලු තොරතුරු දින තුනක් කොටි පාලන ප්‍රදේශය තුළ රැඳී සිටිමින් රැස් කළ මෙම කණ්ඩායම තවත් දින තුනහමාරක් පමණ දින ගෙවමින් කොටින්ගේ බාධක පසුකරමින් හමුදා පාලන ප්‍රදේශය වෙත ආරක්ෂිතව පැමිණියහ.

මින් පසුව ගුවන් හමුදා ප්‍රහාරක ජෙට් යානා ඉහළට ඔසවා ප්‍රහාර එල්ල කළ ද ප්‍රහාර සඳහා කටුනායකින් ගුවන්ගත වෙද්දීම කොටි සම්පේෂණ කුලුන අකුලන්නට කොටි ත්‍රස්තයන් කටයුතු කළහ. කටුනායක ගුවන්තොටු‍පොළ අවට කොටි ඔත්තුකරුවන් රඳවා සිටි නිසා ප්‍රහාරක ජෙට් යානා ඉහළට ඔසවද්දීම වන්නියට තොරතුරු ලැබිණි. මෙම තොරතුරු ලද විගස කොටි නායකයන් ආරක්ෂිත නිවෙස් තුළ සැඟවීමටත්, කොටින්ගේ බර අවි ඇතුළු වැදගත් දේ සැඟවීමත් උපක්‍රමයක් වශයෙන් සිදු විණි.

මේ අයුරින් සම්ප්‍රේෂණ කුලුන ඉලක්ක කර ගැනීම ද අපහසු නිසා දිගුදුර විහිදුම් කණ්ඩායම් ඇතුළට රිංගවා ඔවුන්ගෙන් ලද තොරතුරු මත කොටි නොමග යවා ප්‍රහාර එල්ල කරන්නට සැලසුම විය. මේ අනුව කලින් තොරතුරු රැස්කළ කණ්ඩායම ඇතුළට රිංගවා ඉලක්කය ලබාගෙන ප්‍රහාර එල්ල කෙරිණි. ගුවන් ප්‍රහාර එල්ල වෙද්දී ඉලක්කයේ සිට කිලෝ මීටර් පහක් පසුපසට යැමට ද මෙම කණ්ඩායම් වගබලා ගත්හ. මේ අයුරින් ජීවිත අවදානම් මධ්‍යයේ ගොස් කොටිහඬ සම්ප්‍රේෂණ කුලුන විනාශ කරන්නට මෙම අටේ කණ්ඩායම් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළේ ජීවිත පරිත්‍යාගයෙනි.

කොටි හඬ සුන් කරන්න ඉලක්ක සොයා දුන් දිගු දුර 08 දෙනාගේ මාරාන්තික ගමන

තවත් මෙහෙයුමක්ලබන සතියේ

තිස්ස රවීන්ද්‍ර පෙරේරා
tissaravindra@gmail.com

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
20 + 14 =       

New Page 1

  2014 by www.eethalayanews.com