www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

"ගඟේ ගල් ගුහාවක්‌ වගේ තැනකට පෙරළලා මොනවද කළා.." - 14 හැවිරිදි සිසුවියක් දුෂණය වූ හැටි කියයි


2018-03-12 11:16:39 -  1338 යි

" මට තේරුණේ නැහැ. හයියෙන් වහිනවා.."   "එයා ගියාට පස්‌සේ මම මගේ ඇඳුම් ඇඳ ගත්තා.."

රත්නපුර අධිකරණ බල සීමාවේ පිහිටි බලංගොඩ අග නගරය කරගත් එක්‌තරා පිටිසර ගමකි. ගොඩමඩ දෙකම තරමකට සරුවූ මේ ගමෙහි ජීවත් වන මවක සහ දුවකි. ගමේ කෙළවරක වූ තනි කාමරයේ කටුමැටි ගසා ටකරන් සෙවිලිකර තැනූ කුඩා නිවස මවගේත් දුවගේත් නිවහන විය. දැරියට මවක මිස පියෙකු නොමැතිද යන්න ගැන ප්‍රශ්නයක්‌ මතුවිය හැකිය. ඒ නිසා ඇගේ පවුලේ ඉතිහාසය ගැන කෙටියෙන් හෝ සඳහන් කළ යුතු වෙයි. දැරියගේ මව බලංගොඩ නගරයේ සිට සැතපුම් 40 ක්‌ පමණ ඈතින් වූ අයගම ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඇය විවාහකය. සැමියාද එම ගමේම පදිංචිකරුවෙකි.

විවාහයෙන් වසර 10 ක්‌ පමණ ගතවෙද්දී කතට පිරිමි දරුවකු සහ ගැහැනු දරුවෙකු වූහ. දරුවන් දෙදෙනකු සිටියද බේබදු වධක සැමියකු සමඟ ගෙවූ ඇගේ විවාහය දුක්‌ ගොඩක්‌ විය. හවස බීමත්ව ගෙදර එන සැමියා ගෙන් ඇය කෑ ගුටි ප්‍රමාණය ඇය දස වසක්‌ තිස්‌සේ සැමියා වෙනුවෙන් කඹුරා වැළ බත් කටවල් ගණනට වඩා වැඩිවිය. පැමිණි දුක්‌ පැණි රසයි කියා සිතාගෙන දෙනෙත් කඳුළින් තෙත මාත්තු කරගෙන සැමියාට කොතෙකුත් ඔවදන් දුන්නද බේබදු සැමියා යහමඟට ගැනීමට ඇගේ කඳුළු ප්‍රමාණවත් නොවීය. අවසානයේ පොලිසිය හමුවට ගිය ඇය පොලිසිය ඉදිරියේ 7 හැවිරිදි ගැහැනු ළමයා තමාගේ භාරයට ගෙන 5 හැවිරිදි පිරිමි ළමයා පුරුෂයාගේ භාරයට පත්කර විවාහ ජීවිතයෙනුත් උපන් ගමෙනුත් සමුගෙන බලංගොඩ ප්‍රදේශයේ ජීවත් වන තම අයියා කෙනකුගේ රැකවරණය සොයාගෙන ගියාය.

අසරණව අනාථව පැමිණි තම සොහොයුරියත්, ඇගේ දියණියත් ආදරයෙන් භාරගත් අයියා තම ඉඩමේම කෙළවරට වන්නට ඇයට නිදහසේ ජීවත් වෙන්නට ඇගේම කියා පුංචි පැලක්‌ද අටවා දුන්නේය. අයියාගේ ඇල්ම බැල්ම සහ ආරක්‍ෂාව යටතේ රජ මාලිගයක්‌ වන් එම පැලේ මවටත් දුවටත් ජීවිතයේ මුල්වරට සතුට සාමය අත්විඳින්නට හැකිවිය.

ඇය ජීවත් වූ ආගන්තුක ගම ධර්මිෂ්ඨ ගුණගරුක අහිංසක මිනිසුන්ගෙන් පිරුණු එකක්‌ වීමද ඇගේ ෙච්තනා සාක්‍ෂාත් කර ගැනීමට පිටිවහලක්‌ම විය. ඇය දියණියද සමඟ දිවි රැක ගන්නේ ගම වටා තිබූ පෞද්ගලික තේ වතුවල කුලී වැඩ කරමිනි. මෙම කතාවේ ප්‍රධාන චරිතය වන දියණිය ගැනද යම් සඳහනක්‌ කළ යුතුය. එක්‌තරා අවාසනාවන්ත දිනයකදී ඇය අනතුරකට මුහුණ දුන්නාය. ඇයට එසේ වූයේ ඇගේ පැහැබර සිරුරත්, අසාමාන්‍ය රූමත් බවත් නිසාය. ඉතාම අඩු ලන්සුවක්‌ තබනවා නම් ඇය රෝස පැහැති දේහයක්‌ ඇතිව මිහිපිට ඉපදුන සුරලොව සුරංගනාවියක්‌ බඳු එකියක්‌ විය. ලොවම ඇගේ රුව දැක තිගැස්‌සුන මුත් අගය කළ යුතු රුවක්‌ තමා සතුව ඇති බවට දැනීමක්‌ දියණියට නොතිබුණා පමණක්‌ නොව මව නොදත් දේද එයම විය. මාධ්‍ය ආචාර ධර්ම සුරැකීම සඳහා දැරියගේ නම සැඟවීමට අපට සිදුවෙන අතර ඇය මෙතැන් සිට නිත්‍යා යනුවෙන් හඳුන්වමු.

2009.12.07 වැනි දිනය අඳුරු කාලගුණයක්‌ සහිත වැසි දිනයකි. අවාසනාවට එදින ඇගේ ගම හරහා යන බස්‌රථය පැමිණියේ නැත. ඇත්තෙන්ම බස්‌රථය ඇනහිට එදිනට සති දෙකක්‌ම ගතවී තිබිණි. නොකඩවාම ප්‍රදේශයට ඇදහැලුණු වැස්‌ස හේතුවෙන් මාර්ගය කැඩීයැම හේතු කොටගෙන බස්‌ ධාවනය නතර වී තිබිණි. එනිසා නිත්‍යාගේ නිවසේ සිට පාසල දක්‌වා පයින් යැමට ඇයට සිදුවී තිබිණි. ඉගෙනීමට දක්‌ෂතාවක්‌ මෙන්ම උනන්දුවකින් යුතුව සිටි නිත්‍යා අලුයම 4 ට පිබිදී ලක ලැහැස්‌ති වී යන්නේ අඳුර මැකීගෙන යන උදේ 6.00 වන විට පාසල කරා යැමට මඟට බසියි. මඟ දෙපස ඝන වනයකි. මහමඟදී මිනිසෙකු හමුවීම උගහටය. දහවලටද ඇසෙන රැහැයි නාදයත් පහළින් ගලායන දොළෙහි ශබ්දයත් නුපුරුදු අයෙකුට නම් බියට පත්වෙයි. නමුත් නිතර ගමන්කර හුරුපුරුදුකම් ඇති නිත්‍යලාට නම් පරිසරය ගෙනෙන්නේ මිහිරි ගීතවත් බවකි. නිත්‍යාට තනිව ගමන් කිරීමට සිදු වෙන්නේ සැතපුම් 1 ක්‌ වැනි දුරකි. මිතුරියන් එකා දෙන්නා මඟදී ඇයට එකතු වෙයි. පාසල ළංවෙද්දී ළමෝ රෑනකි. එදා දෙසැම්බර් 07 වැනිදා පාසලේ වාර විභාගයේ අවසාන දිනයයි. නිවාඩු දීම තිබුණේ පසුදාටය. එනම් 08 දාය. වෙහෙසකර පාඩම් කිරීම්වලින් පසුව එළැඹෙන දීර්ඝ නිවාඩු කාලය පිළිගැනීමට ළමෝ සැදී පැහැදී සිටියහ.

ගෙදර එන පාසල් නඩය ක්‍රමයෙන් හැලීගොස්‌ අන්තිමට ඉතිරිවූ ශාන්තා අක්‌කාද නිත්‍යාට ආයුබෝවන් කියා ඇගේ නිවස දෙසට හැරුණු පසු ඉතිරි වූයේ නිත්‍යා පමණකි. ඇයට තනිව ගෙදර යැමට තව සැතපුමක්‌ පමණ තිබිණි. ඇය ශාන්තා අක්‌කාගේ ගෙයද පසුකර පාලමෙන්ද එගොඩ වන විට වැස්‌සක්‌ ඇද හැලෙන්නට වූයෙන් ගෙනගිය රතුපාට කුඩයද ඉහළාගෙන ගමන ඉක්‌මන් කළාය.

එසේ ඇයට යැමට හැකිවූයේ අඩි 10 ක්‌ 15 ක්‌ පමණ දුරකි. නිත්‍යා කලින් දැක පුරුදු එහෙත් කිසි දිනක කතාබස්‌ කර නොමැති කොල්ලෙක්‌ වැස්‌සේ තෙමි තෙමී ඇය ඉදිරියට ඉක්‌මන් ගමනින් එන අයුරු ඇය දකින්නේ ඒ අවස්‌ථාවේය. එතැන් සිට ඇයට අත්විඳින්නට සිදුවූ දුක්‌බර සිදුවීම ඇගේ වචනවලින් පවසා තිබුණේ මේ අයුරිනි.

"පස්‌සේ ඒ කොලුවා මාව අල්ලාගෙන පාරෙන් පල්ලට මාව පෙරලුවා. මගේ කුඩෙයි කරේ තිබුණු පොත් බැග් එකයි විසිවුණා. මම කළුපාට බෑග් එකක්‌ තමයි එල්ලගෙන හිටියේ. මාව පල්ලට පෙරළුණා. මම කෑගහන්න හදනකොට මරනවා කැගහන්න එපා කිව්වා. මම බයට කෑගැසුවේ නෑ. ඊට පස්‌සෙ ඒ කොල්ලා මාව ගඟ දිගේ ඇදගෙන ගියා. ගිහින් ගඟේ ගල් ගුහාවක්‌ වගේ තැනකට පෙරළලා මොනවද කළා. මට තේරුණේ නැහැ. හයියෙන් වහිනවා. වැස්‌ස නිසා ඇඟ පුරාම වතුර ගලනවා. මට කලන්තෙ වගේ ආවා. එතකොට මිනිස්‌සු කෑගහන ශබ්දයක්‌ ඇහුණා. පස්‌සෙ ආයෙත් කෑගහන ශබ්දය නැතිවුණා. මගේ පොත් බෑගය පොත් එක්‌ක කරේ එල්ලී තිබුණා. ඒ කොල්ලා ඒකෙ කොළයක්‌ කඩලා පෑනක්‌ අරගෙන මට මොනවද ලියන්න කිව්වා. හරියට මතක නැහැ. දිනේ දාලා පාසලේ දී කියලා ලියන්න කිව්වා. ආදරණීය කියලා තව මොකක්‌ද ලියන්න කිව්වා. මාව කවදාවත් අමතක කරන්නෙ නෑ කියලා ලියලා අත්සන් කරන්න කිව්වා. ඊට පස්‌සේ ඒක ඉරලා අරන් සාක්‌කුවේ දාගත්ත.

ආයිත් කට්‌ටිය කෑගසන ශබ්දය ඇසුණා. ඒ වෙලාවේ වේලාව 2 ට විතරද 3 ට විතරද කියලා මට මතකයක්‌ නැහැ. කට්‌ටිය කෑගසන ශබ්දය ආයිත් ඇසුණා. පස්‌සෙ ඒ කොල්ලා ඇඳුම් ඇඳගත්තා. මට කිව්වා මගේ පස්‌සෙන් වරෙන් කියලා උඩහට දිව්වා.

ගියාට පස්‌සේ මම මගේ ඇඳුම් ඇඳ ගත්තා. ඒ තිබුණ ඇඳුම් ඇඳගෙන මගේ බෑග් එකත් කරේ එල්ලාගෙන මම පාරට එන්න ආවා. එනකොට මගෙ අම්මා පාරෙ ඉන්නවා දැකලා අම්මේ මාව බේරගන්න කියලා මම කෑගැහුවා. එතකොට අම්ම සිහිය නැතිව වැටුණා. එවිට ගමේ සෙනඟ ගොඩාක්‌ පිරුණා.

උදේ කවා පොවා පිරිසිදු ඇඳුම් අන්දවා සමනල පැටියෙකු ලෙසින් මඟට බැස්‌සවූ දියණියක පාසල ඇර ගෙදර එනවා වෙනුවට ඉරීගිය ඇඳුම් සහිතව, මඩ සහ කූඩැල්ලන් සපාකෑමෙන් ගලන ලේ සහිත සිරුරින් යුක්‌තව විරූපව ගිය මුහුණින් යුතුව ප්‍රපාතයක්‌ සහිත ළඳු කැලෑවක්‌ තුළින් හැඬූ කඳුළෙන් යුක්‌තව පාර සොයාගෙන එන තම දියණිය දෙස පියවි සිහියෙන් යුක්‌තව දරුවකු වැදූ අම්ම කෙනෙකුට කෙසේ නම් බැලිය හැකිද? නිත්‍යාගේ අම්මට වූයේද එයයි.

නිත්‍යා මුහුණ දුන් ඛේදවාචකය  සම්බන්ධව ඇය කරන ප්‍රකාශය සටහන් කරගැනීමේ භාරදූර කාර්යය පැවරී තිබුණේ බලංගොඩ පොලිසියේ පළපුරුදු කාන්තා පොලිස්‌ පරීක්ෂවරියක වූ රාජපක්ෂ මහත්මියටය. වින්දිත දැරියගේ ප්‍රකාශය සටහන් කරගැනීමට හදිසියක්‌ නොදැක්‌වූ ඇය ප්‍රමුඛතාව දුන්නේ ඒ වෙනුවට ව්‍යසනයට බඳුන්වූ දැරියගේ නිරීණ ඇය දකින අයුරින් පොලිස්‌ පොතට ඇතුල් කිරීමය. ඇත්තෙන්ම එය අති සාර්ථකවම තිබිණි. ඒ කෙටි වචන කීපය දැරිය මුහුණ දුන් ඛේදවාචකයයේ හරස්‌කඩක්‌ මැවීය.

මේ අතර දැරිය දූෂණය කළ පාපතර පුද්ගලයා සොයාගනු ලැබුවේ ගම්වාසීන් විසිනි. ඒ පසුදින පාන්දර 5.00 ට පමණ ඔහු නිවසේ නිදාගෙන සිටිද්දීය. අතවරයට පත් දැරියටත් ඇගේ මවගේ ගම්වාසීන් බොහෝ සෙයින් ම කරුණාවන්ත වූ බව මේ ලිපියේම යට සඳහන් කෙරිණි. ඒ ඔවුන් දෙදෙනාගේ අහිංසක බවත් නිහතමානී හැසිරීමත් නිසා මිස වෙනත් හේතුවක්‌ නිසා නොවේ. තම දියණිය ගෙදරට එන අතරේ අතුරුදන් වී ඇති බවට කරන මවගේ විලාපය ඇසූ ගම්වාසී ගැහැනු පිරිමි සියගණනක්‌ පාරට බැස එක හඬින් දැරියගේ නම කියමින් මාවතේ ඔබමොබ ගමන් කළද ඇය සිටින ඉසව්වක්‌වත් ඇයට වුණු දෙයක්‌වත් දැන ගැනීමට ඔවුන්ට නොපුළුවන් වූයේ සැබවින්ම දැරිය පැහැරගැනීමට ලක්‌වී ඇති බව හෝ ඒවන විටත් ඇය කිසිවකු විසින් දූෂණය කරනු ලබන බවට හෝඩුවාවක්‌වත් ඔවුන්ට ලැබී නොතිබූ බැවිනි.

එසේ වුවද පාරෙන් පහළ ගඟ අද්දර තිබූ ගල්ගුහාවක ඒ වන විටත් දූෂණයට පත්වෙමින් සිටි දැරියට පාරේ කලබල කරමින් සිටි පිරිස තමාගේ ගැලවුම්කරුවන් බවට හැඟීමක්‌ දැරියට ඇතිවුණද ඔවුන් කැඳවීම සඳහා කෑගැසීමට හෝ හැකියාවක්‌ ඇයට නොලැබුණේ දූෂකයා ඇගේ ගෙල සිරකරගෙන සිටි බැවිනි.

දූෂකයා සිය කාරිය කරගෙන යද්දී දෙවන වරට ඇසුණු මිනිස්‌ ඝෝෂාව නිසා ඔහු මහත්සේ බියට පත්වූ අතර දැරිය අත්හැර දැමූ ඔහු ගඟ දිගේ තවත් පහළට දිවගොස්‌ වනය තුළ තිබූ වෙනත් ගල්ගුහාවකට රිංගාගෙන රාත්‍රි 7.30 පමණ වන තුරු ඔහු ඒ තුළ සැඟවී සිටියේය. අනතුරුව පිරිස තමන් ලුහුනොබඳින බව වටහා ගැනීමෙන් පසු වල් මීයකු මෙන් හොර රහසේ කැලෑව මැදින් තම නිවසට ගොස්‌ දොර යතුරු දමාගෙන නිදාගත්තේය.

දූෂකයා ගැන නිවැරදි තොරතුරක්‌ දැනගැනීමට මවට හෝ ගම්වාසීන්ට දුෂ්කර වූයේ ඔහු දැරිය ජීවත්වූ ගමට බොහෝ ඈත ගමකට අලුතින් පැමිණි පවුලක අයකු වූ හෙයිනි. එහෙත් බලංගොඩ නගරය ආසන්න පන්සලක තිබූ බෝධිපූජාවකට සිය මව සමඟ ටික දිනකට පෙර ගිය අවස්‌ථාවක එම කොලුවා එම පන්සලේ සිටි බවට තිබූ කෙටි මතකයක්‌ පමණි. ඒ නිසාම තිබුණේ ඉන් එහාට ඔහු ගැන කිසිදු දැක්‌මක්‌ ඇයට තිබුණේ නැත. ඇය ඒ ගැන පොලිසියට සේම මවටද පවසා තිබුණි. මව පැවසූ තොරතුරු ඔස්‌සේ ගිය ගම්වාසීහු සිද්ධිය වී පැය 15 කට පසු එනම් 2009-12-08 වන දින පාන්දර 5.00 වෙද්දී දූෂකයා නිදාසිටි ගෙය වටකිරීමට සමත් වූහ. දොරට තට්‌ටු කළද දොර ඇරෙන සැටියක්‌ නොවූ හෙයින් පිරිස දොර කඩා ගෙට ඇතුල්වී පුද්ගලයා අල්ලා ගත්හ. පසුව අතින් සහ පයින් හොඳහැටි ඔහුට පහර දුන් ජනතාව පොලිසිය කැඳවා දූෂකයා පොලිසියට භාර දුන්හ.

එහෙත් සිදුවිම් එකින් එක ඔහු පොලිසියට පවසන්නේ මේ අයුරනි. මම සමනල වත්තේ අම්මත් එක්‌ක වැඩ කළා. සවස වැඩ ඉවර වුණාම මම තුඹගොඩ ඇවිත් යනවා. මීට ටික කාලයකට පෙර මම ගල්ලෙන පන්සලේ දින 2ක නතරවෙලා සිටියා. ඒ සිටිය දවස්‌a දෙකේ හවස බෝධිපූජා වැඩ තිබුණා. ඒ පැමිණි අයට මම පන්සලෙන් තේ හදල දුන්නා. එතන හිටිය පොඩි ගැහැණු ළමයි දෙන්නා තේ බිව්වේ නැහැ. එතන හිටිය පොඩි සුදු ගැහැණු ළමයාට මට ආශාවක්‌ ඇතිවුණා. ඒ ළමයා ගැන මම කල්පනා කරලා කතා කරන්න හැදුවා. ඒත් කතා කරන්න බැරිවුණා.

2009-12-07 වන දින මම එදා ගල්ලෙන පන්සලේදි හමු වූ ගැහැණු ළමයා පාසල් ගොස්‌ ඇති කියල. මම ඒ ළමයා සමඟ කතාකරන්න හිතාගෙන උදේ 8.00 විතර ඇවිත් තුඹගොඩ හන්දියට ආවා.

ඒ ඇවිත් දවල් 12.00 වෙනකම් ඉඳලා මස්‌සැන්න පාළම ළඟට ගොස්‌ මද්දුම මුදලාලිගේ තේ කඩේ ළඟට කීප සැරයක්‌ ආවා. ඒ ඇවිත් නැවත පාලුහරියක්‌ වන මස්‌සැන්න වත්ත ළඟ තිබෙන පාළම ළඟට වෙලා හිටියා. ඒ එනකොට අර මම ආස කරන සුදු නංගී පාසල ඇරිල ආවා. මට මහත් ආශාවක්‌ ඇතිවුණා. මම පැනපු ගමන් ඒ සුදු නංගිගේ අත් දෙකෙන් අල්ල ගත්තා. ඒ අවස්‌ථාවේ කෑ ගහන්න එපා මරණවා කියා පාරේ පල්ලෙහාට ඇදගෙන අරගෙන ගියා. දොළේ එහා පැත්තේ තිබුණු ගල්ගුහාවකටයි ඇදගෙන තියේ. ඊට පස්‌සේ සුදු නංගිගේ ටයි පටිය ගලවලා ඒක බෙල්ලෙ ගැටගහලා කෑගහන්න එපා කෑ ගැහුවොත් මරණව කියා බයකළා.

2009-12-09 වන දින බලංගොඩදී වයස 14 පාසල් දැරියක දූෂණය කරන ලදැයි යන අධිචෝදනාව මත මෙම චූදිතයාට එරෙහිව නීතිපතිවරයා විසින් රත්නපුර මහාධිකරණය හමුවේ නඩුවක්‌ පවරන ලදී. පොලිස්‌ ප්‍රකාශයේදී වරද පිළිගන්නා බව පැවසුවද අධිකරණය හමුවේදී ඔහු චෝදනාවට නිවැරදිකරු බව පැවසුවේය. නඩු විභාගය අරඹන ලද සිද්ධියේ ප්‍රධාන සාක්‍ෂිකාරිය වූ වින්දිත දැරිය 23 හැවිරිදි යොවුන් තරුණියක්‌ ලෙසට පැමිණ සාක්‍ෂි කූඩුවට නැග නොබියව සාක්‍ෂි දුන්නේ අධිකරණයේ මනසේ චිත්ත රූප මැවෙන ලෙසිනි. ඇගේ මූලික සාක්‍ෂිය අවසන් වෙනවාත් සමඟම එතෙක්‌ නිවැරදි කරු යන ස්‌වරූපයේ සිටි චූදිතයා තමා චෝදනාවට වැරදි කරු බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. ඒ අවස්‌ථාවේ රත්නපුර මහාධිකරණ විනිසුරු රොහාන් ජයවර්ධන මහතා චූදිතයා ස්‌ත්‍රී දූෂණ චෝදනාවට වරද කරු බවට 2018-02-06 දින තීරණය කළේය.

 තිලකසිරි දැල බණ්‌ඩාර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com