master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

මහසෝන් බළකායේ නායකයා අල්ලයි


2018-03-09 08:08:32 -  950 යි

මහනුවර දිස්ත්‍රික්කය තුළ ඇති වූ කලහකාරී වාතාවරණය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු වන "මහසෝන් බළකාය" නමැති ෆේස්බුක් පිටුවේ ප්‍රධානියා වන විදාන පතිරණගේ අමිත් ජීවන් වීරසිංහ නමැත්තා ඇතුළු සැකකරුවන් 10 දෙනකු දිගන සහ පූජාපිටිය යන ප්‍රදේශවලදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (08දා) අලුයම් කාලයේ අත්අඩංගුවට ගෙන තිබේ.

සමාජ මාධ්‍ය හරහා අසත්‍ය තොරතුරු පතුරුවමින් ජාතීන් අතර වෛරය ඉස්මතු කිරීම, කලහකාරී තත්ත්වයන් ඇති කිරීමට ක්‍රියා කිරීම, කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
දිගන ප්‍රදේශයේ පදිංචි අමිත් ජීවන් වීරසිංහ නමැත්තා 26 හැවිරිදි වියේ පසු වන බව පොලිසිය පවසයි.

එසේම ඔහුගේ සහායක වන නස්නාරම් පට්ටියගේ සුරේද සුරවීර (31) යන අය ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
මෙම සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් ඔහු හිටපු නාවික සෙබළකු බවත් උසස් පොලිස් නිලධාරියෙක් "ඊතලය" කළ විමසුමකදී පැවැසීය.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි කොළඹ සිට මහනුවර බලා පිටත්ව ගිය ත්‍රස්ත විමර්ශන කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් විසින් ලද තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

මීට අමතරව මෙම කලහකාරී සිද්ධිය ඇති වූ ඉකුත් 04 වැනිදා සිට ඊයේ පස්වරු 6.00ට පමණ වන විට කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 110 දෙනකු අත්අඩංගුවට ගත් බව ද මහනුවර ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරියෙක් "ඊතලය" කළ විමසුමකදී පැවැසීය.
තෙල්දෙණිය පොලිස් වසමේ සැකකරුවන් 30 දෙනකු ද, තලාතුඔය පොලිස් වසමෙන් සැකකරුවන් 13 දෙනකුද, මැණික්හින්න පොලිස් වසමෙන් සැකකරුවන් 07 දෙනකු ද ආදී වශයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 04 වැනි දින රාත්‍රියේ සිට මේ දක්වා ඇති වූ සිද්ධීන්වලින් 26 සහ 28 හැවිරිදි පුද්ගලයන් දෙදෙනකු මිය ගොස් ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
පල්ලේකැලේ කෙන්ගල්ල ප්‍රදේශයේ ගිනි තැබූ වෙළෙඳසලක් තුළ 26 හැවිරිදි තරුණයාගේ මළ සිරුර හමු වූ බවත් දුම ආඝ්‍රාණය වීමෙන් එම මරණය සිදුව ඇති බව පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හෙළි වූ බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
පූජාපිටිය, මුල්ලේගම ප්‍රදේශයේ පෙරේදා (07දා) ඇති වූ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් අතර තුර අත්බෝම්බයක් පිපිරී යෑමෙන් 28 හැවිරිදි පුද්ගලයකු ජීවිතක්‍ෂයට පත් වී තවත් 11 දෙනකු තුවාල ලබා ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

එම අත්බෝම්බයේ ආරක්‍ෂක ඇණය මිය ගිය පුද්ගලයාගේ ආසන්නයේ තිබී සොයා ගැනීමට හැකි වූ බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.
එසේම මෙම කාලය තුළ නිවාස හා වෙළෙඳසල්වලට අලාභහානි කිරීමේ සිද්ධීන් 45ක් වාර්තා වී ඇති බව ද පොලිසිය පවසයි.
රංගල, කටුගස්තොට, මැණික්හින්න, පල්ලේකැලේ, තෙල්දෙණිය, මහනුවර, වත්තේගම යන පොලිස් වසම්වලින් මෙම සිද්ධීන් වාර්තා වී ඇත.
ඊට අදාළ වැඩිම සිද්ධීන් ගණන වන නිවාස සහ වෙළෙඳසල් විනාශ කිරීම් 18ක් වාර්තා වී ඇත්තේ තෙල්දෙණිය ප්‍රදේශයෙන් බව ද පොලිසිය පවසයි.
පූජා ස්ථානවලට අලාභහානි කිරීමේ සිද්ධීන් 4ක් වාර්තා වන බවත් ඉන් සිද්ධීන් තුනක් කටුගස්තොටින් සහ එක් සිද්ධියක් පූජාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.

රංගල, මැණික්හින්න, පල්ලේකැලේ, තෙල්දෙණිය යන ප්‍රදේශවලින් වාහනවලට අලාභහානි කිරීම් සිද්ධීන් 11ක් වාර්තා වන බවද හෙතෙම කීය.
පෙරේදා (07දා) දින පස්වරු 4.00 සිට ඊයේ (08දා) පෙරවරු 10.00 දක්වා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ කාල සීමාව තුළ මහනුවර පොලිසිය විසින් සැකකරුවන් 4 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරුවන් ඊයේ මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 21දා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com