www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ආගමික නායකවරුනි සාමය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙලට දායක වන්න


2018-03-08 08:10:16 -  532 යි

සංවිධානාත්මක වූ අන්තවාදී පිරිස් විසින් බරපතළ ලෙස ජාතීන් අතර ගැටුම් සංවිධානය කරමින් රට තුළ නොසන්සුන්තාවක් ඇති කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බැවින් ගෞරවනීය මහනායක හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයත්, හින්දු ඉස්ලාම් හා ක්‍රිස්තියානි පූජකතුමන්ලා සහ නායකතුමන්ලාගෙනුත් ප්‍රාදේශීය වශයෙන් ඊට අවශ්‍ය නායකත්වය ගෙන ඒ ඒ ප්‍රදේශවල සාමය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙළට සක්‍රියව දායක වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විශේෂ ඉල්ලීමක් කරයි.
ජනපතිවරයා මේ ඉල්ලීම කළේ ඊයේ (7දා) කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති කුරුණෑගල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගි වෙමිනි.
සම්බන්ධීකරණ කමිටු රැස්වීම අවසන් කරමින් රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් කතා කළ ජනපතිවරයා එහිදී මෙසේද කීය.

රට තුළ මේ වන විට උද්ගතව පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඉකුත් දින දෙකේම අපි අමාත්‍ය මණ්ඩලයත් ජාතික ආරක්ෂක මණ්ඩලයත් රැස්වී තීරණ කිහිපයකට එළැඹුණා. ඒ අනුව විශේෂයෙන්ම මේ ජාතීන් අතර ඇතිවන ගැටුම් සහ අසමඟිය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග සියල්ලම මේ වන විට අරගෙන තිබෙනවා.
ඒ ඒ ප්‍රදේශවල සාමය ආරක්ෂා කරන්න සාමාන්‍ය ජන ජීවිතය යථාවත් කරන්න සහ ගැටුම් වැළැක්වීම සඳහා කටයුතු කරන්න යුද, නාවික, ගුවන්, පොලිසිය සහ විශේෂ කාර්ය බළකාය ඇතුළු සියලු ආරක්ෂක අංශ අපි ඒ වෙනුවෙන් යොදවල තිබෙනවා.

තත්ත්වය කෙසේ වුවත් අපිට පෙනී යනවා සංවිධානාත්මක වූ අන්තවාදී පිරිස් විසින් බරපතළ ලෙස මෙම ගැටුම් සංවිධානය කරමින් රට තුළ නොසන්සුන්තාවක් ඇතිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව.

ඒ නිසා රටේ සෑම පළාතකම මැති ඇමැතිතුමන්ලා ආයතන ප්‍රධානීන් සහ පොලිසිය ඇතුළු ඒ අවශ්‍ය සියලු කාර්ය මණ්ඩල ඒ ඒ අදාළ ස්ථානයන් සම්බන්ධයෙන් සහ කිසිදු භේදයකින් තොරව සෑම පූජනීය ස්ථානයක්ම ආරක්ෂා කිරීමටත්, අපේ සිංහල, මුස්ලිම් සහ දමිළ ජනතාව අතරේ ගැටුම් ඇතිවීම වැළැක්වීම සඳහාත් සමඟියෙන් සුහදතාවයෙන් කටයුතු කිරීමටත් ඒ අවශ්‍ය ප්‍රාදේශීය නායකත්වය ලබාගෙන ඒ පිළිබඳව පුළුල් ලෙස තමුන්නාන්සේලා සෑම කෙනකුගේම අවධානය යොමු කරලා මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියල කාරුණික ඉල්ලීමක් කරනවා.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com