master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

ෆොන්සේකාට දෙන්නෙත් නෑ: ගන්න කෙනෙක් ඇත්තෙත් නෑ නීතිය හා සාමය අර්බුදයක


2018-03-04 13:12:46 -  765 යි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සති දෙකක කාලසීමාවකට ලබාදුන් නීතිය හා සාමය අමාත්‍යංශය නැවත භාරගැනීම රජයේ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනාම මේ වන විට ප්‍රතික්‍ෂේප කරමින් සිටින බව ඊතලය ආරංචි මාර්ග හෙළි කරයි.

මේ තත්ත්වය හමුවේ රජය තුළ එම අමාත්‍ය ධුරය පැවරීම සම්බන්ධව අර්බුදකාරී වාතාවරණයක් උද්ගතව ඇති බව ද හෙළි වෙමින් තිබේ.

ඒ අනුව අනිද්දා (06) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම අර්බුදය විසඳාලීම සඳහා වූ අදහස් පැවසීමට තීරණය වී තිබෙන බව වාර්තා වෙයි.

නීතිය හා සාමය අමාත්‍ය ධුරයට මුලින්ම රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ නම යෝජනා වූ අතර ඔහු එය ප්‍රතික්‍ෂේප කිරීමත් සමග අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම ද එම අමාත්‍ය ධුරය සඳහා යෝජනා විය.

එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් වෙතින් ඒ සම්බන්ධ ප්‍රබල විරෝධයක් මතු වී තිබේ. බටහිර රාජ්‍යයන් වෙතින් ද ෆොන්සේකා මහතාට එම ධුරය ලබාදීම සම්බන්ධයෙන් යම් විරෝධතා එල්ල වූ බව ද වාර්තා වේ.

මේ සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම ද යෝජනා වී තිබෙන අතර අදාළ යෝජනාව තමන් ද ප්‍රතික්‍ෂේප කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා රිවිර ඉරිදා සංග්‍රහය කළ විමසුමක දී පැවසීය.

මීට අමතරව ආණ්ඩුවේ තවත් ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනකුම මෙම අමාත්‍ය ධුරය භාරගැනීම දැනට ප්‍රතික්‍ෂේප කර ඇති අතර එම අමාත්‍ය ධුරය සඳහා නියෝජ්‍ය හා රාජ්‍ය අමාත්‍ය ධුර කිහිපයක් පත්කිරීමේ උත්සාහයක් ද පැවතිය නමුත් එම උත්සාහයන් ද මතෛක් සාර්ථක වී නොමැත.

මේ අනුව මෙම අර්බුදකාරී තත්ත්වය හමුවේ නීතිය හා සාමය අමාත්‍ය ධුරය තවදුරටත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යටතේ පවතියි. කෙසේ වෙතත් මේ හේතුව නිසා ශ්‍රීලනිප කැබිනට් ඇමැති සංශෝධනය තවත් කල් යන ලකුණු පහළ වෙමින් තිබේ.

එම්.පී. ගුණසේකර

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
13 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com