master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කොටි හඬ සුන් කරන්න ඉලක්ක සොයා දුන් දිගු දුර 08 දෙනාගේ මාරාන්තික ගමන


2018-03-03 16:13:39 -  2151 යි

දින දහයක විමර්ශන මෙහෙයුමක් සඳහා දිගුදුර විහිදුම් බළකායේ අටේ කණ්ඩායමක් සූදානම් විය. මෙහෙයුම සඳහා අවශ්‍ය සියලුම අවි ආයුධ, කෑම බිම හා ආම්පන්න ද එකලස් කෙරිණි.
මෙය ද සුවිශේෂී ඉලක්කයක් විය. මුලතිව් නැදුන්කර්නි මාර්ගයට පහළින් වූ ඉලක්කයක් සොයා යෑම අරමුණ විය. මීට පෙර මෙහෙයුමක් සඳහා ගිය සැරයන් කුමාරසිංහගේ කණ්ඩායමකට නිරීක්ෂණය වූ ඇන්ටනාවක් පිළිබඳ සොයා බැලීම මූලික අරමුණ විය.

මෙම කණ්ඩායමට කෝප්‍රල් විජේරත්නගේ නායකත්වය යටතේ රංජිත් කුසුම්සිරි, විජේතිලක, විජේසිරි, රිස්වි, සමරසිංහ, දයාවංශ, සිල්වා යන විශේෂ බළකා දිගුදුර විහිදුම් ඒකකයේ අටේ කණ්ඩායමක් එක් විය.
මෙම කණ්ඩායම ඉදිරියට යෑමට තිබුණේ වැලිඔය, ජනකපුර ආරක්ෂක වළල්ලෙන් ය. කොටින්ගේ ඉදිරි ආරක්ෂක වළල්ල අතරින් රිංගා ගැනීමට රාත්‍රී කාලයේ දී තැනක් විමර්ශනය කෙරිණි.

කොටින්ගේ මර උගුල්, බිම් වෙඩි, ගලවා දැමු තැනකින් උපක්‍රමශීලීව කොටි ආරක්ෂක වළල්ල තුළට අටේ කණ්ඩායමේ භටයන් රිංගා ගත්හ. ඒ පාන්දර 2.00 ට පමණ ය. කොටි ආරක්ෂක වළල්ලෙන් රිංගා මීටර් පන්සියයක් පමණ ගොස් ආරක්ෂිත තැනක් සොයා නවාතැන් ගැනීමට කණ්ඩායම තීරණය කළේ ය.

ඒ ඉදිරියේ වන දේ ගැන සවන්දීමේ හා විමර්ශනය කිරීමේ කටයුතු සඳහා ය. මුල් අදියර වශයෙන් තන්තිමුරුප්පු වැව ආසන්නයට යෑම කණ්ඩායමේ ඉලක්කය විය. මේ අනුව නැවත ගමන ඇරඹී ය. ඒ අලුයම 5.30 ට පමණ ය. කිලෝ මීටර් හයක් පමණ ඉදිරියට ගමන් ඇරඹූ අටේ කණ්ඩායම තන්තිමුරුප්පු වැව් බැම්ම ආසන්නයටම ළඟා වූහ.
මීළඟට ඇති බාධකය පැන ගැනීම අසීරු එකක් විය. තන්තිමුරුප්පු වැව විවෘත භූමියත් සමග පිහිටා තිබුණෙන් අඳුර වැටීමෙන් පසුව එය පසුකර යෑම අවදානම් විය. ඊට හේතුව වූයේ තන්තිමුරුප්පු වැව් බැම්මේ කොටින්ගේ කඳවුරක් ඉදිකර තිබිම නිසා ය. වැව් බැම්මේ සිටින කොටින්ට විවෘත භූමිය හරහා ගමන් කරන ඡායාවක් වුව හොඳින් නිරීක්ෂණය වන නිසා රාත්‍රී කාලයේ පවා ගමන් ගැනීම අවදානමක් විය.

කොටි ත්‍රස්තයන් නිදි කිරා වැටෙන අලුයම් යාමයේ මෙම බාධකයත් පැන ගැනීම අවශ්‍ය විය. මේ වන විට අඳුර වැටෙමින් තිබූ නිසා පසුදින අලුයම් කාලය වනතුරු වැව් බැම්මේ ආරක්ෂිත තැනක ලැගුම් ගැනීමට තීරණය විය. මේ අනුව ආරක්ෂිත තැනක් තෝරාගෙන ඕනෑම මොහොතකට සූදානම් විය හැකි පරිදි මෙම සෙබළු එහි ලැගුම් ගත්හ.
එදින දවසම එක් තැනක ගත කරන්නට මෙම කණ්ඩායමට සිදු විණි. මෙවැනි අවස්ථාවක් උද්ගත වූ විට කැලෑව තුළම රැඳී සිටින මෙම භට කණ්ඩායම්වලට වැසිකිළි යෑමට සිදු වුවත් තමන් සිටින තැනම හෙමින් සීරුවේ වළක් හාරා තම ශරීර අවශ්‍යතාව ඉටුකර ගැනීමට සිදුවන්නේ ය. යම් හෙයකින් සතෙක්, සර්පයකු දෂ්ට කළහොත් එයට ද එතැනම ප්‍රතිකාර දෙන්නේය.

දිගුදුර මෙහෙයුම්වල නිරත සෙබළුන්ට ඇතැම් දිනවල ඉලක්කය ලබාගන්නා තුරු දින තුන හතර එකම තැන රැඳී සිටීමට සිදුවන අවස්ථා ද එමටය. එවැනි මොහොතක කෑම ගැනීමත්, මලපහ කරන්නටත් ඇත්තේ ද තමා සිටින තැනමය. යම්තමට වළක් හාරා තම අවශ්‍යතාව ඉටුකරගෙන පස්වලින් වසා දැමීම සාමාන්‍ය පුරුද්දය.

එමෙන්ම අරමුණක් කරා අධිෂ්ඨානයෙන් යද්දී තුන්වේලම කෑම ගැනීම ද අතපසු වන්නේ ය. එවන් බොහෝ අවස්ථාවල භාවිත කරන්නේ අධි ‍පෝෂිත පෙත්තකි. මෙයින් එක් වේලකට සරිලන ‍පෝෂණයක් ඇඟට ලැබෙන්නේ ය. කුසට සරිලන කෑම වේලක් ගැනීමද බොහෝ විට අසීරු වන්නේ ලැගුම් ගන්නා තැන්වල ඇති අවදානම නිසා ය. කොටි ත්‍රස්තයන් ගමන්ගන්නා මාර්ගයක් අසල හෝ බංකර් පෙළක් ආසන්නයේ ලැගුම් ගන්නා විට කෑම සුවඳ පිටතට යෑමට ඉඩ ඇති නිසා බිස්කට් කා වතුර බි කුසගින්න නිවාගන්නා අවස්ථා ද එමටය. එමෙන්ම හරක්මස්. මීපැණි ඇතුළුව ‍පෝෂණයෙන් වැඩි ආහාර වර්ග කල්තබා ගත හැකි අයුරෙන් සකස්කරගෙන මෙවැනි මෙහෙයුම්වලට රැගෙන යෑමට ද මෙම දිගුදුර මෙහෙයුම්වල නිරත වන භට පිරිස් කටයුතු කරන්නේ දින දහයක පමණ මෙහෙයුමකට සැලසුම් කළත් ඇතැම් විට දින විස්සක් පමණ සතුරු බළකොටුවේ රැඳී සිටීමට සිදුවිය හැකි නිසා ය.

එවන් අවස්ථාවල ගස්වල කොළ, ‍පොතු, වැල් ඇතුළු පරිසරයෙන් හමුවන දෑ ආහාරයට ගැනීමට මෙම විශේෂ බළකා සෙබළුන් පුරුදු වී ඇත. කෑමට දෙයක් නැති වූ තැන හුඹස්වල පස් පවා කෑමට ගත් අවස්ථා ද ඇත්තේ ය. තමන්ට ලබාදෙන අති දුෂ්කර වූ පුහුණුව තුළින් ඕනෑම තත්ත්වයක් යටතේ නොනැසී ජීවත් වීමට මොවුන්ට හැකි ය.
තන්තිමුරුප්පු විවෘත භූමිය පසුකර යෑම අසීරු නිසා වැව් බැම්ම අසල ලැගුම්ගත් මෙම අටේ කණ්ඩායම ඉදිරියට යෑමට සැලසුම් කළේ පසුදින රාත්‍රී 12 න් පසුව ය. ඒ වනතෙක් දවසක්ම රැය ගෙවනතුරුම නිසොල්මනේ රැඳී සිටීමට මෙම භට පිරිස්වලට සිදු විණි.

රැය ගෙවී යද්දී ඉදිරි ගමන සැලසුම් කළ භට කණ්ඩායම රාත්‍රි 12. පසුවීමත් සමග අසීරු බාධකයක් වූ විවෘත භූමිය පැනගෙන ඉදිරියට ඇදුනහ. රාත්‍රී 12.00 ත් 2.00 ත් අතර තුළ ඉදිරියට යෑම සිදු විණි. විවෘත භූමිය පැනගත් කණ්ඩායම් යළිත් එළිය වැටෙනතුරු ලැගුම් ගැනීමට තීරණය කළේ ය.

ලබන සතියට

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com