master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

එස්.ටී.එෆ්. ප්‍රහාරයෙන් මැරුණු කවුද මේ ඩී. මංජු


2018-02-26 11:21:39 -  1622 යි

පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂාව සඳහා ‍පොලිසියට හා ‍පොලිස් විශේෂ කාර්ය බළකායට වැඩි වගකීමක් පැවරුණෙන් සංවිධානත්මක අපරාධ මැඬ පැවැත්වීම පසුබට වන්නට විය.

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාල කෙරුමන් එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන දේශපාලන කරළියට එන්නට වූයේද මේ අතරය. ප්‍රබල අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයින් රැකවරණ මැද දේශපාලනඥයින්ගේ වාහනවල, කාර්යාලවල නිතර සැරිසැරූ පාතාලයින් රැසකගේ තොරතුරු ඒ අතරේ පාතාල මර්දන බුද්ධි ඒකක වෙත ගලා ආවේය.

සංවිධානාත්ක අපරාධ ඒකකය හා ‍පොලිස් විශේෂ කාර්ය බළකා පාතාල මර්දන එකක භාර ප්‍රධානියා වශයෙන් කටයුතු කළ ‍පොලිස් විශේෂ කාර්ය බළකා සේනාවිධායක ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතාගේ නායකත්වයෙන් පාතාල මර්දන කටයුතු හා මත්ද්‍රව්‍ය වැටලීම් අඛණ්ඩව සිදුවූයේය.

මේ අතරතුර රට පුරා අපරාධ රැල්ලට වගකිවයුතු පාතාල නායකයින් මෙන්ම ප්‍රධාන පෙළ් පාතාල සාමාකයන් පසුපස හඹා යෑමට අස්සක් මුල්ලක් නෑර බුද්ධි මෙහෙයුම්ද අරඹා තිබුණේය. මැතිවරණය අවසන් වූ වහාම පාතාල මර්දනය යළි අරඹන්නැයි ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා නියෝග කරන්නේද මේ අතයෙ. මේ වන විටත් පාතාල ප්‍රබලයින් රැසක්ම සිටියේ කැබිනට් අමාත්‍යවරුන් දෙදෙනකු ඇතුළු ප්‍රබල දේශපාලනඥයින්ගේ රැකවරණ මධ්‍යයේය.

‍පොලිස් විශේෂ කාර්යබළකායට පාතාල කල්ලි පසුපස හඹා යෑම නවත්වන ලෙසද ප්‍රබල දේශපාලනඥයකු බලපෑම් කළ ද අපරාධකරුවන් කොටු කරන මෙහෙයුම් කිසිසේත් නතර නොකරන බවට ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා දැඩි තීරණයක සිටියේය.

පාතාල ලෝකයේ මිනීමැරුම් හා අපරාධ රැසකට සම්බන්ධ ඩී. මංජු හෙවත් දඩල්ලගේ මංජු හා වනාතේ බිම්සර කොටු කරන්නට සංවිධානාත්මක අපරාධ එකක දැළ එළද්දී ඔවුන් දෙදෙනා රැකවල් පතා නතර වන්නේ ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනකුගේ අස්සේය.

හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම්, මිනිස් ඝාතන ඇතුළු අපරාධවලට සම්බන්ධ පාතාලයන් පසුපස හඹා යද්දී දේශපාලනඥයන්ගේ රැකවල් මැද බේරෙන්නට ගත් උත්සාහයද වැරදුණ තැන මෙකී පාතාලයන්ගේ මව්වරුන් විසින් තමන්ගේ පුත්තු අපරාධවලට සම්බන්ධ නොවන බවට කියමින් ‍ජ්‍ය‍ෂේට නියෝජ්‍ය ‍පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාට ආන්දෝලනාත්මක ලිපි එවා තිබුණේද අපරධකරුවන් කොටුකරන මෙහෙයුම්වලට ඇති වූ බිය නිසාය.

එවන් සීතල යුද්ධ මධ්‍යයේ ඡන්දයෙන් පසුව යළි අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපවත්වන්නට විශේෂ කණ්ඩායම් යෙදුවේ දිගට හරහහට පාතාලය කොළඹ ඝාතන රැල්ලක් ක්‍රියාත්මක කරන්නට වූ නිසාය.

මත්ද්‍රව්‍ය ජාවාරමේ හා පාතාල මර්දන මෙහෙයුම්වල නිරත කණ්ඩායම් සොයා මෙම සිකුරාදා (23 දා)දහවල් ‍පොලිස් විශේෂ කාර්ය බළකා කණ්ඩායම් රටපුරා සෝදිසි මෙහෙයුම් අරඹා තිබුණේය. ඒ අතරේ ‍පොලිස් විශේෂ කාර්ය බළකා සංවිධානාත්මක අපරාධ ඒකකයේ ප්‍රධාන ‍පොලිස් පරීක්ෂඛ නදික ද සිල්වාට ලද තොරතුරකින් කියවී තිබුණේ වෑන් රථ දෙකකින් මත්කුඩු ප්‍රවාහනය කිරීමට පාතාල කණ්ඩායමක් වත්තලට එන වගය.

මේ අනුව වත්තල ප්‍රදේශයේ විමර්ශන කණ්ඩායම් තොරතුරු හඹා යද්දී තමන්ට ලද වාහනවල අංක දෙකක තොරතුරු ඔස්සේ එක් වෑන් රථයක් සොයා ගන්නට සමත් වූහ. ඒ වත්තල ශාන්ත ආනා පල්ලිය ආසන්නයේ වාහන නැවතුම්‍පොළක් අසලදීය. අඳුරු විදුරු සහිත එම වෑන් රථය සෝදිසි කිරීමට වහාම ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක නදික ද සිල්වා ඇතුළු කණ්ඩායම ක්‍රියාත්මක වන්නේ ඒ අනුවය.

වෑන් රථයේ ඉදිරිපස අසුන්ගෙන සිටි දෙදෙනා බිමට බස්සවා පරීක්ෂා කිරීමේදී වත්තල හේකිත්ත පාරේ පදිංචි කමල් රංජිත් හා රත්තොට පුස්සැල්‍ලේ පදිංචි මුත්තු තමිල් සෙල්වන් යන දෙදෙනකු බව අනාවරණය වූවේය.  වාහනයේ පිටිපස්සේ කව්රුත් ඉන්නවදැයි විමසද්දී කව්රුත් නැහැ යැයි මෙකී දෙදෙනා කියද්දී ප්‍රධාන ‍පොලිස් පරීක්ෂක නදික ද සිල්වා පසුපස දොර විවර කරන්නේ වෑන් රථය පරීක්ෂා කිරීමටය.

එක්වරම වෑන් රථය තුළින් එල්ල වූ වෙඩි ප්‍රහාරයන් ‍පොලිස් පරීක්ෂක නදික සිල්වාගේ ළය අසලින් ඇදී යන්නේ තත්පරයක ඇසිල්ලෙනි. එකී වෙඩි උණ්ඩය ගිලිහී යනවාත් සමග ‍පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් එල්ල කළ ක්ෂණික ප්‍රතිප්‍රහාරයෙන් වෑන් රථය ඇතුළෙන් එල්ල වූ වෙඩි ප්‍රහාරය නිහඬ විය.

වහාම වෑන් රථය පරීක්ෂා කිරීමේදී පිස්තෝලයක් සමග වෙඩි කා බිම වැටී සිටි අපරාධකරුවකු එහි විය. තුවාලකරු වහාම රාගම රෝහලට යවන්නේ ඉතිරි සෝදිසි මෙහෙයුම් අතරතුරදීය. අතුරුදන් වූ අනෙක් වෑන් රථය සොයා මෙහෙයුම් ක්‍රියාත්මක වෙද්දී රාගම රෝහලට වෙඩි කා තුවාල මැද යැවූ අපරාධකරු මරු දකින්නේය.

මෙකී ප්‍රහාරයෙන් මරුමුවට පත් වී ඇත්තේ මතෛක් කල් දේශපාලනඥයන්ගේ රැකවල් මැද සැඟවී සිටි ඩී. මංජු බවට අනාවරණය වූයේ ය. කැබිනට් අමාත්‍යවරුන්ගේ පවා රැකවරණ පැතු ඩී. මංජු මෙම මෙහෙයුමේදී මරු දකින්නේ ‍පොලිස් විශේෂ කාර්ය බළකායට වෙඩි තබා පළායන්නට උත්සාහ ගන්නා මොහොතේ දීය. ටී 56 දෙකක් ඇතුළු ගිනිඅවි සමග වෑන් රථ දෙකකින් හෙරොයින් ජාවාරමක් සඳහා කණ්ඩායම් දෙකක් පැමිණෙන බවට ලද තොරතුරක් මත වත්තල පීරද්දී ඩී. මංජුගේ අවසන් ඉරණම විසඳුණි.

ඩී. මංජු මිට පෙරදීත් ‍පොලිස් විශේෂ කාර්ය බළකාය වැටලීමක් කරන්න ගිය මොහොතක මරාගෙන මැරෙන බවට තර්ජනය කළ බවට සනාථ වී ඇත්තේය.

පෑලියගොඩ ගඟබඩ වත්තේ පදිංචිකරුවකු වූ ඩී. මංජු මිනිස් ඝාතන රැසකට මෙන්ම, පාතාල ක්‍රියා සඳහා අවි ආයුධ සැපයීම, මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ජුවම සම්බන්ධ අයකු බව ‍පොලිස් වාර්තාවල සඳහන් ය.

දලුගම, ටයර් හන්දියේ දී එක්සත් ජනතා නිදහස් සන්ධාන පෑලියගොඩ නාගරික මන්ත්‍රී චමිල සඳරුවන්ව 2014 මැයි 12 දා ඝාතනය කිරීමේ සිද්ධියට යතුරුපැදියෙන් පැමිණියේ ඩී. මංජු බවට අනාවරණය වන්නේද ඩී. මංජුය.

කඩුවෙල පාතාල නායක සමයං සමග ගනුදෙනු කරමින් අපරාධ රැල්ල මෙහෙය වූ ඩී. මංජු ඩුබායිහි සිටින මාකඳුරේ මධුෂ්ට එරෙහිව යුද ප්‍රකාශ කරන්නේ රාජගිරියේ දී මංජු යසස් ශ්‍රී නමැති මධුෂ්ගේ ගෝලයා ඝාතනය කරමිනි. සමයංගේ කල්ලිය කළු සාගර සමග යතුරුපැදියකින් ගොස් එම ඝාතනය මෙහෙයවා තිබුණේ ඩී. මංජුය.

අංගොඩ ලොක්කාගේ කල්ලිය අතින් සමයංව කළුතරදී ඝාතනය කරන්නට මුලික වූ ඔබේසේකරපුර දී හර්ෂව ඝාතනය කළ සිද්ධියට පැමිණ ඇත්තේ ද ඩී. මංජු වග කියන්නේය. හර්ෂව ඝාතනයේ ප්‍රතිඵල ලෙස සමයංව බන්ධනාගාර බස් රථයේ මරා දැමීමෙන් පසුව බලය බිඳ වැටුණු කඩුවෙල පාතාලයට අපරාධ සඳහා අවි ආයුධ දුන්නේ ඩී. මංජුය.  පසුගිය වසරේ අප්‍රේල් අවුරුදුදා කඩුවෙලදී පිඩලි ප්‍රියන්ත ඝාතනය කරනු ලැබුවේද ඩී. මංජු සැපයූ ආයුධයකිනි. ඩී. මංජු අල්ලන්නට නවගමුව ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක මංජුල ද සිල්වා මහතා ඇතුළු කණ්ඩායමක් පැලියගොඩ නිවස වැටලූ මොහොතේ පාතාලයාගේ බිරිඳ මානව හිමිකම් කොමිසමටද පැමිණිලි කළා ය.

දකුණේ පාතාල නායක කොස්ගොඩ සුජීගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින් කොළඹ කේන්ද්‍ර කරගත් හෙරොයින් ජාවාරම සිදු වී තිබුණේ ඩී. මංජු අතින් බව පාතාල මර්දන ඒකක වාර්තා කර තිබෙන්නේ ය. කඩුවෙල පාතාලයට මෙන්ම කොළඹ පාතාලයට අවි ආයුධ සපයමින් කොන්ත්‍රාත් ක්‍රමයට අපරාධ මෙහෙය වූ හා මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙය වූ ඩී. මංජුට කොළඹ රාත්‍රීසමාජ ශාලාවලටද ඇතුළු වීම තහනම් වූයේ ඒවායේ සිදු කළ අපරාධ නිසාය.

මෝදර වැල්‍ලේ පාතාල නායකයා වූ වැල්‍ලේ සුරංග සමග පසුගිය 11 දා මෝදර වැල්‍ලේ දී කාන්තාවකට වෙඩි තැබු සිද්ධියටද ඩී. මංජු සම්බන්ධ වූ බවට හෙළි වී ඇත්තේ ය.

මේ අයුරින් මෙම පාතාල කල්ලි සමග එක් වී අවි බලයෙන් කොළඹ හෙල්ලූ ඩී. මංජු උණ්ඩයෙන්ම ජීවිතය නිමාකර ගත්තේ අපරාධ රැල්ලට තවත් නිමාවක් තබමිනි.

තිස්ස රවින්ද්‍ර පෙරේරා
සඳරුවන් පළිහේන


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com