www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

වයරයකින් ගෙල සිරකර රත්වුණු අයන් එකෙන් රහස් පෙදෙස පුච්චා බිරිඳ මැරූ සමන්මදු හෙළි කළ කතාව - Photos


2018-02-03 13:10:00 -  1035 යි

උඹ අද අරූ එක්ක රත්මලේ රෙස්ට් එකට ගියේම නෑ

ඕන මිනිහෙක් එක්ක මම යනවා. උඹට බෑ මාව නවත්වන්න

කරගඳ එනකම්ම මම ඒ හරිය මැද්දා

බානගලගේ එරංගා සඳමාලි කලපලාකන්ද ගම් ප්‍රදේශයේ පදිංචිකාරියකි. කප්පරහේවගේ සමන්මදු ගේ ගම්පළාත වුයේ බෙරලපනාතරයි.

ඌරුබොක්ක පොලිස් වසමේ පිහිටි ගම් දෙකක පදිංචි කරුවන් වූ මේ දෙදෙනා අතර ආදර සම්බන්ධයන් හටගත්තේ මීට වසර අටකට නවයකට ඉහතදීය.

පෙදරේරුවකු වූ සමන්මදු බොහෝ උත්සාහවන්ත තරුණයකු විය. උපයාගන්නා මුදල් අරපරිස්සමෙන් වියදම් කළ ඔහු සඳමාලි හා යුගදිවි ගමන් ඇරැඹීමට අවශ්‍ය පසුබිම සකසා ගැනීමට ද වගබලා ගත්තේය.

ඒ අනුව තමන්ටම කියා නිවෙසක් ඉදිකිරීමට පටන් ගත් සමන්මදු පසුව සඳමාලි එම නිවෙසට කැන්දාගෙන ආවේ පවුල්වල අයගේ ආශිර්වාදය මැද්දේය.

මෙලෙස යුග දිවිය ගලා යද්දී සඳමාලි මවු පදිවියට උරුමකම් කිවේ දියණියක බිහි කරමිනි.

මේ අයුරින් ටික කලක් ගත වෙද්දී සඳමාලි ගේ ගති පැවතුම් වල යම් වෙනසක් ඇතිවෙමින් පවතින බවක් සමන්මදුට වැටහිණි. ඒ ගැන අවධානය යොමුකළ ඔහුට දැනගන්නට ලැබුණේ ඇය අනියම් ඇසුරක පැටලී ඇති බවය.

දෑතේ හයියෙන් හරි හම්බකොට ගෙවල් දොරවල් සාදා දහසක් බලාපොරොත්තු හදවතේ රුවාගෙන ගෙදරට කැන්දාගෙන පැමිණි සඳමාලි මවු පදවිය ද ලැබීමෙන් අනතුරුව තමාට ද්‍රෝහිවන අයුරු උපේක්ෂාවෙන් බලා සිටීමට සමන්මදුට හැකිවුයේ නැත. ගෙදර තිබු සාමය සමගිය බිදී ගොස් පවුල් ආරවුල් ඇතිවන්නට පටන් ගත්තේ ඉන් අනතුරුවය.

සඳමාලි ගේ පෙම්වතා වුයේ මේනක නම් වූ එම ගම්පළාතේම පදිංචි තරුණයෙකි. තේ දලු වෙළෙඳාම ඇතුළු වෙළෙඳාම්වල යෙදී සිටි ඔහු නිසා සමන්මදුගේ පවුලේ සමඟිය බිදී යද්දී ඌරුබොක්ක පොලිස් පොතේ ද මෙම පවුල් ආරවුල පිළිබඳ කිහිප වතාවකදී පැමිණිලි කිහිපයක් සටහන් විය.

සඳමාලිගේ අනියම් ඇසුර හේතුවෙන් හටගත් මේ පවුල් ආරවුල වරක් ඌරුබොක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයා හමුවට ගෙන යාමට සුලු පැමිණිලි අංශයට සිදුවිය. ඒ එම අංශයේ නිලධාරින්ට මේ ප්‍රශ්නය විසඳීමට අපහසු වූ නිසාය.

සඳමාලිගේ අනියම් සැමියා ද පොලිසියට කැඳවු ස්ථානාධිපතිවරයා දෙදෙනාටම අවවාද කොට මේ ආකාරයෙන් ඇසුර ගෙන ගිය හොත් ඉදිරියේ දී ඇතිවිය හැකි විපාක ගැන ද පැහැදිලි කර දුන්නේය.

ස්ථානාධිපතිවරයාගේ අවවාද අනුශාසනා පිළිගත් සඳමාලි අනියම් ඇසුර නවතා දැමීමට එකඟ වූ අතර ඇයගේ අනියම් සැමියා වූ මේනක ද පොලිසිය පැනවු කොන්දේසි වලට එකඟවිය. පවුල් ආරවුල එලෙස සාමකාමීව විසඳුන අතර සමන්මදු සැනසුම් සුසුමක් හෙලා සඳමාලි ගෙදර කැඳවාගෙන ගියේය.

දැන් සමන්මදු ගේ දරුපවුල සාමදානය. යළි අනියම් ඇසුරේ නොපැටලෙන බවට ඇය ඔහුට දිව්රා පොරොන්දු වුවාය. එහෙත් සමන්මදු ගේ සිතෙහි ඇති වූ සැකය මේ සිදුවීම් මාලාවත් සමඟ සම්පුර්ණයෙන්ම පහව ගියේ නැත. එලෙසම සඳමාලි ගැන පුර්ණ විශ්වාසයක් ද ඇති වුයේ නැත.

එබැවින්... ඔහු තම දෑතේ වෙර වීරියෙන් හරි හම්බ කළ මුදල් වියදම් කොට දෑතේ සවියෙන් ඉදිකළ නිවෙස වසා දමා ඌරුබෝකක නගර ආසන්නයේ නිවෙසක් කුලියට ගෙන සඳමාලි හා දරුවා සමඟ එහි පදිංචියට ගියේය.

මෙය පැරැණි නිවෙසකි. නිවෙසේ හිමිකරුවන් පදිංචිව සිටියේ ද මෙම නිවෙස ඉදිරිපිට ආසන්නයේ ඉදිකළ අලුත් නිවෙසේය. නිවෙස් දෙක අතර පරතරය අඩි හයක් තරම් වේ. මෙහි හිමිකරුවන් වුයේ විශ්‍රාමික විදුහල්පති යුවලකි. ඔවුන්ගේ තරුණ දියණිය ද නිවෙසේ කල්ගෙවු අතර කුලී නිවැසියන් හා ගෙහිමියන් අතර එතරම් ඇයි හොඳයියක් පැවතුනේ නැත.

පසුගිය දහවැනිදා රාත්‍රී නවය හමාරට දහයට පමණ ඌරුබොක්ක පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලැබිණි. ඇමතුම දුන්නේ එම පොලිසියේ කොස්තාපල් වරයෙකි. නිවාඩු ලැබ නිවෙසට ගොස් සිටි ඔහු ස්ථානාධිපතිවරයාට ඇමතුමක් දී පවසා සිටියේ මනුෂ්‍ය ඝාතනයක් පිළිබඳය.

සර්... මම අඳුරන කෙනෙක් ගේ මස්සිනා වයිෆ්ව මරලා. දැන් බෙරලපනාතර මගේ හිතවත් කෙනාගේ ගෙදරට ඇවිත් ඉන්නවා. මොකද කරන්නේ.

කොස්තාපල්වරයා මෙම තොරතුර ලබාදෙන විට ස්ථානාධිපති වරයා දේශපාලන රැස්වීමකට ආරක්ෂාව සැපයීමේ කාර්යයේ යෙදී සිටියේය. ඇමතුම ලද වහාම ක්‍රියාත්මක වූ හෙතෙම කොස්තාපල්වරයාට උපදෙස් දුන්නේය.

හරි... පොලිසියෙන් එක්කෙනෙක් මම එවන්නම්. දෙන්න එක්ක ඔය දෙන්නව පොලිසියට අරන් එන්න. මම ඉක්මනින්ම එන්නම්.

එලෙස උපදෙස් දුන් ස්ථානාධිපති වරයා බෙරලපනාතර බලා පිටත් විය. පොලිස් ජීප් රථය සැකකරු සිටින නිවෙස දෙස යද්දී කොස්තාපල්වරු දෙදෙනා සැකකරු සහ ඔහුගේ ඥාාති සොහොයුරා ත්‍රිරෝද රථයක නංවාගෙන ඉදිරියට එමින් සිටියේය.<

දෙපාර්ශ්වය අතරමඟදී හමුවිය.

ඔය දෙන්නව දාන්න මගේ ජීප් එකට. අපි යමු සීන් එකට.

එලෙස කී ස්ථානාධිපතිවරයා සැකකරු සහ ඔහුගේ ඥාති සොයුරා ජීප් රථයට නංවා ගත්තේය. සැකකරු දුටු සැනින් ස්ථානාධිපති වරයාට මොහු දැක හුරු බවක් වැටහිණි.

මට තමුංව හොඳට හුරුයි. දැන් ටික දවසකට කලින් කේස් එකකට පොලිසියට ආවා නේද?

ඔව්... සර්. මම සමන්මදු මම ගෑණිව මැරුවා සර්.

එය ඇසු ස්ථානාධිපතිවරයාගේ හදවත සසලව ගියේය. පොලිසිය මැදිහත්ව කිහිප විටක්ම බේරු පවුල් ආරවුල නිට්ටාවටම විසඳී නැත. ඔහු ඇය මරා දමා ඇත. යළි අනියම් සැමියා සමඟ කිසිඳු ඇසුරක් නොපවත්වන බවට එදා පොලිසියේ දී දිවුරා පොරොන්දු වු සඳමාලි එම පොරොන්දුව කඩකර ඇති සෙයකි.<

ඇයි... ඔච්චර දුරදිග යන්න තරම් ඇතිවෙච්ච ප්‍රශ්නෙ මොකක්ද?

සමන්මදු කියු දෙය අසා සිටි ස්ථානාධිපති වරයා එලෙස විමසන්නට විය

එයා.... ආපහු ඒ සම්බන්ධෙ කරන්නේ නෑ කියලා පොරොන්දු වෙච්ච නිසා. මම ඒක විශ්වාස කළා. ඒ පුද්ගලයාව මෙයාට අමතක වෙලා යන්න. ගමෙනුත් යන්න හිතුවා. එහෙම හිතලා මම ගේ වහලා කුලියට ගෙයක් අරගෙන පදිංචි වුණා. ඒත්... එයා එදා පොලිසියේ දී දිව්රුවේ බොරුවට කියලා මට පස්සේ තේරුණා.<

අද උදේ මම තලපලාකන්දෙ අපේ ගෙදරට ගිහින් තාත්තාව එක්කගෙන කරාපිටියේ ක්ලින්ක් එකකට එක්කගෙන ගියා. බස් එකේ යන්න පැය හතරක් විතර යනවා.

තාත්තව ආපහු ගෙදර එක්කගෙන එද්දී වේලාව හයහමාර හත වගේ වුණා. මම යද්දී බයික් එක ටවුමේ දාලායි ගියේ. ආපහු ඇවිත් බයික් එක ගන්න යන ගමන් ෂෙඩ් එකට ගියා. එතන අපේ ගෙවල් පැත්තේ අඳුරන මල්ලි කෙනෙක් වැඩ කරනවා. මම එයාව හම්බවෙලා මේනක එහෙම මේ පැත්තේ යනව එනව දැක්කද කියලා ඇහුවා.

මිනිහ කියපු උත්තරෙන් මට ලොකු සැකයක් ආවා. මිනිහා කිව්වා ආ... ආව අයියේ. ඇවිත් මගෙන් හෙල්මට් එකක් ඉල්ලුවා. මම කිව්වා විනාඩි දහයකින් විස්සකින් එනව නම් දෙන්නම් කියලා. නෑ ආපහු දෙද්දී හවස දෙක හමාර තුන විතර වෙයි කියලා මේනක ඒ මල්ලිට කියලා. මල්ලි මේනකට කිව්වලු එහෙනම් අල්ලපු කඩෙන් ඉල්ලලා බලන්න කියලා.

ෂෙඩ් එකේ නාඳුනන මල්ලී කී කතාවෙන් දැඩි වේදනාවටත් කෝපයටත් පත් සමන්මදු ඊළඟට යන්නේ අල්ලපු වෙළෙඳසල වෙතය.

මේනක ඇවිත් හෙල්මට් එකත් ඉල්ලගෙන ගියාද?

ඔව්... ඔව්... ඉල්ලගෙන ගියා. ඊට ටික වෙලාවකට පස්සේ බයික් එකේ ගෑනු කෙනෙකුත් දාගෙන හුලංකන්ද පැත්තට යනවා මම දැක්කා.<

වෙළෙඳසලේ හිතමිතුරා කී තොරතුරෙන් සමන්මදුගේ ඉහමොළ රත්විය. එහෙත්... ක්ෂණිකව කලබල නොවු ඔහු යතුරුපැදියෙන් නිවෙස වෙත ගියේය. ඔහු නිවෙසට යද්දී සඳමාලි හා දියණිය ඇඳෙහි දිගා වී රූපවාහිනී නරඹමින් සිටියහ.

කිසිවක් නොදන්නා ලෙස කාමරයට ඇතුලු වූ ඔහු තමාට බණ ගෙදරකට යාමට අවශ්‍ය බව කියමින් කමිසයක් මැදීමට පටන් ගත්තේය. ඒ අතරතුර ඔහු දියණිය සමඟ කතාවට වැටුණි.

දුව අද ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවේ කොහොමද?

ඇන්ටි එක්ක ආවේ.

ඇයි... දුවව එක්කගෙන එන්න අම්ම ආවේ නැද්ද?

නෑ...ඇන්ටි තමයි ඇවිත් මාව ගෙදර ගෙනාවේ.

ටවුමේදී අසන්නට ලැබුණු තොරතුරු වල සත්‍ය අසත්‍ය බව පියවරෙන් පියවර හෙළිවෙයි. එහෙත්... ඔහු එකවරම සඳමාලි වෙත කඩා පැන්නේ නැත.

ඔහු කළේ වටපිටාවේ සාක්ෂි සියල්ල එකතු කර ගැනීමට උත්සාහ කිරීමයි.

ඒ අනුව ඔහු ඇන්ටිට දුරකථන ඇමතුමක් දුන්නේය.

ඇයි... අද ඔයා අපේ ළමයාව එක්කගෙන ආවේ.

සඳමාලි මට කෝල් කරලා කිව්වා එයාට ගමනක් යන්න තියෙනවා. ඒක නිසා දරුවව ගෙදර එක්කගෙන එන්න කියලා. ඒ නිසා මම ඉස්කොළෙ ළඟට ගිහින් දරුවව ගෙදර ගෙතුත් ඇරලුවා.

වටෙන් පිටෙන් ඇසුණු කතා හරියට හරි බව දැන් සාක්ෂි සහිතව සනාථ වී හමාරය. සමන්මදු ගේ ඊළඟ පියවර එසවුණේ සඳමාලි දෙසටය.

අද උඹ කොහේද ගියේ.

මම කොහේ යන්නද? මේ ගෙදරට කොටුවෙලා ඉන්නවා මිසක්.

උඹ අද කොහේවත් ගියේම නෑ.

නෑ... මම කොහේවත් ගියේ නෑ.

උඹ හුලංකන්දෙ රත්මලේ රෙස්ට් එකට ගියේ නැද්ද?

සමන්මදු ඇසු මේ පැනයට සඳමාලි පිළිතුර දුන්නේ දැඩි ආවේගයකිනි.

අනේ... මේ එක එකා කියන ඒවා අහගෙන මාත් එක්ක රණ්ඩු කරන්න එන්න එපා. මම ගියේ නෑ.

මේ... බොරු කියන්න එපා. එතකොට උඹ අද අරූ එක්ක රත්මලේ රෙස්ට් එකට ගියේම නෑ.

සැමියාගේ ආවේගශීලී බව හමුවේ සඳමාලි ද තව තවත් ආවේගශීලී වුවාය. ඉන් අනතුරුව ඇයගේ මුවින් පිට වූ වචන එතරම් හොඳ ඒවා වුයේ නැත.

ඔව්... මම ගියා. මට ඕන මිනිහෙක් එක්ක මම යනවා. උඹට බෑ මාව නවත්වන්න.

ඇඳෙහි දිගා වී සිටිමින් සඳමාලි මෙලෙස පවසද්දී සමන්මදු ගේ ඉවසීමේ සීමාව අවසන් විය. ඇය වෙත පැන්න සමන්මදු ඇය ඇඳෙන් බිමට ඇද දැම්මේය.

සඳමාලි කෑ ගසයි. එහෙත්... ඒ ශබ්දය එතරම් දුරට විහිදෙන්නේ නැත. දරුවා ඇදෙහි නිදිසුව ලබයි. එබැවින් සමන්මදු ට සිය කාර්යය කිරීම පහසුවිය.

අසල තිබු රයිස්කුකරය අතට ගත් ඔහු එහි වයරය සඳමාලි ගේ ගෙළ වටා දෙවරක් ඔතා තද කළේය.

එහෙත්.... එවිට ඔහු දුටුවේ එක් වරක් එතී ඇත්තේ මුව වටකොට බවය. වයරය බුරුල් කළ සමන්මදු යළි ගෙළවටා සිටින ලෙස දෙවරක් ඔතා සිය සිරුරේ ඇති උපරීම වෙර යොදා දෙපසට ඇද්දේය. එලෙස ටික වේලාවක් තදකරගෙන සිටිය දී සඳමාලි නිසොල්මන් වුවාය. අනතුරුව වයර් දෙක එකට ගැට ගසා එහා මෙහා වෙද්දී රස්නයට යමක් අතේ වදිනු ඔහුට දැනිණි. ඉන් ඔහුගේ අත පිළිස්සී ගියේය. ඒ.. ඇඳුම් මදින ඉස්ත්‍රික්කයයි. කමිසය මැදීම සඳහා පේනුවට ගැසු ඉස්ත්‍රික්කය ඒ වන විට හොඳ හැටි රත් වී තිබිණි.

පේනුවෙන් එය ගලවා අතට ගත් සමන්මදු සිතෙහි වූ තද වෛරය අවසන් වනතුරු ස්ත්‍රික්කයෙන් ඇයගේ යටි කය තදින් මදින්නට විය.

කරගඳ එනකම්ම මම ඒ හරිය මැද්දා. ඊට පස්සේ දරුවත් වඩාගෙන කාමරේ ලයිට් ඕෆ් කරලා ගෙයින් එළියට බැස්සා. දරුවා හොඳටම නිදි. දරුවත් වඩාගෙන පාරට ඇවිත් ත්‍රිවිල් එකකින් මම මස්සිනාලගේ ගෙදරට ගියා.

බෙරලපනාතර පිහිටි සිය නැගණිය ගේ නිවෙසට ගිය සමන්මදු සිද්ධ වූ සියල්ල මස්සිනා සමඟ පවසා සිටියේය.

ඔහු නොයෙක් සමිති සමාගම්වල නිල තල දරන්නෙකි. එබැවින් සමාජය පිළිබඳ දැනුම් තේරුම් ඇති අයෙකි. සමන්මදු ගේ අදහස වුයේ මළ සිරුර සඟවා සඳමාලි ඝාතනය වසන් කිරීමය. එහෙත්... මස්සිනා පවසා සිටියේ මොනවා කළත් පොලිසියට හසුවන බවත් එලෙස කළහොත් සමාජයට මුහුණ දීමට නොහැකි තත්ත්වයක් උදාවන බැවින් හොඳම පිළියම මෙම සිද්ධිය පොලිසියට දැනුම් දීම බවය.

මෙලෙස රාත්‍රී නවය හමාර වනතුරු දෙමස්සිනෝ කතා බහේ යෙදුන අතර මස්සිනා ගේ අවසන් නිගමය වුයේ තමා දන්නා හඳුනන කොස්තාපල්වරයකු සිටින බවත් සිද්ධිය ඔහුට පවසා කළ යුත්තේ කුමක්දැයි ඔහුගෙන් උපදෙස් ලබාගත යුතු බවත්ය.

ඒ අනුව සමන්මදු ගේ මස්සිනා දන්නා කොස්තාපල් වරයාට මේ බව දැනුම් දෙන අතර ඔහු පවසන්නේ ද කුමන දෙයක් කළත් මෙය සැඟවිය හැක්කක් නොවන බවත් පොලිසියට බාර වී ඇත්ත පවසා නීතියේ පිහිට පැතීම වඩාත් සුදුසු බවත්ය.

සමන්මදු ඊට එකඟ වන අතර ස්ථානාධිපතිවරයාට මෙම සිද්ධිය දැනුම් දෙන්නේ ඉන් අනතුරුවය.

නිලධාරීහු සමන්මදු ද රැගෙන එම නිවෙසට යද්දී නිවෙසේ හිමිකරුවන් නින්දේ පසුවුහ.

පොලිස් කණ්ඩායමක් පැමිණ ගේට්ටුව විවර කරන ලෙස පවසද්දී ඔවුහු වික්ෂිප්තව බලා සිටියහ. පිටුපස කුලියට දී ඇති නිවෙසේ මනුෂ්‍ය ඝාතනයක් වී ඇති බව හෝ එහි පදිංචිව සිටි අඹුසැමි යුවළ අතර ගෝරියක් ඇති වූ බව හෝ පොලිසිය පවසන තුරුම ඔවුන් දැන සිට නැත.

සමන්මදු අත වූ යතුරෙන් දොර විවර කරගෙන නිවෙසට ඇතුලු වූ පොලිසිය දුටුවේ බිම වැටී සඳමාලි මිය ගොස් සිටින අයුරුත් ඇයගේ නාසයෙන් කටෙන් ලේ ගලා ගොස් ඇති අයුරුත් යටිකය මෙන්ම කලවා ප්‍රදේශ ද දැඩි ලෙස පිළිස්සී ඇති අයුරුත්ය.

තක්ෂිලා ජයසේකර



  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 19 =       

New Page 1

  2014 by www.eethalayanews.com