master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

කතරගම ගිනි ගත්තු අවනඩු රැසක් ඇති පොලිස් වෙඩිල්ලේ තිත්ත ඇත්ත


2018-01-27 09:13:23 -  562 යි

යතුරුපැදිය නතර නොකළැයි 25 හැවිරිදි තරුණයා කතරගම පොලිසියෙන් වෙඩි තබා මරා දමයි. ප්‍රකෝප වූ ජනයා පොලිසියට කඩා පනියි.
කතරගම නාගහවීදිය ගම්මානය යනු මහානුභාව සම්පන්න කතරගම දෙවිහාමුදුරුවන්ගේ අඩවියේම පිහිටි තවත් එක් ගම්මානයකි. එහි ජීවත් වූ 25 හැවිරිදි පතිරණලාගේ නිරෝෂන් විවාහක තුන් හැවිරිදි පුංචි පුතකුගේ ආදරණීය පියෙකි. කතරගම නගර සභාවේ ට්‍රැක්ටර් රථ රියැදුරකු ලෙස ඔහු කටයුතු කළේය. නිරෝෂන්ට ඉකුත් 20 වැනි දින තමා උපන් කතරගම නාගහවීදියෙන් පමණක් නොව බිරිය හා පුංචි පුතුගෙන්ද සදාකාලිකවම වෙන්ව යෑමට සිදුවූයේ පොලිස් වෙඩි පහරකට ලක්වීම හේතුවෙනි. ඔහුට සිදුවූ මේ අහස පොළොව නුහුලන අපරාධයත් සමඟ කුපිත වූ ජනතාවද පොලිසිය වට කළේ මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් පතාය.
මුළු පොලිස් දෙපාර්තමේන්තුවම ගඳ ගැස්සවූ මේ පුවත පිළිබඳව සොයාබැලීමට අපද කතරගමට ගියේ
වැඩිදුරටත් කරුණු සොයා බලන්නටය.

පසුගිය 20 වැනි දින රාත්‍රි 10.55ට පමණ වැඩිහිටි කන්ද දෙසට අණ නොතකා ධාවනය කළ බව කියන යතුරුපැදියකට මාර්ග රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයකු සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් යතුරුපැදියේ පැදිකරු කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගියේය. පසුපස ගිය පුද්ගලයා සුළු තුවාල ලැබීය. පොලිස් වෙඩි පහරට ලක්ව මියගියේ කතරගම නාගහවීදියේ පදිංචි 25 හැවිරිදි පතිරණලාගේ නිරෝෂන් නමැති එක්දරු පියෙකි. අනතුරින් සුළු තුවාල ලැබුවේ නාගහවීදියේම පදිංචි ආර්. නුවන්ය.

පොලිස් වෙඩි පහරට ලක්ව මියගිය නිරෝෂන් කතරගම ජනාදරයට පත්ව සිටි අයෙකි. මේ අපරාධය සම්බන්ධ වූ පුවත අසුරු සැණින් ගිනි ගත්තේය. ආවේගයට පත් සියලු දෙනා ඇඳිවත පිටින්ම කතරගම පොලිසිය අසලට රැස් වූහ. මේ සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා පොලිසියට බල කළහ. 21 වැනි දින අලුයම වනවිට මුළු කතරගමම එකම යුද පිටියක් බවට පත්විය. කුපිත වූ ජනතාව පොලිසියට ගල් මුල් ගැසූහ. පිරිස පාලනය කිරීමට නොහැකි වූ තැන පොලිසිය අහසට වෙඩි තැබීය. අනතුරුව කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර පිරිස විසුරුවා හැරීමට කටයුතු කෙරිණි.


එහෙත් නැවතත් 21 වැනි දින සවසද ගම්මු නැවතත් පොලිසිය ඉදිරිපිටට පැමිණ මාර්ග අවහිර කර ටයර් පුලුස්සමින් සිය විරෝධය පළකරන්නට වූහ. කතරගම පොලිසිය හා කතරගම අවට ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකායද යෙදවීමට ආරක්ෂක අංශවලට සිදුවිය. ඒ අතරට අධි පීඩන ප්‍රහාරක රථ දෙකක්ද සමඟ පොලිස් කැරැලි මර්දන ඒකකයද කතරගමට කැඳවීමට පියවර ගෙන තිබිණි.
කැරැලිකරුවන් අත්අඩංගුවට

ජනතාව දිගින් දිගටම නගරයේ ටයර් පුලුස්සමින් විරෝධතාවයේ නිරත වූහ. අවසානයේ උණුසුම්කාරී තත්ත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් හා බැටන් ප්‍රහාරයක්ද එල්ල කිරීමට පොලිසියට සිදුවිය. මෙහිදී කලහකාරී ලෙස හැසිරුණු බව කියමින් කාන්තාවන් 13 දෙනකු හා පිරිමි පුද්ගලයන් 45 දෙනකු පොලිස් අත්අඩංගුවට ගැනිණි.
අත්අඩංගුවට පත් විරෝධතාකරුවන් 58 දෙනා 21 වැනි දින රාත්‍රි තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කළේය. මාර්ගය අවහිර කර විරෝධතා පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට පහරදී තුවාල සිදු කිරීම, මාර්ගයට අලාභ හානි සිදුකිරීම, පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා සිදුකිරීම හා පොලිස් ස්ථානයේ දේපළවලට හානි සිදු කිරීම යන චෝදනා යටතේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරිණි. අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු සැකකරුවන් 58දෙනා වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥ මහත්වරුන්ගේ සහ පොලිසියේ කරුණු දැක්වීම් හා ඉල්ලීම් පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව සැකකරුවන් 58 දෙනාම දැඩි කොන්දේසි ඇතිව ඇප මත මුදාහැරීමට තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පොලිසිය චෝදනා ගොනුකර තිබුණේ අත්අඩංගුවට පත් පුද්ගලයන්ට ඇප ලබාගැනීමට නොහැකි අයුරිනි. නමුත් ඇතිවී තිබූ සංවේදී අවස්ථාව සැලකිල්ලට ගනිමින් විරෝධතාකරුවන්ට ඇප ලබාදීමට අධිකරණය කටයුතු කළේය.

නිරෝෂන්ගේ බිරියගේ කතාව
මියගිය නිරෝෂන්ගේ බිරිය චතුරිකා සඳමාලි (22) ය. මේ ඇගේ කතාවය.
"මගේ මහත්තයා කිසිම කෙනකුට කරදරයක් කරන කෙනෙක් නෙවෙයි. මේ විදියට මරා දමන්න තරම් මගේ මහත්තයා මහා අපරාධකාරයෙක් නෙවෙයි. මහත්තයා ප්‍රාදේශීය සභාවේ වැඩ කළේ. දරුවා ලැබුණු දවසේ ඉඳලා අපි දෙන්නා ගොඩක් හීන මැව්වා. ගොඩක් බලාපොරොත්තු අපිට තිබුණා.
මහත්තයා 20 වැනිදා රාත්‍රි යාළුවකුගේ මඟුල් ගෙදරක යනවා කියලයි ගියේ. එයා යාළුවෝ ඇසුරු කළාට අරක්කු ටිකක්වත් බොන කෙනෙක් නෙවෙයි. රෑ මට කෝල් එකකුත් දීලා කිව්වා රෑට කෑම උයන්නත් එපා එන ගමන් කඩෙන් කෑමත් අරගෙන එන්නම්. පුතා නිදිකරවන්නේ නැතිව තියාගන්න කියලත් මහත්තයා මට කිව්වා. මං පුතාට කිව්වා පුතේ තාත්තා කඩෙන් බත් ගේනවා. නිදාගන්න එපා කියලා. අපි දෙන්නා මහත්තයා කඩෙන් කෑමත් අරගෙන එනකම් හරිම ආසාවෙන් හිටියේ. නමුත් රෑ මට ආව කෝල් එකකින් කියැවුණේ මහත්තයට අනතුරක් වෙලා රෝහල් ගත කරලා කියලයි. මං කතරගම රෝහලට ගිහින් බලනකොට එයා නැතිවෙලා. එතකොට තමයි දැනගත්තේ මහත්තයට පොලිසියෙන් වෙඩි තියලා කියලා. පොලිසියට මෙහෙම මිනිස්සු මරන්න පුළුවන්ද කියලා මට නම් තේරෙන්නේ නෑ."
වෙඩි තිබ්බෙ නැවතුණාට පස්සේ

වෙඩිතැබීම සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයා සමඟ යතුරුපැදියේ පසුපස අසුනේ ගිය ආර්. නුවන් මේ සිද්ධිය කිව්වේ මෙසේය.
"නිරෝෂන් බයික් එක ධාවනය කරමින් හිටියේ. එයා පොලිස් අණ නොතකා ගියේ නෑ. නවත්තපු බයික් එකට තමයි පොලිසියෙන් වෙඩි තිබ්බේ. අපි කඩෙන් කෑම එකකුත් අරගෙන එනකොට තමයි පොලිසියෙන් බයික් එකට අත දැම්මේ. ඒත් එක්කම නිරෝෂන් අඩි 20ක් විතර දුරට ගිහින් බයික් එක නතර කළා. ඒ නතර කරලා
නිරෝෂන්ට බැහැලා යන්න වුණේ නෑ. එක සැරේටම පොලිසියෙන් වෙඩි තිබ්බා. නිරෝෂනුත් එක්කම මමත් බයික් එකෙන් බිමට වැටුණා. මටත් පොඩ්ඩක් තුවාල වුණා බිම වැටුණු නිසා. මං බිම වැටිලා හිටියා. නිරෝෂන්

නැඟිට්ටවන කොට පොලිස් රාජකාරියේ හිටිය සිවිල් ආරක්ෂක නිලධාරියයි පොලිස් කොස්තාපල්වරයයි මං ළඟට ඇවිත් මට කනට පාරවල් තුනක් ගැහුවා. සිවිල් ආරක්ෂක කෙනා තමයි මාව අත්දෙකින් අල්ලලා ගත්තේ. පොලිස් අණ නොතකා යද්දී වෙඩි තිබ්බා කියලා පොලිසියෙන් කියන්නේ බොරු. යන බයික් එකකට වෙඩි තිබ්බා නම් මටත් ගොඩක් තුවාල වෙන්න ඕනේ. නිරෝෂන්ටත් තුවාල වෙන්න ඕනේ. අනික තමයි යන බයික් එකට මහ රෑ වෙඩි තිබ්බ නම් වෙඩි පාර වදින්න ඕනේ පිටි පැත්තෙන් යන මටයි."
කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව

වෙඩි තැබීම සිදුකළ පොලිස් කොස්තාපල්වරයාද අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 30 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඉතා අවාසනාවන්ත ලෙස පොලිස් වෙඩි පහරට ලක්ව මියගිය නිරෝෂන්ගේ දේහය තියාගන්න තරම්වත් නොහැකි තරමේ කුඩා නිවෙසක මේ පුංචි පවුල සතුටින් ජීවත් වී තිබිණි. මියගිය නිරෝෂන්ගේ දේහය පවා අවසන් කටයුතු සිදුවන තෙක් තිබුණේ බිරියගේ මහ ගෙදරය. දේහය සඳහා අවසන් ගෞරව දක්වන්නට විශාල පිරිසක් නාගහවීදිය ගමට ගලා එන්නට වූ අතර ඒ සියලුදෙනා වෙනුවෙන් ආහාර පාන ලබා දුන්නේ කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණතිස්ස නාහිමියෝය.
අවසන් කටයුතු සිදුකෙරුණු 23 වැනි දිනයේද කතරගම නගරය හා ඒ අවට ආරක්ෂාවද දැඩිකොට තිබිණි. දහසකට පමණ ආසන්න විශාල පිරිසක් අවසන් කටයුතු සඳහා පැමිණ සිටියහ. ආගමික වතාවත් සිදුකරමින් කතරගම අභිනවාරාමාධිපති, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස නාහිමියෝ සිය දේශනයේදී මෙසේ පැවැසූහ.

"කතරගම සිදුවූ මේ සිදුවීමෙන් මුළු පොලිස් දෙපාර්තමේන්තුවම ගඳ ගහන්න ගත්තා. මේ නිරෝෂන්
දරුවාගේ මරණයත් සමඟ ජනතාව ප්‍රකෝප වුණා. ඒත් මම දන්නවා නියෝජ්‍ය පොලිස්පතිතුමා පොලිසියට උපදෙස් දීලා තිබුණේ කාටවත් ගහන්න එපා කියලයි. නමුත් එක්කෙනෙක් දෙන්නෙක් වූ පොලිස් නිලධාරීන් මේ ජනතාවට පහර දුන්නා. අන්තිමේ මේ ගැටලුව මහා ගාලගෝට්ටියක් බවට පත්වුණා. කෙසේ වෙතත් මහා සංඝරත්නය හැටියට අපි මැදිහත් වෙලා මේ තත්ත්වය යථාතත්ත්වයට පත් කළා. මේ මරණයත් එක්ක විවිධ කටකතා ගියා. විවිධ උසිගැන්වීම් සිදුවුණා. අපි මැදිහත් නොවෙන්නට තව දෙන්නෙක් තුන්දෙනෙක් මිය යන්නත් තිබුණා.

ඒ වගේම මම අද පොලිස් දෙපාර්තමේන්තුවෙනුත් ඉල්ලීමක් කරනවා. මේ පොලිස් නිලධාරීන්ට තව තවත් පුහුණු පන්ති පවත්වලා රාජකාරි සිදුකළ යුතු ආකාරය පිළිබඳ දැනුවත් කරන්න කියලා. ඒ නිලධාරීන්ට උපදෙස් දෙන්න තවදුරටත් ඉදිරියේදිවත් මෙවැනි අපරාධ නොකරන්න. මාතර හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා කිව්වා සමාවෙන්න හාමුදුරුවනේ මේ වෙච්ච දෙයට. අපේ මේ කාලකණ්ණියෙක් කළ වැඩේ නිසයි මේ ගැටලුවක් ඇති වුණේ කියලා. ඒ වගේම ඒ පිළිබඳ පරීක්ෂණ කටයුතු ඉතා නිවැරැදිව සිදුකරන බව කීවා. මේ පවුලේ උදවියට ඉන්න ගෙයක් නෑ. ඒ නිවෙස ඉදිකර දීමට කටයුතු කරන බවත් එතුමා පැවැසුවා"
කතරගම සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට ජාතික පොලිස් කොමිෂන් සභාවද පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් වාර්තාවක් කැඳවීමට පියවර ගෙන තිබේ. එමෙන්ම මේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
ඇස් පනාපිට රටේ අපරාධ සිදුවෙමින් තිබේ. ඒ අපරාධ අරබයා මේ ආකාරයට හැසිරෙන්නේ නම් දිනපතා අපරාධකරුවන් පොලිස් වෙඩි කා මිය යා යුතුය. මේ කතාව අමුතු එකක් වන්නේ ඒ නිසාය. යතුරුපැදිය නොනවත්වා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි තැබූ බව පොලිසිය කියයි. යතුරුපැදියක් නොනවත්වා ධාවනය කළ සැණින් පුද්ගලයකු වෙඩිතබා ඝාතනය කිරීමට හැකිනම් ඒ නීතිය අපූරුය. නීතිය ඇත්තේ පොලිසිය අතේ නොවේ. මේ ප්‍රකාශ වන්නේ මේ රටේ පොලිසියේ අශීලාචාර නොදැමුණුකමය. උද්ධච්චකමය. නිල ඇඳුම ඇඳගත්විට මනුෂ්‍යත්වයට ගරු නොකරන උඩඟු නිහීනකමය.

අපරාධයේ විමර්ශන කටයුතු දකුණු පළාත භාර
ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්.එෆ්.යූ. ප්‍රනාන්දු, මාතර හම්බන්තොට දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්, තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්වරුන්ගේ උපදෙස් හා මෙහෙයවීම මත ආරම්භ කර තිබේ.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
11 + 20 =       

New Page 1

  2014 by www.eethalayanews.com