www.eethalayanews.com
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

පූජිත ලොකු කයිවාරු ගැහුවට සාගල ඉදිරියේ දණ ගැහැව්වා


2018-01-03 07:47:39 -  695 යි

පූජිත් මහත්තයා ලොකු කයිවාරු ගැහුවට සාගල රත්නායක මහත්තය ඉස්සරහ දණ ගහපු විදිය අපි ටී.වී. එකේ දැක්කනේ. ඔබතුමාලගේ මාධ්‍යයේ යර්ස් සර්, නෝ සර්, බුදු අම්මෝ සර්, මම කරන්නම් සර් කියලා හතරට නැවිච්ච එක අපි දැක්කනේ. එතුමාගේ නැවිල්ල තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට විතරයි. මොකද එතුමා දන්නවා මහින්ද මහත්තය ළඟ නැවිලා වැඩක් නෑ කියලා. මේ රටේ නීතියට අපි ගරු කරනවා. අපිට මැතිවරණ නීතිය කඩන්න අවශ්‍යතාවක් නෑ. අපි පොලිසියේ ලොක්කන්ට කියන්නේ අනේ කරුණාකරලා යුනිෆෝම් එකේ ගරුත්වය ආරක්ෂා කරන්න. මිනිස්සුන්ගෙන් බැනුම් අහන්නේ අහිංසක රාලහාමිලා, පාරේ ඉන්න නිලධාරීන්. ඒ අහිංසක මිනිස්සුන්ට ඔබේ දේශපාලනය ගේන්න එපා යනුවෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.

නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවැසුවේ පෙරේදා (1දා) තංගල්ල කාර්ල්ටන් නිවෙසේදී පැවැති ජනහමුවකින් පසුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.
මන්ත්‍රිවරයා මෙසේද පැවැසීය.

පොලිසිය බලපත්‍රයක් ලබාදීලා නැත්නම් පොලිසියට පුළුවන් ඒ වෙලාවේ ඇවිත් නවත්වන්න. රැස්වීම පවත්වාගෙන ගිහින් ඉවර වුණාට පස්සෙ ඇවිත් වයර් කපාගෙන ගිහින් වැඩක් නෑනේ. පොලිසියත් පැහැදිලිවම දන්නවා බලපත්‍රයක් දුන්නා. නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ. යහපාලනයේ පොලිසියනේ. නීතිය නවන පූජිත් මහත්තයාගේ පොලිසියනේ.

මැතිවරණ නීති රීති ගැන ආණ්ඩුව කතා කරනවා. යහපාලනය ගැන කතා කරනවා. පර්මිට් එක තියෙද්දී පොලිසියෙන් ඇවිත් අපේ රැස්වීමේ ලවුස්පීකර් ටික කපාගෙන යනවා. කාගේ වුවමනාවකටද. කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ. මැතිවරණ නීති වලංගු වෙන්නේ පොහොට්ටුව ලාංඡනයට විතරද. ඒකෙන්ම පැහැදිලියි අනෙක් සියලු දෙනාම ඉන්නේ ආණ්ඩු පක්ෂයේ. අද ජනතා විමුක්ති පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්සත් ජාතික පක්ෂයට මැතිවරණ නීති රීති බලපාන්නේ නෑ. මේ ආණ්ඩුවෙන් බැට කාපු සැබෑ ජනමතය නියෝජනය වන්නේ ඒකාබද්ධ විපක්ෂය ප්‍රමුඛ පොහොට්ටුව ලාංඡනයෙන් ඉදිරිපත් වන කණ්ඩායමෙනුයි. ඒ නිසා අද ආණ්ඩු විරෝධී සියලුම දෙනාගේ ආණ්ඩුවෙන් බැට කාපු සියලුම දෙනාගේ අද ඡන්දෙ දෙන්නේ පොහොට්ටුව ලකුණට.

අනිවාර්යෙන් පොහොට්ටුව ලාංඡනය අතිවිශිෂ්ට ජයග්‍රහණයක් කරනවා. ආණ්ඩුව මේ මැතිවරණයේදී කොතරම් මර්දනය පාවිච්චි කළත් මැතිවරණ නීති උල්ලංඝනය කළත් බඩු බෙදල ජනතාව නොමඟ යවන්න උත්සාහ කළත් මේ රටේ ජනතාව එක ලෙස පෙළගැහිලා ඉන්නවා මේ ආණ්ඩුව පරදවා ගෙදර යවන මැතිවරණයේ පළමු වෙඩි මුරය තබන්න. ඒ ප්‍රාදේශීය සභා මැතිවරණ පොහොට්ටුව ජයග්‍රහණය කරවලයි.

අපි දැක්කා මැතිවරණ කොමසාරිස්තුමා මැතිවරණ නීති ගැන කතා කරනවා. හම්බන්තොට සජිත් ප්‍රේමදාස මන්ත්‍රිවරයා මොකක්ද කියන්නේ. කවුරු කිව්වත් මං බඩු බෙදන එක නවත්වන්නේ නැහැලු. එතුමා බඩු බෙදාගන්න. අපිට ප්‍රශ්නයක් නෑ. බඩු බෙදලා එතුමාට ඡන්දෙ දිනන්න පුළුවන් නම් අනූ හතරෙ ඉඳලා මේ හම්බන්තොට දිස්ත්‍රික්කෙ දිනන්න ඕනනේ. හම්බන්තොට දිස්ත්‍රික්කේ ජනතාව රුපියල් පන්දාහටය නිවාස ණය ෆෝම් එකකටයි යට වෙන්නෙ නෑ. මගේ දිස්ත්‍රික්කයේ ජනතාව ගෞරවයකින් යුතුව ගෞරවනීය ජීවිත ගතකරපු ජනතාවක්. රුපියල් පන්දාහකට අපේ ජනතාව නැවෙන්නේ නෑ. ඒක පසුගිය හැම මැතිවරණයකදීම ඔප්පු කෙරුවා. හැබැයි අපිට ප්‍රශ්නේ සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා මෙහෙම ප්‍රකාශයක් කරන කොට මැතිවරණ කොමසාරිසුයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශකයි නිහඬ ඇයි කියලා. නීතියේ වලංගුභාවය තියෙන්නේ නාමල් රාජපක්ෂට විතරද.

බැඳුම්කර වංචාවේ කොමිෂන් වාර්තාව ඇවිල්ලා තියෙනවා. ජනාධිපති අතිගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විශේෂ ප්‍රකාශයක් කරනවා කියලා තියෙනවා. අපි බලාගෙන ඉන්නවා. මොකද එතුමාගේ විශේෂ ප්‍රකාශය ගිය අවුරුදු පුරාවටම ගියා. හැබැයි ජනතාවට විශේෂයක් වුණේ නෑ. පොල් ගෙඩිය එකසිය පනහ වුණත් තෙල් නැව පරක්කු වුණත් පොහොර නැව නැති වුණත් කන්න හාල් නැති වුණත් විශේෂ ප්‍රකාශයක් එනවා. මේ ආණ්ඩුවේ විශේෂ ප්‍රකාශ එතුමාලට විතරයි විශේෂ. රටේ ජනතාවට විශේෂ නැහැ. නැවත වතාවක් අපි බලාගෙන ඉන්නවා. මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ඩියු ගුණසේකර වාර්තාව යට ගහලා පාර්ලිමේන්තුව විසුරුවලා බැඳුම්කර හොරු ආරක්ෂා කෙරුව වගේ නැවත දෙවැනි වතාවටත් බැඳුම්කර වංචාවේ හොරු ටික ආරක්ෂා කරනවද නැද්ද කියන එක මේ රටේ ජනතාවයි ඒකාබද්ධ විපක්ෂයේ අපි බලාගෙන ඉන්නවා.

තංගල්ල - සහම්පති මානගේ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
18 + 17 =       

New Page 1

  2014 by www.eethalayanews.com