master
  New Page 1
New Page 1
Eethalaya News
New Page 1

සෙරෙප්පු දෙකකට සක්විති රජකම ලැබෙන අපදාන පාලිය නම් ගජබින්නාලංකාරය -ථෙරවාදයද? චෝරවාදයද?


2017-12-25 08:42:30 -  593 යි

සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායට අයත් අපදාන පාලිය නවාංග ශාස්තෘ ශාසනයේ  ගාථා යටතේ විග්‍රහවෙන ධර්ම ග්‍රන්ථයකි.  කිසියම් කාරණාවක් (අපේක්ෂාවක්) සපල කරගත් ආකාරය පැහැදිලි කිරීම  අපදානය ලෙස හැඳින්වෙතැයි අර්ථ ගැන්වේ. බුදු පසේ බුදු මහරහත් යන උතුමන් වහන්සේලා එකී උත්තරීතර තත්වයන්ට පත්වෙන තුරු පෙර ආත්මභවයන්හිදී සිදු කළ කුසලාකුසල කර්ම සහ එහි සුඛ දුක්ඛ විපාක කවරේදැයි අපදාන පාලියෙන් කියැවේ. තම සංසාරික අත්දැකීම් හෙලිදරව් කරන්නේ උන්වහන්සේලා විසින්ම ය.  කර්ම විපාකයන් සම්‍යක්දෘෂ්ටිකව විමසා බැලීමට අපදාන පාලිය අත්වැළක් වෙන බවද  ඒ පිළිබඳව අපට කරුණු කියාදෙන දේශකයන් වහන්සේලා ප්‍රකාශ කරති.

පිළින්ඳිවච්චි මහ රහතන් වහන්සේ අපදානපාලියෙහි එන සුවිශේෂී චරිතයකි. කල්ප ලක්ෂ ගණනාවකට පෙර වැඩ විසූ පදුමුත්තර බුදු හිමියන් ඇතුළු මහා සංඝ රත්නයට දුම් පයිප්පයක් පූජා කිරීමෙන් උන්වහන්සේ ලද ආනිශංස පිළිබඳව මීට පෙර අපි පෙන්වා දී ඇත්තෙමු. දිය පිස්නාවක් පූජා කිරීමෙන් තමන් ලබාගත් ආනිශංස පහක් පිළිබඳව  පිළින්දිවච්චි රහතන් වහන්සේ තවදුරටත්  අපදානපාලියෙන් පෙන්වා දී තිබේ.  

සිරුර රන්වන් පැහැයෙන් යුක්ත වීම. රජස්  නැතිවීම, සිරුරෙන් රැස්  විහිදීම, තේජස් ඇත්තෙක් වීම, සිනිඳු සිරුරක් ලැබීම, ශරීරයේ කුණු නො ඇලීම එම ආනිශංස පහය.  දියපිස්නාවක් යනු තුවායක් විය හැකිය. (ඉහත කියමන වත්මන් ටෙලිවිෂන් සබන් දැන්වීමක් බඳුය.)

පනාදායික රහතන්වහන්සේ තමන් පය ලා සිටි පාවහන් යුවල අනෝමදස්සී බුදුරජාණන් වහන්සේට පූජා කිරීම නිසා පනස් පස් වතාවක් දෙදෙව් ලොවට අධිපති සක් දෙවිඳුව උපන් බවත්, දහස් වරක් සක්විති රජ පදවිය ලැබූ බවත් පනාදායික අපදානයෙහි දැක්වේ. 

තමන් වහන්සේ චන්දන නම් ශ්‍රාවකයන්ට පාවහන් ජෝඩුවක් පූජා කළ පිණෙන් කල්ප අනූ එකක් දුගතියකට නොගිය බව  උපාහනදායක  රහතන් වහන්සේ  අපදාන පාලිය තුල ප්‍රකාශ කර තිබේ. පාවහන් යුවල පූජා කිරීම නිසා මට වේගයෙන් යා හැකි යාන වාහන ලැබුණා. ප්‍රසාද, රන් සිවිකා, වටිනා ඇතුන් අසුන් ද ලැබුනා. අග්‍ර ගණයේ පාවහන් ද ලැබුනා. (අපදාන පාලි 479 වන අපදානය) උන් වහන්සේ මෙසේ උදම් අනන්නේ දැනට අවුරුදු දෙදහස් හයසියයකට පෙරදීය.

විපස්සී බුදුරදුන් බුදුවීමට පිට දුන් පලොල් බෝ මළුව ඇමදීමේ පිණෙන්  සකන්සම්මජ්ජක හිමියන් ලද ආනිශංස ද බොහෝය .  එවැනි පිංකමක් කිරීමෙන් අපටද ලබා ගත හැකි සැපසම්පත් පිළිබඳව අපදාන පාලිය මෙසේ කරුණු දක්වයි. 

නිශ්චල වූ සමතිගත සිත් ඇත්තෙකු වේ. වැරදි නැති නිර්මල පුද්ගලයෙක් වේ. ශෝක නො දැනේ. චිත්ත පීඩා දැවිලි නොවේ. කුෂ්ඨ රෝග නො සෑදේ. ගෙඩි රෝග නො සෑදේ. කැසිලි රෝග නො සෑදේ. මී මැස්මොර නොසෑදේ. විතච්ජිකා නම් වූ සම ගැලවී යන කුෂ්ඨ රෝග නොසෑදේ. දද රෝග නොසෑදේ. කසා සැරව ගලන රෝග නොසෑදේ. වැළපීම් නැත්තෙක් වේ. තැති නො ගනිත්. උසස් කුලයකම ඉපැදේ. මනා ඇඟ පසඟ ඇත්තෙක් වේ. නො අඩු වූ භෝග සම්පත් ලැබේ. තමාගේ සිත නො රිදවන සේවක සේවිකාවන් ලැබේ. අකල් මරණයන්ට පත් නො වේ.

අප මෙහි සඳහන් කර ඇත්තේ එකී ආනිශංස වලින් ඉතා ස්වල්පයකි. ඒ ඒ රහතන් වහන්සේලාගේ ප්‍රකාශ සියල්ල දැක්වීම අපදාන පාලිය නැවත ලිවීමක් වනු ඇත. ඔබට අපදාන පාලිය සම්පූර්ණයෙන් කියවා බැලීමට අවශ්‍යනම් රිදියගම සුධම්මාභිවංශ  හිමියන් වෙත ගොස්  සියළුම පොතපත නොමිලේම ලබා ගත හැකිය.

අපදාන පාලිය ත්‍රිපිටකයට එකතු කර  ඇත්තේ අටුවාචාරීන් විසින්ය. බුදු පසේ බුදු මහරහතුන්ගේ මුවට නංවා මේ අතීත කථා ලියා ඇත්තේ ඔවුන්ය. මෙහි එන සමහර ආනිශංස පුදුම උපදවන සුළුය. තුවායක් පාවහන් ජෝඩුවක් පූජා කිරීමෙන් හෝ බෝමළුවක් ඇමදීමෙන් උසස් කුලයක ඉපදීම ශරීරය වර්ණවත් වීම ආරෝහපරිනාහ දේහයක් ලැබීම වැනි ආනිශංස මොනතරම් විස්මය ජනකද? අරිහතුන් වහන්සේලා මේ කථා සිය අතීත අත්දැකීම් බව ප්‍රකාශ කළායැයි පැවසීමෙන් ගම්‍ය වන්නේ අටුවා කරුවන් තුල පාපය කෙරෙහි විළිබියක් නැති බව නොවේද? බුදු වරුන්ට පාවඑන් ජෝඩුවක් පූජා කළා යැයි කීවද මේ ලෝකයේ කොතැනකවත් තිබෙන බුදු පිළිමයක සපත්තු සෙරෙප්පු දැමූ බුදුවරයෙකු හමු නොවේ. බුදු රජාණන් වහන්සේ තම සංඝයාට කීවේ මෙසේය.

පබ්බජිතේන ජීවිත පරික්‌ඛාරා සමුදානේ තබ්බා 
චීවර පිණ්‌ඩපාත සේනාසන ගිලානපච්චය 
භේස-ජපරික්ඛාර තෙ කසිරෙන සමුදාගච්ඡති. 

භික්‍ෂුව විසින් ජීවත්වීම පිණිස චීවර, පිණ්‌ඩපාත, සේනාසන, ගිලානුප්‍රත්‍යය යන පිරිකර දුකසේ උපදවා ගත යුතුය යන්න එහි තේරුමයි.

බුදුන් නියම කළ පිරිකරට පාවහන් ඇතුලත් වී නැත. ත්‍රිපිටකයේ කිසිම තැනක අටපිරිකර පිළිබඳ තොරතුරු සඳහන් වන්නේ ද නැත.  සැබවින්ම එදා මෙන්ම අදත් අපදානය දෙසන්නේ සැපදානයක් සඳහාය.  බුදුන් වහන්සේ කර්මය සම්බන්ධයෙන් කළ විභජනයන් උදාහරන සහිතව කියාදීම සඳහා අටුවා කරුවන් ගෙතූ ආලවට්ටන් නිසා බුද්ධ දර්ශය තව තවත් ව්‍යාකූල එකක් විය.

තමන් වහන්සේටද පෙර ආත්ම භවවල කළ අකුසල කර්ම දොළහක් බුදුවීමෙන් පසුව පළදුන් බව කියවෙන කරුම බණක් බුද්ධාපදානයේ ඇත. 

1. සුන්දරී පරිබ්‍රාජිකාව විහාරයට එන යන ගමන හේතුවෙන් විශාල අපවාදයක් ගොඩ නැගින, මීට හේතුව නම් පෙර මුනලීදුර්තකව සිටියදී සරබූ නම් පසේ බුදුරජුන්ට  කළ දෝෂාරෝපණය විය. 
2. පෙර ලොව පහල වූ සබ්බාබිබු නම් බුදුරජුන්ගේ නන්ද නම් ශ්‍රාවකයන් වහන්සේට කාමබෝගියා ලෙසින් දොස්නැගීම තුලින් සරාසංකෙයිය්‍ය කල්ප ලක්ෂයට පෙර කළ කර්මය බුදු වූ පසු මෙසෙ විපාක දුනි, බඩදරු අම්මා කෙනෙකු ලෙසින් පැමිණි චිංචි මානවිකාව හේතුකොට මහත්  අපවාදයකට ලක්විය, 
3. පසු කලෙක සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල් අසුන ලඟ වළ ලා බුදුරජුන් ඇයව දුෂණය කොට මරා සඟවන ලද්දේය යයි දැඩි දෝෂාරෝපණයක් පැන නැංවීය. එය සති 7 වනතුරු පැවති පසුව සත්‍යය එළි විය. පෙර බවයේ භීම නම් සෘෂින් වහන්සේට බැණ වැදීම ඊට හේතු විය,
4. වස්තු තණ්හාවෙන් බෝසතාණන් වහන්සේ තම සොහොයුරා කන්දකින් පහලට තල්ලුකර ගලක් ද පෙරලා මරා දැමුවේය. මීට සසරේ බොහෝ දුක්විඳ අවසානයේ බුදු වූ පසු දෙව්දත් ථෙර ගල්පෙරළු පසු ගල් පොත්තක් වැදී තුවාල විය.
5. බෝසතුන් දිනක් කුඩා ලමයකුව සිටිය දී පසේ බුදු කෙනෙකු දැක ගලකින් ගැසීය. මෙයට විපාකය ලෙස බුදු වූ පසුවත් බුදුරජාණන් වහන්සේගේ ජීවිතය නැසීමට දෙව්දත්තෙර දුනුවායන් යෙදෙවීය. 
6. පෙර බවයක බෝසතුන් ඇත්ගොව්වකු ලෙස සිටියදී පසේ බුදු කෙනෙකු දැක දූෂිත සිතින් මැරීම සඳහා ඇතා මෙහෙය වීය. එය සාර්ථක නොවීය. පහත් සිතින් කළ කර්මය නිසා බුදු වූ පසු මත් වූ නාලාගිරි ඇතුන් පැමිණෙන්නට හේතුවිය. 
7. දෙව්දත් ථෙර පෙරළු ගල් තුලින් ගල්පතුරක් විත් සිරි පතුලේ වැදී මාපටැඟිල්ල තැලී ලේ කැටි ගැසින පසුව ජීවක තුමා එය සුවපත් කළේය. මෙසේ ශ්‍රී පතුල පලන්නට සිදුවුයේ, පෙර භවයේ පෘතුවිශ්වර රජුව සිටියදී මිනිසකු මරවන ලද පවිනි.   
8. තිලෝගුරු බුදුරජාණන් වහන්සේට තිබූ සුව නොවන හිසරදයට හේතුව නම් පෙර කෙවුල් පවුලක ඉපිද තම ඥාතීන් බොහෝ මාළුන් ගොඩ දා තිබෙන දැක සතුටු සිනා පළ කෙරීම නිසා විය.
9. තිලෝගුරු බුදුරජාණන් වහන්සේට දොළොස්වන වස්කාලයේ දී දානය නොලැබී ගොස් අශ්වයන්ට දෙන යවහාල් වළඳා ජීවත් වන්නට සිදුවිය. හේතුව නම්  පුස්ස බුදුරජාණන් වහන්සේට  ඔබ වහන්සෙ මේ ප්‍රනීත ඇල්හාල් වළඳනාවට වඩා යවහාල් වැලඳුවානම් ලෙස දොස් නැගීමේ විපාකය විය.
10. තථාගතයන් වහන්සේට සුවනොවන කොන්දේ අබාධයක් තිබිණි. මෙය ධර්ම දේශනා කරන අතර තුර පැන නැංවුන විට දී සැරියුත් හිමිට එය පවරා විවේක ගන්නට වඩින බව සදහන් වේ. හේතුව නම් පෙර භවයේ මල්ලව පොර යෝධයකුව සිටි අවදියේ විරුද්ධවාදීන්ව පැමිණි විට ඔවුන් ගේ කොන්ද කැඩුව නිසාවෙනි.
11. බුදුරජුනට වැළඳුන ලොබිත පක්කන්දිකා ( ලේ අතීසාරය) රෝගය හේතුව නම් පෙර භවයේ වෙද මහතකුව සිටියදී සිටුවරයකුට බෙහෙත් කර නියමිත මුදල් නොගෙවූ නිසා විරේක බෙහෙත් දී පසුව නියමිත මුදල් ලැබු පසු සුව කිරීම ය.
12. බුදු වීමට සය අවුරුද්දක් දුක් විඳීමට සිදුවුයේ පෙර ආත්මයේ ජෝතිපාල නම් මානවකයා ලෙස සිටියදී ගටිකර බමුණා සමගින් කාශ්‍යප බුදුන්ට දොස්කීමේ විපාකය විය.

පන්සියයක් රහතුන් හමුවේ දේශණා කළ බව කියවෙන මෙම කර්ම විපාක වලින් දොළොස්වැන්න පමණක් කෙටියෙන් ඔබේ අවධානයට යොමු කරමු. සිදුහත් තවුසාගේ කිංසච්ච ගවේශී සමය පෙර පව් විඳවීමක් නම් උන්වහන්සේ වීර්යවන්තයෙක් වන්නේ කෙසේද? වීරිය පාරමිතාව පිරුවේ කුමකටද? මට හැඟෙන හැටියට පැරන්නෝ ගජබින්නාලංකාරය යනුවෙන් හඳුන්වා ඇත්තේ අපදාන පාලියට විය යුතුය.

අපදාන පාලියේ කුමක් තිබුනත් එක් අතකින් අපට කම් නැත.  කණගාටුවට කාරණය වන්නේ කාලාම සූත්‍රය වැනි ඉතා අගනා බුද්ධ දේශණා හමස් පෙට්ටියට දමා මේ ගජබින්නාලංකාරයම චෝරවාදීන්ගේ එකම බණපොත වී තිබීමය.

රිදියගම සුධම්මාභිවංශ මහහිමි පාණන්වහන්සේගේ පළකිරීම්වල උපුනයන් ද මෙහි ඇතුලත් බව උන්වහන්සේට කරන ගෞරවයක් හැටියට සඳහන් කරමි.

ආර්. ජී.  ධර්මදාස විසිනි

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
19 + 10 =       

New Page 1

  2014 by www.eethalayanews.com