master
  New Page 1
New Page 1
CSS MenuMaker
New Page 1

ඉන්දීය පිතිකරුවෝ අණසක පතුරවති


2017-12-03 14:04:32 -  157 යි

නායක විරාට් කෝලි (නොදැවී 225) සහ රොහිත් ශර්මා (65) එක්ව පස්වැනි කඩුල්ල සඳහා ගොඩනැගූ ලකුණු 135 ක සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකාවට එරෙහිව ෆෙරෝස් ෂා කෝට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනයේ (3 වැනිදා) දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 500 ක් ලබාගැනීමට ඉන්දියාව සමත් විය. 

දිවා ආහාරය සඳහා ක්‍රීඩාව නතර කරන විට කඩුල්ලේ රැදී සිටි විරාට් කෝලි හතරේ පහර 23 ක් සමග ලකුණු 225 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියේය. පන්දු 238 කදී හතරේ පහර 20 ක් සමගින් ඔහු ද්විත්ව ශතකය සම්පූර්ණ කළ අතර එහිදී ඔහුගේ ලකුණු රැස්කිරීමේ වේගය 84.58 ක් ලෙස සටහන් විය. එය කෝලිගේ 6 වැනි ටෙස්ට් ද්විත්ව ශතකය මෙන්ම පිට පිටම ලබාගත් දෙවැනි ද්විත්ව ශතකයද විය. 

ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් රෝහිත් ශර්මා ලකුණු 65 කට දැවී යෑමත් සමග තරගය දිවා ආහාරය සඳහා නතර කිරීමට විනිසුරුවෝ පියවර ගත්හ. තමා දැවීගිය ක්‍රීඩකයකු ලෙස ප්‍රධාන විනිසුරු ලබාදුන් තීරණයට අභියෝග කළ ශර්මා එම තීරණය විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදයට යොමු කළේය. එහෙත් පන්දුව පිත්තේ අග කොටසේ වදින බව නිරීක්ෂණ කිරීමෙන් අනතුරුව තෙවැනි විනිසුරුද ප්‍රධාන විනිසුරුගේ තීරණය අනුමත කළේය. 

පළමු දිනය වූ ඊයේ (2 වැනිදා) තරගය නතර කරන විට ලකුණු 371 ක් ලබා සිටි ඉන්දියාව අද දිනයේ දිවා ආහාරය වන විට සිය පළමු ඉනිම සඳහා තවත් ලකුණු 129 ක් එක් කරගත් අතර දැඩි ලෙස පහර කෑමකට ලක්වූ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එහිදී දවාගත හැකි වූයේ කඩුල්ලක් පමණි. 

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
10 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com