master
New Page 1

තම එක්දරු බිරිඳ මරාදැමූ හමුදා සෙබළා පෝරකයට


2017-08-10 07:26:29 -  188 යි

විවාහ දිවියේ ආරවුල් හේතුවෙන් එක්දරු මවක්වූ බිරිද මරාදමා වලදැමූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලැබසිටි හිටපු යුද හමුදා සෙබළෙකු එකි චෝදනාවට වරදකරු බවට නිගමනය කල උතුරුමැද පළාත්බද මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඔහුට අද (09) උදෑසන මරණ දඩුවම නියම කලේය.

බිරිද ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණ දඩුවම නියමවූයේ අංක 416/6 ගාලවැව ගාලදිවුල් වැව නොච්චියාගම ලිපිනයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකුවූ 39 හැවරදි ජයසේනගේ ජානක නැමත්තාටයි.

වර්ෂ 2007 ඔක්තෝම්බර් 22 හා දෙසැම්බර් මස 04 අතර කාලයේදී නොච්චියාගම පොලිස් වසමේ 415/3 ජයගම ලිපිනයේ පදිංචිව සිටි එක්දරු මවක්වූ ආරියපාලගේ සුජාතා වීරසේකර යන අයගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තිය යටතේ දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණි.

විත්තිකරු විසින් මරාදැමූ බව කියන කාන්තාව මීට පෙර විවාහවී පසුව යුද හමුදා සෙබළා සමග විවාහවී ඇති බවත් පවුල් ආරවුල් හේතුවෙන් විටින්විට පහරදීම් සිදුකර තිබූ බවද පැවති මුලීක නඩු විභාගයේදී කියවිණි. 2007 වර්ෂයේ ඔක්තොම්බර් මස 25 වනදා විත්තිකරු අවසන් වරට ඔහුගේ බිරිද සමග යතුරු පැදියකින් යන අයුරු නඩුවේ සාක්ෂි කරුවෙකු දැක ඇති බවත් සිය බිරිද අතුරු දන්වී ඇතිබව කියමින් ඔහු පොලිසියට පැමිණිල්ලක් කර නැවත හමුදා සේවයට එක්වී ඇති බවද නඩු විභාගයේදී කියවිණි.

ඔහු බිරිද ඝාතනය කිරිමෙන් පසුව යුද හමුදා කදවුරේ සේවයට වාර්ථාකර පසුව යුද හමුදා පොලිසියේ නිළධාරියෙකුට බිරිද ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාපොච්චාරණය කර ඇති බවත් අනතුරුව එම නිළධාරින් විත්තිකාර සෙබළාව නොච්චියගම පොලිස්ථානයට භාරදුන් බවත් පැවති මූලික නඩු විභාගයෙන් තවදුරටත් අනාවරණය විය.

අනතුරුව විත්තිකාර සෙබළාගේ ඉඩමට ආසන්නයේ පිහිටි සොහොන් පිටියක් ආසන්යේ පිහිටි ඉඩමක වලදාමා තිබූ සිරුර පොලිසිය සොයාගත් බවද මුලික නඩු විභාගයෙන් වැඩිදුරටත් අනාවරණය විය.

විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනාවන් සාධාරන සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශව සමත්ව ඇතිබව කී විනිසුරුවරයා හිටපු සෙබළාට මිනී මැරිමේ චෝදනාවට මරණ දඩුවම නියම කලේය.තමන් විසින් බිරිදගේ ඝාතනය සිදුනොකල බවත් තමන් සියළුම චෝදනාවන්ට නිවැරදිකරු බවත් විත්තිකරු මරණ දඩුවම ලබා දීමෙන් අනතුරුව විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.

අගතියටපත් පාර්ශවය වෙනුවෙන් රජයේ අධි නිතිඥ ලහිරු ජයමාන්න මහතා සමග නොච්චියාගම පොලිසි යේ පොලිස් කොස්තාපල් 35096 කේ.කේ.ඩී.ආර්.කඹුරාවල මහතා පෙනී සිටියේය.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
12 + 12 =       

New Page 1

  2014 by www.eethalayanews.com