master
New Page 1

සුදු වැලි ඉසුරුනු මාවත අද ඔබ යයි අවසන් ගමනේ...


2017-06-11T08:00 -  466 යි


ප්‍රින්ස්‌... එළඹෙන සසරම ඔබට මිහිරි ගීයක්‌ වේව


වසර 2 කට අධික කාලයක්‌ පුරා ඔහුට වධ දුන් දරුණු මොළයේ ස්‌නායු ආබාධ සහිත තත්ත්වය ඔහුට යළි නැඟී සිටින්නට, සිනහසෙන්නට ඉඩ ලබාදුන්නත් ඒ පෙර පරිදි ප්‍රකෘතිමත් මට්‌ටමින්ම නොවේ. එයද එම කෙටි කාල පරාසයටම සීමා කර තබා ලක්‍ෂ සංඛ්‍යාත රසික ජනතාවකගේ සියුම් බලාපොරොත්තුවද සුණු විසුණු කර දමමින් පසුගිය 8 බ්‍රහස්‌පතින්දා දහවල ඔහු දෙනෙත් පියා ගත්තේය.

ඒ 30 වසරක කලා ජීවිතයටත් 25 වසරක පමණ ගායන ජීවිතයටත් 47 වසක්‌ වූ ඔහුගේ ජීවිතයටත් සමුදෙමිනි.

කොළඹ නවලෝක පෞද්ගලික රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්‌ඩලය ඒ වන විටත් රටට වටිනා කලාකරුවාගේ ජීවිතය බේරා ගැනීම වෙනුවෙන් බොහෝ කැප කිරීම් කොට තිබුණද ජීවිතයේ ජයගෙන තිබූ කඩඉම් සියල්ල මාරයා හමුවේ අහවර කර දමන්නට මේ වන විට සිදුව ඇත.

දරුවන් දෙදෙනකුගෙන් යුත් පවුලේ එකම හා වැඩිමල් දරුවා ලෙස 1970 වර්ෂයේ උපත ලැබූ ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත විසුවේ ඇල්පිටිය නගරයට නුදුරු කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් නවඳගල සිරිපුර ග්‍රාමයේය.

දෙමාපියන් වූ ඊටින් ප්‍රනාන්දු පියාණන් සංගීත ගුරුවරයෙකු වීම හා රසලින් පල්ලියගුරුගේ මවුතුමිය විදුහල්පතිවරියක වීම නිසාම නැඟණිය වූ ශිරෝනි ප්‍රියංගි හා ප්‍රින්ස්‌ උදය ප්‍රියන්ත දරු දෙපලම කුඩා කල සිටම සංගීතයට අත්පොත් තැබූහ.

ගම්බද පාසලෙන් අධ්‍යාපනය ලබා ඇල්පිටිය විද්‍යාලයෙන්ද වැඩිදුර අධ්‍යාපනය හදාරා අනතුරුව ජාතික තරුණ සේවා සභාවේ යොවුන් ගී වාද්‍ය මණ්‌ඩලයට එක්‌වීමට ඔහු ලත් පුහුණුව හා දක්‍ෂතා තුළින් ඔහුට හැකි විය.

ඒ වන විටත් තබ්ලාව, ගිටාරය, වයලීනය වාදනය කිරීමේ නිපුණයෙකුවූ ප්‍රින්ස්‌ මුලින්ම යොවුන් සංගීත කණ්‌ඩායමක විදුලි ඕගන් ශිල්පියෙකු ලෙසද කටයුතු කර බොහෝ අත්දැකීම් ලබා තිබුණි.

විවිධ ගායන හා වාදන තරග රාශියකටම ඉදිරිපත් වූ ඔහුට ඒ හැමෙකකින්ම වාගේ පළමු තැන දිනා ගැනීමටද හැකි වුණි.

ජාතික තරුණ සේවා සභාවේ වාදක ශිල්පියෙකු වූ ප්‍රින්ස්‌ට එහිදී යොවුන් ගී කැසට්‌ පටයකට ගීතයක්‌ ගායනා කරන්නට ලද අවස්‌ථාව ඔහුගේ කලා මාවත වෙනස්‌ කිරීමට හේතු වූ අවස්‌ථාව බවට පත්විය.

ඒ ඔහුගේ ගුරුවරයා වූ විශාරද නිහල් ගම්හේවා මහතා "ප්‍රින්ස්‌ ඔයා වාදකයෙක්‌ වෙනවට වඩා ගායකයෙක්‌ වෙන එක හොඳයි" යනුවෙන් පැවසීමත් සමඟයි.

එහෙත් මේ වන විටද ඔහු තුළ බොහෝ කාලයක සිටම ගායකයෙකු වීමේ දැඩි අධිෂ්ඨානයක්‌ පැවතුණි. ප්‍රින්ස්‌ගේ පියාණන් ඔහුගේ පළමු සංගීත ගුරුවරයා වූ අතර ඒ වන විට ඔහු ජීවිතයෙන් සමුගෙන ටික කලකි.

"සඳ කුමාරියක්‌ දීගෙක යනවා

රබන් සුරල් හඬ පැතිරෙනවා

තුරුලතා මඬුල්ලේ කී කතා ඇසෙන්නේ

මා තනිවී දැස තෙමෙනවා"

ඒ ඔහුගේ ප්‍රථම ගීතය විය. කිහිප විටක්‌ ප්‍රසංග වේදිකා කීපයකදී ගායනා කිරීමත් සමඟම ඔහු වටා දහස්‌ ගණන් ලක්‍ෂ ගණන් රසික සිත් රොද බඳින්නට වූයේ අයස්‌කාන්ත වූ හඬකට කොයි තරම් දෙයක්‌ කළ හැක්‌කේදැයි මනා කොට පෙන්වමිනි.

ඔහුට කැසට්‌ පට සඳහා ඉදිරිපත් වූ එවකට ලංකාවේ ජනප්‍රියම රෙකෝඩ් බාර් ආයතනයේ එතෙක්‌ මෙතෙක්‌ නොතිබූ ආදායම් වාර්තා ප්‍රින්ස්‌ගේ පළමු කැසට්‌ පටය නිකුත් වී දින කීපයකින්ම අලුත් කර දුන්නේය. කෙටිකලකින්ම නිකුත් කළ දෙවැනි කැසට්‌ පටයද එසේම වූ අතර නැවත නැවත පිටපත් විශාල ප්‍රමාණයක්‌ පටිගත කරන්නටද ඔවුන්ට සිදුව තිබුණි.

තරුණ තරුණියන්ගේ ආදර බස්‌ පවසද්දී ප්‍රින්ස්‌ගේ ගී පද වලින් මුමුණනු ඇසුණි. පෙම් හසුන් සරසා තිබුණේ ඔහුගේ ගීත ඛාණ්‌ඩ ඇසුරිනි.

ඒ තරම්ම යෞවනියන්ගේ යෞවන හදවත්වලට මේ පෙම්බර කටහඬ උමතුවක්‌ බවට පත්ව තිබුණු යුගයකි එය.

දින කීපයකට වරක්‌ තැපැල්කරු ගෙදරට ඔසවාගෙන එනු ලබන හසුන් මල්ල ඔසවාගෙන යාමට තරම් බැරි එකකි.

දොර හැරගෙන යන තරුණයෙකුගේ තරුණියකගේ කාමරවල බිත්ති මත හා පොත්පත් අතර කපා එකතු කළ හා අලවන ලද ප්‍රින්ස්‌ගේ රුව ඒ අවධියේ සුලබ දසුනකි.

ඔහු එකම දවසකදී ප්‍රසංග වේදිකා හතරක්‌, පහක්‌ සම්පූර්ණ කර දවස ගෙදර එන විට ඊළඟ දවසට එළිවී තිබුණි. ඒ කාලයේදී යොවුන් පරපුරේ ගායකයන්ගේ ඒකපුද්ගල ප්‍රසංග දැකීමට නොතිබුණත් ප්‍රින්ස්‌ගේ ඒකපුද්ගල ගී ප්‍රසංගයට අතුරු සිදුරු නැතිවම රසික ජනයා රොක්‌ විය.

ගායනය, වාදනය, සංගීතය පිළිබඳව හසළ දැනුමක්‌ තිබූ ප්‍රින්ස්‌ ඒ කලාවට බොහෝ සෙයින්ම ආදරය කළේය. යම් කාලයකදී නම් පියා මෙන්ම සංගීත ගුරුවරයකු වීම ඔහුගේ පරම අභිලාෂය ද විය.

දෙමාපිය බහට තම ප්‍රථම ගැඹුරු හා අචල ප්‍රේමයට සමුදෙන ඔහු වෙරළ කොණකට වී බලා සිටියේය. අප වෙත පෑ සිනහවට යටින් ඔහුගේ හද රිදුම් දුන් විරහව වෙනුවෙන් ඔහුගේ දෙතොල කියා පෑ ඒකාත්මික වූද සංවේදී වූද වදන් වැලට යොවුන් රසික ජනතාවගේ හදවත්වල ලැගුම් ගත්තේය.

විජිතය ආදරයේ ඔබමය ළඳුනි මගේ, මහද ප්‍රේමාදරේ, සිහින වැල් යා කෙරෙන පූජාසනය අද අඳුරුයි ඔබ නැති ලොව මට අද පාළුයි..... ලෙසින් රිදුණු හදවත්වලට ඔසුවක්‌ ලෙසින් හඬ මුදාහළ ඔහු මනුස්‌සකමින් අගතැන්පත් මිනිසෙකුද වූයේය.

සරල චාම් දිවි පැවැත්ම නිහතමානීව සංගීත වේදිකාවේදී මුල පටන්ම ඔහු තුළ තිබුණු සංයමයට විනීත බවට හැම දෙනාම පුදුම තරම් ආදරය කළහ.

කෙනෙකුට පිරිසකට වඩා පරපුරකට වටින ගායකයා වූද ගමකට වඩා රටකට වටිනා ගායකයා වූද ප්‍රින්ස්‌ගේ හඬම පමණක්‌ මින්පසු අපට දැකුම වනු ඇත.

දහසක්‌ දෙනෙක්‌ වැරදි කියන්න සිsටියත් සිය දෙනෙකු කතා හදන්න හිටියත්, දහ දෙනෙක්‌ ඔහුව වට්‌ටන්න හැදුවත් මුළු රටක්‌ ඔහුට ආදරය කළ බැව්ද මුළු රටකට ඔහුගේ දුෂ්කර වූ කලා ජීවිතයේ ආත්මීය දායාදයන් උරුමකොට දුන් බවද කිසිවෙකුගේ හෘද සාක්‍ෂියට අමතක නොවනු ඇත.

සුදුමල් පොකුරක්‌ අතින් දරාගෙන ඔහුගේ දේහය අභියස හෝ සොහොන් කොත ළඟ සිට ගන්නට ඔබට නොහැකි වුවත් ඒ අද්විතීය කලාකරුවා වෙනුවෙන් අප ගරුත්වය පුද කළ යුත්තේමය.

ප්‍රින්ස්‌ සහෘද කලාකරුවාණනි, ළෙන්ගතු මිනිසාණනි, ඔබට සසර කෙළවර පිං ලැබ අමාමහ නිවන් සුව අත්වේවා..

ඌරගස්‌මංහන්දිය
රංග අසංක පතිරණ

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
16 + 18 =       

New Page 1

  2014 by www.eethalayanews.com