master
New Page 1

දුම්රියක් මංකොල්ල කෑමේ අරමුණින් ශ්‍රාවස්තිපුරදී මග හරස් කර රේල් පීල්ලක් දමලා


2016 12 27 11.21 AM -  671 යි

උතුරු දුම්රිය මාර්ගය ඔස්සේ කොළඹ කොටුවේ සිට වවුනියාව දක්වා ධාවනය වූ නගරාන්තර ශීඝ්‍රගාමි දුම්රිය අනතුරට ලක්කිරීම සදහා කඩාකප්පල්කාරීන් පිරිසක් දුම්රිය මාර්ගය හරහා දමා තිබු රේල් පීල්ලක දුම්රිය ගැටීමෙන් පෙරේදා (25) රාත්‍රීයේ දුම්රියට,මාර්ගයට හා සංඥා පද්ධතියට හානී සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ උසස් නිලධාරියෙක් කීය.

උතුරු දුම්රිය මාර්ගයේ තලාව හා ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ අහස් බෝක්කුව නමින් හඳුන්වන ස්ථානයට ආසන්නයේදී අනතුර සිදුව තිබෙන අතර දුම්රිය නියමිත වේග සීමාවෙන් ධාවනය වද්දී එක්වරම දුම්රිය ඇන්ජීමේ ඉදිරියේ සවි කර තිබෙන කවුකැචරයේ (කුල්ලේ) තදබල යමක් ගැටෙන හඩ ඇසීම නිසා රියැදුරු මහතා ඉදිරියට ධාවනයවූ දුම්රියේ තිරිංග පද්ධතිය ක්‍රියාත්මක කර දුම්රිය නවතා ගැනීමට කටයුතු කර තිබේ.

මීටර් 500ක් පමණ ඉදිරියට ධාවනයවූ දුම්රිය නවතා ගැනීමෙන් අනතුරුව දුම්රිය රියදුරා සහ නියාමකයන් දුම්රියෙන් බැස දුම්රිය පරික්ෂාවට ලක්කරද්දී දුම්රිය ඇන්ජීම ඉදිරියේ පිහිටි කුල්ලේ (කවුකැචරයේ) රේල් පීල්ලක් සිරවී තිබෙන අයුරු දැක තිබේ. දුම්රියේ කවුකැචරයේ අඩි 12ක් පමණ දිග පීල්ල සිරවී ඉදිරියට ඇදීම නිසා මාර්ගය අයිනේ තිබු දුම්රිය සැතපුම් කණුවකට හා සංඥා කම්බිවලට හානී වී තිබුණු බව මාර්ගය පරික්ෂා කළ නිලධාරිහු පැවසූහ. රාත්‍රීයේ විදුලි පහන් අලෝකයට මාර්ගය හරහා දමා තිබූ රේල් පීල්ල රියැදුරාට හරිහැටි දර්ශනය වී නැත.

ශ්‍රාවස්තිපුර හා තලාව දුම්රිය ස්ථාන අතර පිහිටි අහස් බෝක්කුව ආසන්නයේ රාත්‍රී කාලයට මත්පැන් හා මත්ද්‍රව්‍ය පානය කරන පිරිස් ගැවසෙන බවත් ඔවුන් දුම්රිය අනතුරට ලක්කිරීමේ අරමුණින් රේල් පීල්ල දුම්රිය මාර්ගයට දමන්නට ඇති බව හෝ දුම්රිය නතර කර එහි ගමන් ගත් මගීන් සතු දේපළ කොල්ලකෑම සඳහා කිසියම් පිරිසක් දැරූ උත්සාහයක ප්‍රතිඵලයක් විය හැකි බවට සැකපළ කරයි.

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com