master
New Page 1

ගෘහ සේවයට ඩුබායි ගිය පියසීලිට බලු ගාලක අශූචි අදින රැකියාවක්‌


2016-12-22 08.02 AM -  1184 යි

ගෘහ සේවයේ රැකියාවකට කියා ඩුබායි රටට ගිය පසු ඒ රටේ විකිණීමට බල්ලන් බෝකරන බලු ගාලක සේවය කිරීමට සිදුවූ ශ්‍රී ලාංකික කාන්තාවක්‌ වන පන්විල අංගම්මන පදිංචි බී. ජී. පියසීලි මහත්මිය බල්ලන්ගේ කැත කුණු අත පත ගෑමෙන් හටගත් දරුණු චර්ම රෝගයකට ගොදුරුවී ශ්‍රී ලංකාවට එවා ඇත.

වසර එකහමාරකට අධික කාලයක්‌ මෙම බලු ගාලේ අපා දුක්‌ විඳිමින් සිටි ඇය ඒ කාලය තුළ නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට උත්සාහ දැරුවත් හාම්පුතාගෙන් කිසිදු ඉඩක්‌ නොවූ ඇයට අත්පා ඇඟිලිකරු හා නියපොතු කුණුවී දරුණු කැසීමට ලක්‌වූ රෝගයක්‌ ඇතිවීමෙන් පසු එය සුවපත් කරගෙන එන්නැයි කියා ලංකාවට පිටත්කර එවූ බව පැවසේ.

බල්ලන් නඩත්තු කිරීමේ කාර්යයේ දුෂ්කරතාව විඳීමට ඇති අමාරුව දන්වා ඇය ශ්‍රී ලංකාවේ සිටින සැමියාට දුරකථනයෙන් කතාකර තමා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙසට නිරතුරුව ඉල්ලීම් කර තිබුණු අතර ඇයගේ සැමියා වන අංගම්මන පේමරත්න මහතාගෙන් ලද තොරතුරු හා ඇය සමඟ දුරකථනයෙන් කතා කර ලබාගත් තොරතුරු ඇසුරෙන් ඇය ඒ රටේ විඳින දුෂ්කරතාවය පිළිබඳව "දිවයින" පුවත්පතේ වාර්තාවක්‌ද පසුගියදා පළකෙරිණි. ඒ අනුව විදේශ සේවා කාර්යාංශය ඇය පිළිබඳව අවධානය යොමුකර තිබුණත් ඇයට සිය රටට පැමිණීමට හැකිවී ඇත්තේ අත්පා නියපොතු කුණුවූ චර්ම රෝගියකු ලෙස යෑයි ඇය කීවාය.

ශ්‍රී ලංකාවට පැමිණි වහාම ඇය පන්විල සෞඛ්‍ය වෛද්‍යවරයා හමුවී ඔහුගේ උපදෙස්‌ මත මහනුවර මහ රෝහලේ චර්ම රෝග විශේෂඥ වෛද්‍ය අංශයෙන් ප්‍රතිකාර ලබාගෙන ඇති අතර සතුන්ගේ මළ මුත්‍රා ආදී අපද්‍රව්‍ය අතපත ගෑම හේතුවෙන් චර්ම රෝගය හටගෙන ඇති බවත් මේ සඳහා මාස තුන හතරක්‌ අඛණ්‌ඩව සායනික ප්‍රතිකාර ලැබිය යුතු බවටත් විශේෂඥ වෛද්‍යවරයා නියම කර ඇති බව ඇය පැවැසුවාය.

අංගම්මන පිහිටි ඇයගේ නිවසට ගොස්‌ තොරතුරු විමසීමේදී අත්පා නියපොතුවල රෝගී තත්ත්වයද පෙන්වමින් ඇය අප සමඟ මෙසේ පැවැසුවාය.

ගෘහ සේවය සඳහා 2014.10.30 දින ඩුබායි රටට ගියා. එහි පළමු නිවසේදී බලවත් කරදර හිරිහැරවලට ලක්‌වුණා. එසේ මාස 8 ක්‌ පමණ සිටියදී ගෙහිමි කාන්තාව මා නිවසෙන් එළියට දැම්මා. පසුව රාත්‍රි 12.00 ට පමණ මාව වෙනත් නිවසකට ගෙන ගියා. ඔවුන් ඒ නිවසේදී මා වෙනුවෙන් ඩිරාම් 6000 ක්‌ ගත්තා. ඒ අනුව ඒ නිවසේ වැඩට ගත් මට පැවරුවේ බල්ලෝ නඩත්තු කරන්නයි. එවැනි රැකියාවක්‌ මා කිසිසේත් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ නිසා මම කීවා මට මේ වගේ වැඩ පුරුදු නැහැ. ඒක කරන්න බැහැ වෙන වැඩක්‌ දෙන්න කියලා. මම උඹව ගත්තේ ඩිරාම් 6000 ක්‌ ගෙවලා. මේ ගෙදර කරන්න තියෙන්නේ ඒ බල්ලෝ ටික නඩත්තු කරන්නයි බැරිනම් අපට ඩිරාම් 6000 ක්‌ ගෙවලා යන තැනකට යන්න කීවා. මට ඩිරාම් 6000 ක්‌ තියා ඒ වන විට අතේ කීයක්‌වත් තිබුණේ නැහැ. නොදන්නා රටක යන්න තැනකුත් නැති නිසා මට බලු ගාලේ වැඩ කරන්න සිදුවුණා.

ඒ ගෙදර හිටියේ අවිවාහක කාන්තාවක්‌ හා ඇයගේ පියායි. පියා නිතරම මේ නිවසේ නැහැ. කාන්තාව ඒ රටේ පොලිසියේ වැඩ කළ අයෙක්‌. ඇය නිවසට එන්නේ දවසක්‌ හැර දවසක්‌. ඔවුන් බල්ලෝ බෝ කරලා විකුණනවා. බලු පැටියෙක්‌ අපේ රටේ මුදලින් රුපියල් ලක්‍ෂ දෙකහමාරක්‌ පමණ වෙනවා. ඔවුන්ට හොඳ ආදායමක්‌ එය. බල්ලන්ට මස්‌, මාළු, සොසේජස්‌ ආදී කෑම හදා දෙන්න ඕනේ. උන්ට නිදියන්ට බෙඩ් ෂීට්‌ දමන්න ඕනේ. ඇඳුම් අන්දවන්න ඕනේ. උන්ගේ මළ මුත්‍රා ඉවත් කිරීම බලු කූඩු ශුද්ධ කිරීම ආදී වැඩ කන්දරාවක්‌ දවස පුරා කරන්න තිබුණා. ඒත් මට හරියට කෑමක්‌ බීමක්‌ දුන්නේ නැහැ. නිතරම මාව බය කරනවා නිවසින් පිට යන්න දුන්නේ නැහැ. එහිදී කීප අවස්‌ථාවකම අසනීප වුණා. ඒවාට බෙහෙත් ගත්තාම මාසේ පඩියෙන් ඒ මුදල කපා ගන්නවා. ඔවුන් ඒ නිවසේ මාව රඳවා ගත්තේ හොරට. වීසා හා හැඳුනුම්පත් හදලා. මට තිබුණු නියම වීසා හා හැඳුනුම්පත පළමු ගෙදරින් අරගෙන තිබුණා. මේ බලු ගාලේ අපා දුක්‌ විඳින්න වුණා. ඒත් මට එතැනින් පැන යන්න තැනක්‌ තිබුණේ නැහැ. හිටපු ප්‍රදේශය ඉතාම දුෂ්කර පළාතක්‌. දවසටම දකින්ට ලැබුණේ එක බස්‌ රථයයි. මගේ ජංගම දුරකථනය ඇරෙන්න මේ නිවසේ ලිපිනය හෝ කිසිම විස්‌තරයක්‌ මට දුන්නේ නැහැ. ශ්‍රී ලංකාවට නැවැත ගෙන්වා ගන්නා ලෙස සැමියාගෙන් දුරකථනයෙන් ඉල්ලීම් කළා. ඔහු ඒ සඳහා විදේශ සේවා කාර්යාංශයට දන්වා උත්සාහයක්‌ ගනිමින් සිටින බව දැන ගත්තා. "දිවයින" පත්තරේද වාර්තාවක්‌ පළකර තිබුණා. ඔය අතරේ තමයි මගේ අත්වල, ඇඟිලිවල තුවාල ආවේ. ඇඟිලිකරු නියපොතු මුල් කුණුවී සැරව ගලන්ටත් සිරුර පුරා කැසීමකුත් හට ගත්තා. පඩියේ වියදමෙන් රුපියල් 14,000 ක්‌ පමණ වියදම්කර බෙහෙත් ගත්තා. ඒත් සුවයක්‌ වුණේ නැහැ. ඉන්පසු ඒ ගෙදර මනුස්‌සයා මට ලංකාවට එන්න ඉඩ දුන්නා. ලෙඩේ සුවකරගෙන එන්න කියලා. මේ අපායෙන් ගැලවෙන්නේ කොහොමද කියා සිටි මම වහාම ගෙදර එන්න කටයුතු සකස්‌ කර ගත්තා. ලංකාවට පැමිණ වහාම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍යවරයා හමුවී මූලික ප්‍රතිකාර ලබාගෙන එම වෛද්‍යවරයාගේ නිර්දේශය අනුව මහනුවර මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය සායනයට ගොස්‌ දැන් ප්‍රතිකාර ලබමින් සිටිනවා.

පියසීලි මහත්මියගේ සැමියා වන යූ. එච්. පේමරත්න මහතා පැවැසුවේ මේ පිළිබඳව විදේශ සේවා නිලධාරීන්ට දැන්වූ බවයි.

විස්‌තර හා ඡායාරූප පන්විල - ඡේ. තල්වත්ත


  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
   

New Page 1

  2014 by www.eethalayanews.com