master
New Page 1

නකල්ස් වන මැද දින තුනක් අතරමං වූ තරුණයාගේ කතාව


2016-11-25 10.45 AM -  1585 යි

නකල්ස් කඳුවැටියට බටහිරින් පිහිටි රංගල ගෝනගල කන්ද දැඩි ඉඩෝරයෙන් පසු ඇදහැලුණු මහ වරුසාවෙන් ප්‍රාණවත් වෙමින් පැවතියේ ය. කඳුයාය දලු කොළ මල් දා හැඩ වූයේ එහි ලස්සන බලන්නට ආසා හිතෙන සේය.
රංගල නගරයට කිලෝ මීටර් තුනක පමණ දුරින් දිස්වන ගෝනගල දියඇල්ල ද කඳු මුදුනේ සිට පහළට ඇදෙන්නේ හාත්පස අසිරිය වැඩි කරමිනි. දියඇල්ල ඇදහැලෙන කඳු පෙදෙස නැගීමට අසීරු දැඩි බෑවුම් සහිත එකකි.

කන්ද නැගීම කෙතරම් අමාරු කාර්යයක් වුවද, කඳුවැටියේ හාත්පස සුන්දරත්වය යහමින් විඳ ගැනීමට නම් අමාරුවෙන් හෝ කන්ද තරණය කළ යුතුමය. ඒ අසීරු කාර්යය කෙරෙහි විශේෂයෙන් සරසවි සිසුන් සහ ඉහළ පන්තිවල පාසල් සිසුන් ආසක්තව සිටින්නේ කන්දේ සුන්දරත්වය විඳ ගැනීමට ඇති ආසාවට පමණක් නොව හුදු කන්ද නැගීමම වික්‍රමාන්විත ක්‍රියාවක් වන හෙයිනි.

රංගල ගලබොඩවත්තේ අසේල සම්පත් (27) තරුණයා වූ කලී ගෝනගල කන්ද නැගීමේ අපූරු අත්දැකීම් ඇත්තෙකි.
දිනක් ඔහුට සිය ඥාති සහෝදරයකුගෙන් දුරකථන ඇමතුමක් ආවේය.

අයියේ, විශ්වවිද්‍යාලෙ අපේ යාළුවෝ කට්ටියක් ගෝනගල කන්ද නගින්ට හදනවා. අයියට පුළුවන්ද අපිට උදව් කරන්ඩ

මහ වැසි වැටෙන කාලයේ කන්ද නැගීම ‍ලේසිපාසු කාර්යයක් නොවන බව ඔවුහු නොදත්හ.

මල්ලි මේ දවස්වල කන්දට තද වැස්ස. ඒ නිසා මීදුමත් ගන සැරේට තියෙනවා. ඒ හින්දා මේ කාලෙ පන්නල ගියොත් නරකද?

අමිල සම්පත් එසේ කීවද ඔහුගේ පුදුමයට මෙන් ශිෂ්‍ය පිරිස ඉකුත් පස්වැනිදා ඔහු සොයා ආහ.

එදින රාත්‍රිය අමිල සම්පත්ගේ නිවසෙහි ගත කළ කණ්ඩායම පසුදා උදයේ කන්ද නැගීමට තීරණය කර ඒ වෙනුවෙන් අමිල සම්පත්ගේ පිහිට පැතූහ.

මං ඔයාලව කන්ද මුදුනට එක්කගෙන යන්නම්. හැබැයි මං ඔයාලත් එක්ක ඉන්නේ නෑ. සඳුද වැඩට යන්න තියෙන හින්දා මං ආපහු එනවා අමිල සම්පත් කීවේය.

‍පොරොන්දු වූ පරිදිම පසුදින උදයේ පිරිස කැඳවාගෙන ගෝනගල කන්දට නැගි අමිල සම්පත් පිරිසට කූඩාරම් ඉදිකිරීමට උණ බටද කපා දී ඔවුන්ගෙන් සමුගෙන ආපසු හැරුණේ ය.

අසේල ඇරලවන්නට පිරිසෙන් දෙදෙනකු මහත් දුර ආවත් කන්දේ පැවති දැඩි මීදුම නිසා ඔවුනට එකිනෙකාගේ මුහුණ පවා දැක ගැනීමට නොහැකි විය. ඒ තබා හරි හරියට කූඩැල්ලන්ද ඇඟපතේ එල්ලුනෙන් උන් කඩා දැමීමටද වෙලා ගත විය. ඒ අල්ල පනල්‍ලේ තිදෙනාට තිදෙනා සොයා ගැනීමට නොහැකි වූයේ ය.

සගයන් දෙදෙනා ගැන කරදර නොවූ ඔවුන් ආපසු හැරීයනු ඇතැයි සිතා මීදුමේ පීඩාව මැඬගෙනම කන්ද බසින්නට පටන් ගත්තේය.

අසේලට අම්මාගෙන් දුරකථන ඇමතුමක් ආවේ ඒ අතරය.

පුතා ඔයා කොහෙද ඉන්නේ?

මවගේ රෝගී තත්ත්වය සැලකිල්ලට ගත් අසේල ඇයට ඇත්ත වසන් කර බොරුවක් කීවේය.

අම්මේ මං මේ ළඟ ඉන්නෙ. දැන් ඉන්නේ රංගල ටවුමෙ. කලබල වෙන්න එපා යාළුවෝ කන්දෙ ඉන්නවා
තමා කන්දෙ මීදුම අතර හුදකලාවේ අතරමං වී ගස්වැල් අල්ලාගෙන පහළට රූටමින් සිටින බව ඇයට කෙසේ කියන්නද?

කොරේ පිටට මරේ කියන්නාක් මෙන් මීදුම පහ වන විටම අන්ධකාරය ගලා ආවේය. ඒ ටිකකින් අසේල අන්ධකාරයේ අතරමං විය. එසේ වුවද සිය ව්‍යායාම අත නොහැරි අසේල ගස්වැල්, පඳුරු අල්ල අල්ලා රළු ගල්කුළ බසින්නට වූයේ ය.

හිටිහැටියේම සිදු වූයේ ඔහු සිහිනෙන් පවා නොසිතූ දෙයකි. ගෝනගල කන්ද නැග බැස හොඳින් හුරුපුරුදු මේ තරුණයා හිටි හැටියේම ඉන් රූරා පහළට ඇද වැටුණේ ය.

ඇද වැටෙන විටම යමක් පුපුරන හඬක් ඔහුට ඇසිණ.

ඔහුට මතක එපමණය.

ඉන්පසු අසේලට කුමක් වීද?

අසේලට සිදු වූයේ කුමක්ද යන්න අපට දැන ගැනීමට හැකිවන්නේ සිද්ධියෙන් පසු මග සොයා ගිය කිහිප දෙනකුගේ සාක්කි ඔස්සේය.

ඉන් එක් සාක්කිකරුවකු වන්නේ අසේලගේ පියාගේ බාල මලයා වන ආර්. ජී. සමරවික්‍රම මහතාය.

ඉරිදා රාත්‍රී හතට විතර වෙනකල් අපි අසේල බලා‍පොරොත්තුව හිටියා. රාත්‍රී 9.00 වෙනකල් බලලා අපි සඳුදා උදේ ගෝනගලකන්ද නැග්ගා. 30 ක් විතර කණ්ඩායමක් එක්ක කන්ද මුදුනේ දී කිතුල්කපන දෙන්නෙක් හම්බ වුණාම අපි ඇහුවා ළමයි කණ්ඩායමක් ඔය පැත්තේ දැක්කද කියලා. කිහිප දෙනෙක් මීමුරේ පැත්තට ගියා කියලා ඒ අය කිව්වා.
ළමයින්ගේ දුරකථන වැඩකරපු නිසා අපි කතා කරලා අසේල ගැන ඇහුවම අසේල ඒ අය නතර කරලා ආපහු ගියා කිව්වා. කිතුල් කපන්නට ගිය අයගෙන් විස්තර ඇහුවාම කිව්වේ ටෙන්ට් වගයක් ගලවාගෙන ගියා අපිත් හොයලා බලන්නං කියලා. අළුගල්ලෙන පැත්තෙන් අපි කි. මීටර් 7 ක් විතර කන්ද බැහලා මීමුරේ ගමේ කඩේකට ගොඩවෙලා ළමයි ගැන ඇහුවම මුදලාලි කිව්වා ළමයි 7 දෙනෙක් තේ බිලා ලෙරියක නැගලා අට්ටලමෙට්ටුව පැත්තට ගියා කියලා. අසේල සෙවීමේ කාර්යය සාර්ථක වුණේ නෑ. අපි රෑ දහයට විතර ගමට ආවා.

සඳුදා කාලගුණය යහපත්ව තිබුණා. වැස්ස නෑ. අඟහරුවාදා උදේ අපි මීමුරේ පැත්තෙන් කන්ද උඩට නැග්ගා. මේ ගමනට ගමේ කට්ටියයි, රංගල වතුවල අයයි 150 ක් විතර ආවා. තංගප්පුවෙන් තවත් කණ්ඩායමක් නකල්ස් පැත්තට ගියා. අපි රතිඤ්ඤා පත්තු කරකරයි ගියේ. අඟහරුවාදා හොයලත් වැඩක් වුණේ නෑ.

බදාදා (9) උදේ හෙවිල්ලට රංගල ‍පොලිසියෙන්, හමුදාවෙන් (15) ක් විශේෂ කාර්ය බළකායෙන් (බලගොල්ල කඳවුරේ) දහයක් සහභාගි වුණා. ගෝනගලකන්දේ මුදුනේ දී අපි හතර පැත්තකට බෙදිලා ගියා. නුවර ‍පොලිසියේ නිල සුනඛ අංශයේ රෙජී කියන සුනඛයත් අරගෙන ඇවිත් තිබුණා. මම කණ්ඩායමක් එක්ක වෙනත් පැත්තකට ගියා.
දෙවැනි සාක්කිකරු වන ෂෙල්ටන් පෙරේරා මහතා මෙසේ කියා සිටියේ ය.

නිල සුනඛයාට අසේල ඇඳන් හිටිය ඇඳුමක් ඉව කරන්න දුන්නා. එයා අළුලෙන පැත්තට ඉව කර කර ගියා. එතැනට කිලෝ මීටර් 6 ක් විතර දුරක් තියෙනවා. සුනඛයාට මහන්සි නිසා අපි එයාව උස්සගෙන ගියා. අළුලෙන ගල මුදුනෙදි රෙජි නතරවෙලා ඉව කර කර කලබල කෙරුවම අපි හිතුවා ළඟ ළඟම තොරතුරක් ඇති කියලා.

අපේ කණ්ඩායම වට රවුම් පාරකින් අළුලෙනේ පහළ කොටසට පිටත් වුණා.

කන්ද බහින අවස්ථාවේ දී කිතුල් මල් කපන්නට යන අයෙක් හමුවුණා පැය එකහමාරකට කලින් ළමයෙක් අතරමංවෙලා ඉන්නකොට හම්බ වුණා. මගේ පැ‍ලේ එයා නතර කරලා කෑම හෙම කවලා එන්නේ. තව මල් (කිතුල්) හයක් හතක් කපන්න තියෙනවා. ඒ වැඩේ ඉවර කරලා එනකං ඉන්න කියලා ඔහු කිව්වා. කිතුල් කපන්නට ගිය තැනැත්තා ‍පොලිසිය එන්ට පැය එකහමාරකට කලින් අසේල දැකලා කර ගහගෙන පැලට ගෙන ගිහිල්ලා කෑම දීලා තියෙනවා. අසේල වැඳලා කියලා තියෙනවා මාව බේරගන්න කියලා.

අසේලට කෑම දුන්න, උස්සාගෙන ආපු තැනැත්තාට අපි බැගෑපත් වුණාම එයා අපිව අසේල හිටිය පැලට එක්කගෙන ගියා. මේ වන විට ‍පොලිසියේ මහත්වරුත්, රෙජී සුනඛයත් එක්ක එතැනට ආවා.

අසේල දැඩි කම්පනයෙන් හිටියේ. කකු‍ලේ උඩ කොටසේ තුවාලයක් දැක්කා. ඉක්මනින් තෙල්දෙණිය රෝහලට ඇතුළු කළාම එතැනින් මහනුවර රෝහලට යැව්වා.

බාප්පා මගේ කකුල හරි අමාරුයි. ඇවිදගන්නට බැරි වුණ හින්දා ගල්ලෙන ළඟ හිටියේ අපහසුවෙන්. වතුර පිපාසය නැතිකරගන්නට මම අරගෙන ආපු කුඩයෙන් ඉඳහිටලා වැටුණ වැස්සෙන් බේරුණු වතුර බිව්වා.

සමරවික්‍රමටත්, ෂෙල්ටන්ටත් අසේල කියා ඇත.

මහනුවර රෝහ‍ලේ දී අසේලගේ කකුලට සැත්කමක් කර මූනිස්සමක් ඉවතට ගෙන ඇත. ඉන් වැටහෙන්නේ අසේලට වෙඩි වැදී ඇති බවය.

දැන් අසේල සම්පත් සුවය ලබමින් පසුවෙයි.

තම පුතු සොයා ගැනීමට උදව් කළ අයට අසේල සම්පත්ගේ මාපිය ඥාතීහු තුති පුදති. කිතුල්මල් කැපීමට ගිය දෙදෙනා රාගල වැඩබලන ‍පොලිස් ස්ථානාධිපති ‍පොලිස් පරීක්ෂක ඒ. එම්. ඒකනායක මහතා ඇතුළු විශේෂ කර්ය බළකායේ නිලධාරීහුු මහනුවර නිල සුනඛ අංශයේ නිලධාරින් මෙන්ම පල්ලෙකැ‍ලේ හමුදා නිලධාරීහු, ක්‍රිස්ටල්පැක්, කේසර හුනු, ඔටෝ සර්විස් යන ආයතනවල පාලන අධිකාරිවරුන් සේම රංවල අවට ගම්වල තරුණ පිරිස් ඒ අතර වෙති.

මේ කන්දෙ මේ වගේ අතුරුදන් වීම්, විපතට පත්වීම් නිතර නිතර සිදු වෙනවා. කැ‍ලේට ඇතුළු වෙන අය කැ‍ලේ ගැන දන්නා කෙනෙක් එක්ක එන්න ඕන. මේ වගේ දේවල් වෙනකොට අපේ කරුමාන්තේ කරගන්නත් අමාරුයි. ආයේ නම් මේ වගේ දේවල්වලට උදව් කරන්න බෑ. කරන්නෙත් නෑ. අද අපි මූණ දුන්නු දේවල් ගැන කනගාටු වෙනවා. මේ කන්ද දෙවියන්ගේ අඩවිය. අපට උදව් කළ කිතුල්මල් කැපීමෙහි යෙදුණු තැනැත්තා එසේ අවධාරණය කළේ ය.
සටහන හා ඡායාරූප : තෙල්දෙණියේ ගාමිණී පුටුහපුව

අළු ගල්ලෙන
අළු ගල්ලෙන
ගාඩි ඇල්ල
ගාඩි ඇල්ල
ගෝනගල තැන්න
ගෝනගල තැන්න
රෙජී
රෙජී

  ඔබේ අදහස්
  ඔබේ අදහස් ඔබට කැමති අයුරින් මෙහි ලියන්න
 
 
 
 
15 + 15 =       

New Page 1

  2014 by www.eethalayanews.com